සාර්ව ආර්ථික ස්ථාවරභාවය, ස්ථිරසාර ආර්ථික වර්ධනයක් උදෙසා තීරණාත්මක ලෙස බලපාන සාධකයකි. ගෝලීය මූල්‍ය අර්බුදයට කඩිනම් විසඳුම් දෙන්නා යනුවෙන් හඳුන්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අභ්‍යන්තර ස්ථාවරභාවය පිළිබඳ ගැටලු (උද්ධමනය) සහ බාහිර ආර්ථික ස්ථාවර භාවය පිළිබඳ ගැටලු (ගෙවුම් ශේෂ, විනිමය අනුපාතිකය, විදේශ ණය බර සහ ජාත්‍යන්තර සංචිත) වලින් පෙළෙන තම සාමාජික රටවල්වලට සහයෝගිතා සැපයීම කරයි.

1950 සිට ජාත්‍යන්තර මූලය අරමුදලේ සාමාජිකයකු වූ ශ්‍රී ලංකාව 1965 පටන් විවිධ ආර්ථික අසීරුතා මතුවූ 16 වතාවකදී ඒවා විසඳා ගන්නට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගෙන තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකා ආර්ථිකය අභ්‍යන්තර හා බාහිර ස්ථාවරත්වය යන උග්‍ර අර්බුද දෙවර්ගයටම මුහුණ දෙමින් සිටී. පමණට වඩා මුදල් වර්ධනය නිසාත්, විනිමය හුවමාරු අනුපාතිකය පහත වැටීම සහ සැපයුම් අංශය සීමාවීම නිසාත් උද්ධමනය වේගයෙන් ඉහළ යයි.

විදේශයන්ට ගෙවීමට ඇති ණය බර වැඩිවීම හේතුවෙන් ගෙවුම් ශේෂ අර්බුදය උග්‍ර වූයේය. මෙම තත්ත්වය නිසා විදේශ සංචිත ක්ෂය වීමත් රුපියලේ අගය ශීඝ්‍රයෙන් පහත වැටීමත් පසුගිය සති දෙක තුළ සිදුවිය.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විරුද්ධව සහ පක්ෂව විවාදය
දැනට පවතින ආර්ථික ව්‍යසනයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතුද, නොමැතිද යන්න පිළිබඳව චින්තන ගුරු කුල දෙකක් අතර උණුසුම් විවාදයක් හට ගත්තේ මෙම පසුබිමේය. රට ගැඹුරු ආර්ථික අර්බුදයක ගිලා බසිද්දී මෙම විවාදය ඉදිරියට ඇදී යයි. ජාත්‍යන්තර මූලය අරමුදලේ වැඩසටහන් යෝජනා  කර සිටින්නෝ බොහෝ දෙනෙක්  නිළ ක්ෂේත්‍රයට පිටින් සිටින්නෝ වෙති. රටේ පවතින සාර්ව ආර්ථික අස්ථාවර භාවයෙන් මිදෙන්නටත්, ණය අර්බුදය විසඳා ගැනීමටත්, එසේ කොට ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි කර ගන්නටත් එම අරමුදලේ සහයෝගය ලබා ගැනීම වැදගත් බවට ඒ අය තර්ක කරති. මින් පෙර ඩේලි එෆ්.ටී. පුවත්පතේ පළවූ ලිපියකින් මා අවධාරණය කළේ වර්තමාන අර්බුදයෙන් ගොඩ  ඒම පිණිස අවශ්‍ය කළමනා පිළිවෙළකට සකසා  ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන වර්ගයේ ප්‍රතිපත්ති  ප්‍රතිසංස්කරණ සිදු කිරීම හදිසි අවශ්‍යතාවක් බවයි.

ඊට විරුද්ධ මතධාරීන් කියා සිටින්නේ කලින් කලට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් නිසා රටේ ආර්ථිකය වඩා උග්‍ර අතට  හැරුණේ ඒවායේ දුෂ්ට කොන්දේසි නිසා බවයි.  එම වැඩ සටහන් නියෝලිබරල්වාදී ප්‍රතිපත්ති පදනම් කරගත් ධනේෂ්වර නිදහස් වෙළඳපොළ මතු කරන ඒවා බවට ඔවුහු චෝදනා කරති. එය 19 වැනි සියවසට අයත් යල් පැනගිය ක්‍රමයක් වග ඔවුහු කියති.


ප්‍රතිපත්ති සම්පාදකයෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කරති
රජයේ සහ මහ බැංකුවේ ඉහළ ප්‍රතිපත්ති සම්පාදකයන් කියා සිටින්නේ දැනට පවතින ආර්ථික ගැටලු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයෙන් තොරව වෙනත් දේශීය විකල්ප ක්‍රියාමාර්ගකින් විසඳා ගත හැකිය යන ස්ථාවරයේ තමන් පසුවෙන බවයි. සාර්ව ආර්ථික ස්ථාවරභාවය තහවුරු කර ගැනීමේ කාර්ය භාරය ඉටු කිරීමේ අග්‍රස්ථ ආයතනය වූ මහ බැංකුව, ජාත්‍යන්තර මූලය අරමුදලේ සහය ලබාගත යුතු නැතැයි යන දැඩි ස්ථාවරයක පිහිටා සිටින්නේ පිළිගත හැකි ප්‍රබල හේතුවක් දැක්වීමෙන් තොරවය.
දැනට පවතින මතබේදාත්මක පසුබිම තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම පිළිබඳව ජාතික අවශ්‍යතාව නැමති දෘෂ්ටියෙන් බලා ඒ තුළ ඇති තර්කාන්විත බව විමසා බැලීම උචිතය. එහිදී එක් එක් දෘෂ්ටිවාදයන්ට ඇති බැඳීමත් බලයේ හොබවන උදවියගේ පෞද්ගලික සබඳතාත් ඉවතලා ඉහත කී අයුරින් කරුණු සලකා බැලිය යුතුය.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය මාදිලිය
සාර්ව ආර්ථික ස්ථාවර භාවය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාදිලිය හැඩ ගන්වා ඇත්තේ ගෙවුම් ශේෂය උදෙසා මූල්‍ය ප්‍රවේශය යන්න පදනම් කරගෙනයි. මෙම මාදිලිය 1957 දී  ගොඩනගා ඇත්තේ 1958 සිට 1979 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පර් යේෂ ණ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කළ ෂක්ස් ජේ. පොලැක් (Jaques J Polak)  විසිනි. අද දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යොදා ගන්නා මූල්‍ය මාදිලිය ගොඩ නැගූ ප්‍රාරම්භකයා ලෙස සැලකෙන්නේ ඔහුය. එය පොලැක් මාදිලිය නමින්ද හැඳින්වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පොලැක් මාදිලිය පදනම් කරගත් මූල්‍ය වැඩසටහන්කරණය ඔස්සේ ණය ලබා ගන්නා රටවල්වල ආණ්ඩුවල මූල්‍යකරණය සහ ඒවායේ විදේශ සංචිත ආර්ථික වර්ධනයට බලපාන ආකාරයත්, මුදල් සැපයුම, උද්ධමනය සහ ගෙවුම් ශේෂයන් ඇගයුමත් කරනු ලබයි.

එහිදී A) දේශීය බැංකු ණය B) මුදල් සැපයුම අසුරින් හා භාණ්ඩ හා සේවා ආනයන අපනයන සහ එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනයත්, ආදායම සහ ගෙවුම් ශේෂයත් යනාදියේ වෙනස්කම් වල බලපෑම ඉතාමත් සරළ ආකාරයෙන් මෙම මොඩලය යටතේ විමර්ෂණය කොට තීරණය ගැනීම කෙරේ. රජය දේශීය බැංකු වලින් ණය ලබා ගැනීම සහ මුදල් සැපයුම් බලපෑම් පෙන්වා දෙනු ලැබ වියදම් කපා හැරීමෙන් අයවැය හිඟය අවම කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබා දීමේදී පනවන මූලික කොන්දේසි වේ.

ඒ ආකාරයටම මූල්‍ය සැපයුම පහත හෙළා තරඟකාරී ලෙස විනිමය අනුපාතිකය පවත්වා ගැනීමෙන් ගෙවුම් ශේෂ හිඟය අවම කර ගැනීමද සිදු කරන ලෙස එහිදී ඉල්ලීම් කෙරේ. ණය සැපයීමේදී පනවනු ලබන මෙම මූලික කොන්දේසි නිතරම විවේචකයන්ගේ ප්‍රහාරයට ලක්වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය වැඩසටහන්වලින් මූල්‍යමය ආදායම්  හා බාහිර අභ්‍යන්තර යන අංශ සියල්ල ඒකාබද්ධ කොට තනි මිනිය හැකි සැලසුම් රාමුවකට නතුකර ගනී.

රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අවශ්‍ය වූ ඔවුන්ගේ සාර්ව ආර්ථික අස්ථාවර භාවය පිළිබඳ ගැටලු විසඳාලීම සඳහා එම රටවල විදේශ සංචිත හා උද්ධමන අනුපාතිකය වැනි අවසාන ඉලක්ක කරා ළඟා වීමට අවශ්‍ය කරන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වර්ග මොනවා දැයි මෙම මොඩලයෙන් හඳුනා ගැනේ.

 
ශ්‍රී ලංකාවේ ආර්ථික අසමතුලිතභාවය
ශ්‍රී ලංකාව මේ වනවිට බාහිර සහ අභ්‍යන්තර යන අංශ දෙකේ අසමතුලිතතාවලට මුහුණ දෙමින් සිටී. අභ්‍යන්තර වශයෙන් අයවැය හිඟය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 12ට වඩා වැඩියෙන් පවත්වා ගැනීමෙන් මූල්‍ය ප්‍රතිපත්තිවල අවකාෂය සීමාවී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාස 12 තුළදී මුදල් සැපයුම සියයට 21 කට වඩා වැඩිවී තිබේ. මුදල් සැපයුම ශීඝ්‍රයෙන් වැඩිවීම නිසා මූල්‍ය ස්ථාවර භාවයටත් ගෙවුම් ශේෂයටත් අහිතකර බලපෑම් ඇතිවී තිබේ.

බාහිර වශයෙන් රටේ විදේශ සංචිත ඩොලර් බිලියන 3කටත් වඩා අඩුවී ඇත. මීළඟ මාස 12 ඇතුළත ඩොලර් බිලියන 6කට වඩා ගත් ණය ගෙවා දැමිය යුතුව ඇත. මෙම ගැටලු පවතින්නේ එදිනෙදා මුහුණ දෙන්නට සිදුවන ආනයන අපහසුතාවලට අමතරවය. බැංකු අංශයද දැඩි විදේශ විනිමය හිඟයකට මුහුණ පා සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු ඩොලරය බැංකු කව තුළ රු. 230කට අලෙවි වන්නේ ඩොලරයේ අගය රු. 200 ක රඳවා ගන්නට මහ බැංකුව වෙර දරද්දීය. කළුකඩයේ ඩොලරයක මිල රු. 260 දක්වා ඉහළ ගිය බවද වාර්තා විය.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන වර්ගයේ පියවර මදින් මද
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනු දක්නා විදියේ සාර්ව ආර්ථික සැළසුම් රටාවක් අනුගමනය නොකිරීම අද දින ශ්‍රී ලංකාව මුහුණ පා ඇති සාර්ව ආර්ථික අසමතුලිත භාවයන්ට මූලික හේතුවයි.

ප්‍රතිපත්ති සම්පාදකයෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියම කරන වර්ගයේ ඇතැම් පියවර අහඹු ලෙස තෝරා ගෙන ක්‍රියාත්මක කිරීමට මේ වනවිට පෙළඹී සිටිති. ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමුවීම ප්‍රතික්ෂේප කළද මූල්‍ය සීමාකරණ පැනවීම රුපියලේ අගය අවප්‍රමාණය කිරීම රජයේ වියදම් කපාහැරීම ඉන්ධන මිල ඉහළ දැමීම වැනි පියවර මේ වනවිට ගෙන ඇත. එහෙත් අහඹු ලෙස මදින් මද  ගන්නා මෙම පියවරවලින් අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි වනුයේ ඒවා ඉහත විස්තර කළ ඒකීය මූල්‍ය මාදිලියකට ඒකාබද්ධ වී නොමැති නිසාය.


යල්පීනු ආනයන සීමාකරණය යළි හඳුන්වාදීම
ගැටලුවලට පිළියම් යෙදීමේ පියවර ලෙස ප්‍රමාණාත්මක සීමාකරණය ඔස්සේ ආනයන සීමා පැනවීම, කෝටා ක්‍රම, බලපත්‍ර දීම හා හුවමාරු පාලනය මේ වනවිට නැවත ගජ රාමෙට සිදුවේ. මෙහි ප්‍රතිඵල  වන්නේ මිල පාලන, ආහාර හිඟය, දීර්ඝ පෝලිම්, ඒකාධිකාරීන්, මිල ඉහළ යාම්, කළු කඩ බිහිවීම් වැටලීම් සහ දුෂණ ආදී අද අප දකින දේය. මේවා දශක හතරකට පෙර ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල්, අනුගමන කළ  පාලනය කරන ලද වෙළදාම සහිත රාජ්‍යන්ගේ මූලික ලක්ෂණ විය.

1977 පෙර අනුගමනය කරන ලද ශ්‍රී ලංකාවේ පැවති වෙළඳ සීමාකරණ ප්‍රතිපත්ති අද දිනට සාධාරණීකරණය කළ හැක්කේ අවම වශයෙන් එම ප්‍රතිපත්ති ආනයන ආදේශනය මත පදනම්වේය යන තර්කය මත පමණකි. ඒවා ඒ කාලයේ ලෝකය පුරා න්‍යායක් ලෙස ඉස්මුදුනින් පිළිගැනිණි. එහෙත් ලෝකයේ බොහෝ රටවල් නිදහස් වෙළඳ ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් පසු ආර්ථික වර්ධනය වේගවත් කිරීමටත්, දරිද්‍රතාව මට්ටම සෑහෙන තරමින් අඩු කරන්නටත් පසුගිය දශයක තුළදී සමත්වීමෙන් පසු ආනයන ආදේශනය වසර කිහිපයකට පෙර යල්පීනු සංකල්පයක් බවට පත්විය.


(2016-2020) විස්තෘත මූල්‍ය පහසුකම් යටතේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ
ශ්‍රී ලංකාව අවසාන වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ලබා ගත්තේ 2016-2020 කාලයේ විස්තෘත මූල්‍ය පහසුකම් (EFF) යටතේය. (Extended Fund Facility – EFF) වර්තමානයේ පවතින සාර්ව ආර්ථික අසමතුලිතභාවය බොහෝ දුරට වළක්වා ගැනීම උදෙසා වූ ප්‍රතිපත්ති  ප්‍රතිසංස්කරණ සමූහයක් ඒ තුළ අඩංගු විය.

සමස්ත ආදායම් හිඟය අවම කිරීම අරමුණු කරගත් ආදායම් සංස්ථාපනය එකී විස්තෘත මූල්‍ය පහසුකම් වැඩසටහනේ ප්‍රධාන කේන්ද්‍රය (කඩ ඇණය) විය. මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රධාන කාරණය වූයේ බදු ප්‍රතිපත්තියේ සහ පරිපාලනය යන දෙකෙහිම සැලකිය යුතු මට්ටමින් කරන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ හරහා බදු ආදායම් නැවත නැංවීමයි. මෙම පියවරවලට අමතරව වඩා ප්‍රබල ලෙස වියදම් සීමා කිරීම සහ රාජ්‍ය ව්‍යවසාය මෙහෙයුම් වඩාත් වාණිජමය වූ පදනමකට ගෙන ඒමෙන් කලින් කී පියවර ශක්තිමත් කිරීමද යෝජනා විය.

විස්තෘත මූල්‍ය පහසුකම්වල අඩංගු වූ තවත් ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණයක් වූයේ මූල්‍ය නීති පනත වෙනුවට නව මහ බැංකු පනතක් ගෙන ඒමයි. ඒ මගින් මහ බැංකුවට වඩා ස්වාධීනත්වයක් පිරිනැමෙන්නේ ඊට උද්ධමනය ඉලක්ක කරගත් මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කිරීමට ඉඩ දීමෙනි. ඒ මගින් මේ වනවිට අප අත්විඳින ආදායම් ඌනතා සහ ඒ හේතුවෙන් සිදුවන මූල්‍ය සැපයුම් වැඩි කිරීමට මහ බැංකුවට ඉඩ සැලසීම සීමා කිරීමට නියමිත විය.


ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කටුගා දැමීම
වර්තමාන රජය කොටසක් හෝ ඉතිරි නොකර සියලුම විස්තෘත මූල්‍ය පහසුකම් යෝජනා කටුගා දැමුවේය. පසුගිය වසරේ ප්‍රචණ්ඩ බදු කපා හැරීමක් හඳුන්වා දුනි. මූල්‍ය ප්‍රතිපත්ති ඉලක්ක 2030 දක්වා කල් තැබිණි. මහ බැංකු පනත අහෝසි කර දැමිණි. එසේ කොට විස්තෘත මූල්‍ය පහසුකම් (EFF) ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ අත්හැර දමන ලදි. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස සාර්ව ආර්ථික තත්ත්වය වඩාත් දරුණු අතට හැරිණි.

බදු කපා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවූ ආදායම් පහත වැටීම නිසා අයවැය හිඟය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 12ක් දක්වා වැඩි වූයේය. දේශපාලන බල අධිකාරියට නතුවූ මහ බැංකුවට, භාණ්ඩාගාරයේ මුදල් අවශ්‍යතා පිරිමැසීමට පෙර නොවූ විඳි අයුරින් මුදල් අච්චු ගැසීමටත් රජයට බැංකු ණය දීමට අවසර ලැබිණි.

මේ හේතුව නිසා මුදල් ව්‍යාප්තිය වැඩිවීම හේතුකොට ගෙන  ඉල්ලුම අසාමාන්‍ය ලෙස වැඩි වූයේය. එනිසා ආනයනවල මිල මට්ටම් ඉහළ ගියේය. රුපියල් ශීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීමත් සමග බැංකු අංශ තුළ හුවමාරු අනුපාත පහත වැටිණි. ඩොලරයේ මිල අසීමිත ලෙස ඉහළ යාමත් සමග කළු කඩය ශක්තිමත්ව වැඩුණේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතිව හෝ නැතිව ප්‍රතිසංස්කරණ කිරීම පැහැර හැරිය නොහැකිය.
අද අප අත්විඳින ආර්ථික කැළඹීම (EFF) විස්තෘත මූල්‍ය පහසුකම්වලට අදාළ ප්‍රතිපත්ති බාධාවකින් තොරව දේශපාලන වාද භේද නොසලකා අනුගමනය කළේ නම් වළක්වා ගත හැකිව තිබිණි.
 
වර්තමාන ආර්ථික ව්‍යසනය හඬගා කියන්නේ සවිමත් ප්‍රතිපත්ති සහිත සැලසුම් රාමුවක කඩිනම් අවශ්‍යතාවයි. එසේ කිරීම වඩාත් යුක්ති සහගත වන්නේ ජාත්‍යන්තර මූල්‍ය  අරමුදලේ සහාය ඇතිව හෝ නැතිව මෙම සාර්ව ආර්ථික අසමතුලිත බව දුරුකර ගත යුතු නිසාය.

(***)
2021/9/7 Daily FT පත්‍රයේ පළවූ
Avoiding IMF Prolongs SL'S Macroeconomic instability  ලිපියේ
පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ