ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාංශයේ පිවිසුම් දොරටු අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදී විරෝධතා දක්වමින් සිටි අරගලයේ සාමාජිකයන් පිරිසක් පසුගිය සඳුදා (20) පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් වූ මේ පිරිස අතර බෞද්ධ භික්ෂුවක සහ කාන්තාවන් හතර දෙනකු ද සිටි බව දැන ගන්නට ලැබිණි. මොවුන්ට එරෙහිව එල්ල වූ චෝදනා අතර මුදල් අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාල දොරටු අවහිර කර මහජනතාවට පීඩා ගෙන දෙන අයුරින් කූඩාරම් ඉදිකිරීම ද විය.

පොලිසිය මගින් නිකුත් කෙරුණු නිවේදනය මගින් ප්‍රකාශ කර තිබුණේ මෙසේ මාර්ග අවහිර කරමින් සිදුකරන විරෝධතා හේතුවෙන් මහජනතාව බලවත් දුෂ්කරතාවලට මුහුණ දී සිටින බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමග සාකච්ඡාවකට පැමිණෙමින් සිටි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේ විරෝධතා සහ අවහිර කිරීම් හේතුවෙන් ප්‍රමාද වීමට සිදු වූ බව ද පොලිසිය සඳහන් කරයි.

සාමකාමී අරගලය මේ ආකාරයට මහජනතාවට පීඩා කෙරෙන, රාජකාරි කටයුතුවලට බාධා පමුණුවන පැත්තට නැඹුරුවීම අරගලයේ  මූලික පරමාර්ථවලට පවා පටහැනි බව බැලූ බැල්මටම පෙනී යයි. තමන්ගේ විරෝධය ගේට්ටු අවහිර කොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කඩාකප්පල් කිරීමේ අරමුණින් සිදු නොකළ බව අරගලයේ  සාමාජිකයෝ ප්‍රකාශ කරති. එහෙත් රටට මේ මොහොතේ වඩාත්ම වැදගත් මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවකට ඔවුන්ගේ ක්‍රියාව හේතුවෙන් බාධා එල්ල වූ බව සැඟවිය නොහැක. තමන්ගේ ප්‍රමුඛතා හඳුනාගෙන ඒ අයුරින් කටයුතු කිරීමට තරම් විනයක් පවත්වාගෙන යා නොහැකි නම් ලොවේම අවධානය දිනාගත් ගෝල්ෆේස් සාමකාමී අරගලය තවත් එක් කඩාකප්පල්කාරී විරෝධතා ව්‍යාපාරයක් බවට පත්වීම වළක්වාගත නොහැකි වනු ඇත.

මේ අතර හපුතලේ ඉන්ධන පිරවුම් හලේ විරෝධතා හේතුවෙන් අසීරුවට පත් වූ රුසියානු ජාතිකයකු පිළිබඳව ද පසුගියදා වාර්තා විය. තම රටට පිටත්ව යාමට ගුවන් තොටුපළ කරා පැමිණීමට අවශ්‍ය ඉන්ධන වාහනයට ලබාගැනීමේ අරමුණින් බූලියක් ද රැගෙන පිරවුම්හලට පැමිණි රුසියානු ජාතිකයාට එතැන සිටි පිරිසේ විරෝධය හේතුවෙන් අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට නොහැකි විය. ඉන්ධන පෝලිම්වල සිටින ජනතාව ද සිටින්නේ දැඩි අසීරුතා සහ අපේක්ෂාභංගත්වයට පත් වූ මානසිකත්වයක බව ද සැබෑවකි. එහෙත් තම රටට යාමට අවශ්‍ය ගුවන් යානයට යා ගත නොහැකිවීම තුළ එම රුසියානු ජාතිකයා මුහුණ දෙන තත්ත්වයත් ඒ හරහා අපගේ රටේ ප්‍රතිරූපයට සිදුවන හානියත් පිළිබඳව ජනතාවට ද වැටහීමක් තිබිය යුතුය. ආගන්තුක සත්කාරය සඳහා ලොවේම නමක් දිනා සිටින අපේ රටට වැඩිම සංචාරකයන් පිරිසක් එන රුසියාව තුළ මේ සිද්ධියෙන් ඇති කරන කළු පැල්ලම මකා දැමීම ලෙහෙසි නැත. මෙවැනි අවස්ථාවක දී අන් සියල්ලන්ටත් වඩා රටේ ගෞරවය, අභිමානය පිළිබඳ ජනතාව සිතිය යුතුව තිබිණි. සියලු දේ විනාශකර ගෙන ලබාගත හැකි ජයග්‍රහණයක් රටකට නැත.

සිදුවීම් දෙකෙන්ම පැහැදිලි වන්නේ රටේ පවතින තත්ත්වයේ බැරෑරුම්කම ය. අරගලයේ මූලික පරමාර්ථ පිළිබඳ රටේ බහුතර ජනතාවට ගැටලුවක් නැත. එහෙත් මෙතෙක් කාලයක් පවත්වාගෙන ආ සාමකාමී බව රැක ගනිමින් මහජනයාගේ එදිනෙදා කටයුතුවලට බාධා පැමිණවීමකින් තොරව අරගලය ඉදිරියට ගෙන යාමේ වගකීම එහි නායකයන් මත පැවරී තිබේ. පසුගිය සඳුදා පැවැති එම විරෝධතාව පාලනය කිරීමට කැඳවූ පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන්ට ඉතා අමානුෂික ආකාරයෙන් ඔවුන් ඉදිරියට පැමිණ පරිභව කළ පුද්ගලයකු ද එහිදී දැකගන්නට හැකි විය. එවැනි ක්‍රියා ගෝල්ෆේස් අරගලයේ මුල් අවස්ථාවල දී දැකගන්නට නොලැබිණි. ගෝඨා ගෝ ගමට සංවිධානාත්මකව එල්ල කරන ලද ප්‍රහාරයට පෙර පොලිසියේ නිලධාරීන් සමග අරගලයේ සාමාජිකයන් සුහදව කටයුතු කළ ආකාරය බොහෝ දෙනකුගේ පිළිගැනීමට ලක්ව තිබිණි. එහෙත් දැන් දැන් පෙනී යන්නේ එම ප්‍රමුඛතා බොහෝ දෙනකුට අමතක වී යමින්  තිබෙන බවය. එය අරගලයේ ඉදිරි පැවැත්මට ද හානිදායක ලෙස බලපෑම් ඇති කළ හැකි බව ද පෙන්වා දිය යුතුය.

මේ රටේ ආණ්ඩුවලට එරෙහිව ජනතා අරගල දියත් කෙරුණු අවස්ථා ගණනාවක් තිබේ. ඒ ඇතැම් අරගල ඛේදවාචකවලින් අවසන් වූ බව ද සඳහන් කළ යුතුය. එහෙත් අරමුණ ජයගැනීම සඳහා අරගලයකට අවශ්‍ය පන්නරයත් විනයත් එකට ගෙන රටටම දැනෙන ලෙස කළ විරෝධතා ඉතිහාසයට එක් වී තිබේ. ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා 77 දී බලයට පැමිණීමට පෙර එවකට පැවති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් සමගි පෙරමුණු රජයට එරෙහිව සිදුකළ විරෝධතා පා ගමන එවැනි එක් අවස්ථාවකි එහිදී පා ගමනට එක් ස්ථානයක දී පොලිසිය මගින් මාර්ග බාධක යොදා ගමන අවහිර කළ විට ජේ.ආර්. ජයවර්ධන පොලිසියේ බාධක බිඳගෙන ඉදිරියට යෑමට ක්‍රියා කළේ නැත. ඒ වෙනුවට ඔහු කළේ තම පිරිස සමග පාරේ බිම වාඩිවීමය. එම විරෝධතා ව්‍යාපාරය ඒ හේතුවෙන් රටේම පිළිගැනීමට ලක් වූ අතර ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් 1977 දී එජාපයට විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට ද එය මහත් රුකුලක් විය.

විරෝධතා සහ අරගල මූලික අරමුණුවලින් බැහැර නොවී පවත්වාගෙන යාමට තරම් විනයක් තිබීම අරගලය ජයග්‍රහණය කිරීමේ මාවත එළිපෙහෙළි කර දෙයි. එයින් බැහැරව ඉවසීමක් නොමැතිව ක්‍රියා කිරීමෙන් සිදුවනුයේ අරගලය අතරමං වීම පමණි.

(***)