IMG-LOGO

2025 අගෝස්තු මස 26 වන අඟහරුවාදා


අම්මගෙ තාත්තගේ ආදරේ තේරෙන්නෙ බොරු ආදරේ රඟ තේරුණාට පස්සෙ

20_page_5-RS 

 

දියේ ගිලෙන මිනිසා බේරෙන්න පිදුරු ගහෙත් එල්ලෙනවා කියලා කතාවක් තියෙනවනේ.. ඒ වගේමයි ගිනිපෙල්ලෙන් බැට කාපු මිනිසා කණාමැදිරි එළියටත් බයයි කියලා තවත් කියමනක් තියෙනවා. ඔයා දන්නවා ඔයාගේ ජීවිතේ වැරදුණු වෙලාවේ එල්ලෙන්න පිදුරු ගහක්වත් තිබුණේ නැහැ කියලා. ඒ වැටිච්ච ළිං කටින් ගොඩ එන්න තවමත් ඔයා උත්සාහ කරනවා. මේකට ඔයා කිව්වේ මේක මගේ දෛවය කියලා. නැහැ නංගීයේ මේක ඔයාගේ දෛවය නෙමෙයි, මෝඩකම..

 

f
නිලූක්‍ෂි උපන්නේ දකුණු පළාතේ. ඇගේ තාත්තා ගාල්ල ප‍්‍රදේශයේ රාජ්‍ය ආයතනයක රජයේ නිලධාරියෙක්. නිලූක්‍ෂිගේ අම්මා ගෙදර දොරේ වැඩපළ කරගෙන ඉන්න සම්ප‍්‍රදායික මවක්. නිලූක්‍ෂි කියන්නේ පවුලේ වැඩිමහල් දරුවා. නිලූක්‍ෂිට වඩා වයසින් බාල තව නංගියෙකුයි, මල්ලියෙකුයි ඉන්නවා. නිලූක්‍ෂි පුංචි සන්දියේ ඉඳලම ඉගෙනීමට උපන් හපන්කම් දක්වපු කෙල්ලෙක්. මේ නිසාම ඇගේ පාසල ඇතුලේ ඇයට ලොකු තැනක් ලැබුණා.  ඕන දේකට පැනලා ඉදිරිපත් වෙන නිලූක්‍ෂි පාසල ඇතුළේ ජනප‍්‍රිය චරිතයක් වුණා. සාමාන්‍ය පෙළ පන්තියේ ඉඳපු රූමත් ගැහැනු ළමයි අතර නිලූක්‍ෂි ගොඩාක් ඉදිරියෙන් හිටියා. විවිධාකාර පිරිමි ළමයි ඇය දිහා බලලා විහිළු තහළු කළා. පස්සෙන් ගියා. ඇගේ ජංගම දුරකථනය හරහා සමහර පිරිමි ළමයි ඇය සමඟ කතා කළා. ජීවිතේ ගැන බරක් පතළක් නොතේරෙන වයසක ඉන්න නිලූක්‍ෂිගේ පුංචි පුංචි පේ‍්‍රම සබඳතාත් ඒ අතර තිබුණා.


ඒ මොන දේවල් කළත් ඇගේ එකම ඉලක්කය වුණේ අධ්‍යාපනය. ඒත් අ.පො.ස සාමාන්‍ය පෙළ කඩඉම ඔන්න මෙන්න කියලා අවාසනාවන්ත විදිහට ඇගේ තාත්තා අසනීප වුණා. මේ දේවල් එක්ක ඇගේ සිහින බලාපොරොත්තු එකින් එක බොඳ වෙලා ගියා. ඇය සාමාන්‍ය පෙළ සාමාන්‍ය විදිහට සමත් වුණා. උසස් අධ්‍යාපන වරම් ලැබුණත් ගෙදර තිබුණ ආර්ථික ප‍්‍රශ්නත් සමඟ ඇයට වුවමනා වුණේ රැකියාවක් කරන්න.


මාපියන්ගේ අකමැත්ත මතම ගමේ පරිසරයෙන් මිදිලා ඇය කොළඹට ආවා. යහළුවකුගේ මාර්ගයෙන් සොයාගත්ත රැුකියාව, යාළුවො, පරිසරය ඇයට අලූත්. මේ අලූත් පරිසරය ඇගේ ජීවිතේ ටිකෙන් ටික වෙනසකට හැරෙව්වා. නිලූක්‍ෂි කොළඹ නිදහස් ජීවිතේට බොහෝ සෙයින් ඇළුම් කළා. මව්පියන්ගෙන් මිදිලා යහළුවන් එක්ක ගෙවන බෝඩිං ජීවිතේ නීරස වුණේ මුල් දින කිහිපයේ විතරයි. කාලය ගෙවුණේ පුදුම වේගයෙන්. විෂමාකාර මිනිසුන් ගැවසෙන කොළඹ සමාජය ඇයට හුරු පුරුදු වෙන්න මහ කාලයක් ගියේ නැහැ.


ඔය අතරතුර මඟතොටේදී ආලවන්තකම්පාන පිරිමි අතර නිලූක්‍ෂිගේ හිත ඇදිලා ගිය විශේෂ කෙනෙක් හිටියා. ඇගේ ආදරවන්තයා වුණේ රොමේෂ්. ඔහු සේවය කළේ මහරගම ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක. කොළඹ ඉසව්වේ ඇය ගැන සොයා බලන්න කාත්කවුරුත් නැහැ. රොමේෂ් මුණගැහිලා දින කිහිපයයි. මේ කොලොන්තොටේ නිදහස ඇය උපරිමයෙන්ම වින්දා. මුණ ගැහිලා දින කිහිපයක් ඇතුළත හෝටල් කාමර ගාණේ රිංගුවේ රොමේෂ් කියන්නේ කවුරුන්ද?, කොහේද ඉන්නෙ කියලවත් දන්නෙ නැතුව. ආදරෙන් මත්වෙලා හිටපු නිලූක්‍ෂිට රොමේෂ්ගෙන් තොර ලෝකයක් තිබුණේ නැහැ. ඇය සිතුවේ ජීවිතේ කියන්නේ මේ තාවකාලික වින්දනය කියලා.


මේ සිදාදියේ ඇගේ සීමා මායිම්වලට වැටකඩුළු බඳින්න අම්මා අප්පා නැහැ. යාළුවෝ ගොන්නක් එක්ක තනිවෙච්ච කොළඹ ජීවිතේට සැනසීමක් සෙව්වේ ඇය ඔන්න ඔය විදිහට. රොමේෂ් ඒ අහිංසකීගෙන් අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත්තා. ඒත් රොමේෂ් පිළිබඳ කෙස් ගසක තරම්වත් අවිශ්වාසයක් ඇය හිතුවෙ නැහැ. ඇය ඒතරමටම රොමේෂ්ට පණ වගේ ආදරය කළා. ඒත් රොමේෂ් නිලූක්‍ෂිට ආදරය කළේ ඇගේ රූපයට, අඟ පසඟට විතරයි. ඇගේ අඟ පසඟට පමණක් ආදරේ කරපු රොමේෂ් ඇයට මේ කරන්නේ වංචාවක් කියලා තේරුම් ගන්න අවබෝධයක් තිබුණේ නැහැ. රොමේෂ් ඇයව සිහින ලෝකෙක පා කෙරෙව්වා.


රැකියාවට යන මුවාවෙන් බෝඩිං කාමරයෙන් එන නිලූක්‍ෂි රොමේෂ් සමඟ හෝටල් කාමරවල පෙම්සුව වින්දා. ඇය රැකියාවට වඩා කළේ රොමේෂ් සමඟ හෝටල් කාමරවල ලැගුම් ගත්ත එක. නිතරදෙවේලේ පෙම්සුව විඳින්න ගිය හෝටල් කාමර මේ දෙන්නට හුරු පුරුදු තැන් බවට පත්වුණා. දිනක් රොමේෂ්ට මිතුරෙකුගෙන් අමුතු යෝජනාවක් ආවා.


‘‘මචං අර උඹේ අතේ එල්ලිලා අපේ හොටෙල් එකට එන කෙල්ල උඹේ සිරා එකද?’’


‘‘පිස්සුද බං ඒක ආතල් එකට කරන එකක්’’


‘‘මචං පොඩි ජොබ් එකක් තියෙනවා. ඒකිව එතනට දැම්මොත් අපටත් ගාණක් සෙට් වෙනවා’’


‘‘කොහොම හරි කැමති කරව ගනිං’’


‘‘ඒකිගේ ඇඟපත තිබුණට තවම අවුරුදු දහ අටක්වත් නැහැ බං’’


‘‘වයස නම් මොනවද බං’’


මේ විදිහට තමයි නිලූක්‍ෂිව ගණිකා සේවයට යොමු වෙන්නේ.. රොමේෂ් රැුකියාව පිළිබඳ නිලූක්‍ෂිට වර්ණනා කළා. ආසාව ඇති කළා. ඇයට උවමනා වුණෙත් හොඳ පඩියකට නිදහස් රැකියාවක්. ඇය අධ්‍යාපනය අතරමඟ නතර කරලා කොළඹට ආවෙත් ගෙදර අඟහිඟකම් නිසා. අම්මටයි, අසනීපෙන් ඇඳ උඩ ඉන්න තාත්තටයි ශක්තියක් වෙන්න. මේ නිසා රොමේෂ්ගෙ අලූත් රැකියාවට ඇය කැමැත්ත ප‍්‍රකාශ කරන්න දෙවරක් හිතුවෙ නැහැ.


රොමේෂ් ඇයව මුලින් යොමු කළේ බම්බලපිටිය ප‍්‍රදේශයේ පිහිටි එක්තරා ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක් විදිහට. කවදාවත් ලිප්ස්ටික් කූරක් තොල්වල නොගාපු, උස් අඩි පාවහන් නොපැළඳපු නිලූක්‍ෂිට මේ දේවල්, රැකියා අලූත් දෙයක් වුණා.  මේ දේවල් එක්ක ඇගේ ජීවිතේ වෙනමම මාවතකට හැරුණා. රොමේෂ් සූක්‍ෂම වුණා. ඇය රැකියාව කළ ස්ථානයත් සම්බාහන මධ්‍යස්ථානයක්. එම සේවා ස්ථානයේ මිතුරියන් හරහා වැඩි මුදලක් ඉපයීමට විවිධ රැකියා මාර්ග පිළිබඳ ඇය තුළ ආශාවක් ඇති කරවන්න රොමේෂ් උත්සාහ කළා. මේ අගාධයට ඇද දමන්න උත්සාහ ගන්නේ තමන් පණ වගේ ආදරේ කරන රොමේෂ් කියලා ඇය සිහිනෙන්වත් සිතුවේ නැහැ. ඇය සේවය කළ සම්බාහන මධ්‍යස්ථානය තුළදීම ඇය ඉහළ මිලකට අලෙවි වුණා. නිලූක්‍ෂිගෙ අතට ලැබෙන ගතමනාව ඒ හැමදේම යටපත් කළා. ඇය දිනකට ඉහළ වැටුපක් ලබාගත්තා. ඉන් හරි අඩක් යැව්වේ ගෙදරට.


‘‘අපට ඔක්කොම පඩිය එව්වම උඹ කොහොමද පුතේ කොළඹ ජීවත්වෙන්නේ’’ අම්මගේ දෑස්වලින් වැටෙන කඳුළුවලට ඇය සැනසීමක් ලබා දුන්නේ මේ විදිහට.


‘‘මට ප‍්‍රමෝෂන් එකක් ලැබුණා අම්මේ, මට දැන් හොඳ පඩියක් ගෙවනවා’’


අම්මගෙ දෑස්වල කඳුළු ඉනුවේ සතුටට දින සති මාස ගෙවිලා ගියා. ඇය මේ වෘත්තියේ පළපුරුදුකාරියක් වුණා. ඇගේ අඟ පසඟ ඇයට හොඳ ඉල්ලූමක් දුන්නා. ඇය නිතරම හිතුවේ ලැබෙන මුදල ගැන.


ඉඳහිට ගමට ගිය ඇය දෙස බලන ගම්මු ඇගේ කොළඹ අරුමෝසම්වලට විවිධ කතා කිව්වා. `ඇගේ කොටපු පච්චෙට, නහයට දාපු කරාබුවට, ඇගේ අශීලාචාර හැසිරීම් රටා ඉබේටම වගේ ඉඟි කළා. එහෙත් ඇය මේ සියලූ දෑ වසන් කරමින් මාස දහයකට වඩා කාලයක් මෙම වෘත්තියේ නිරත වෙමින් මුදල් හම්බ කළා.


ඇයව මේ වෘත්තියට වක‍්‍රාකාරයෙන් යොමු කළේ රොමේෂ් කියලා ඇය දැනගන්න කොට ඇය නීතියේ රැුහැනට හසුවෙලා හමාරයි. රොමේෂ් මේ වෘත්තියේ අතරමැදියෙක් විදිහට විශාල මුදලක් හම්බ කළා. බම්බලපිටිය ප‍්‍රදේශයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයේ සූක්‍ෂම ලෙස පවත්වාගෙන ගිය මෙම ගණිකා වෘත්තියට යොමු කරන සෑම තරුණියක් වෙනුවෙන්ම රොමේෂ්ට ලොකු මුදලක් ලැබුණා. දිනක් එම සුපිරි වෙළෙඳ සංකීර්ණයේ හදිසි පොලිස් වැටලීමකදී කොටු වුණ අය අතර හිටපු එක් තරුණියක් වුණේ නිලූක්‍ෂි.. ඇගේ තොරතුරු අනුව ඇය බාලවයස්කාරියක් ලෙස ඔප්පු වුණා. මේ නිසා ඇයට නීතියෙන් ගැලවීමක් ලැබුණේ නැහැ. මාපියන් කොළඹට ගෙන්වා ඇගේ සියලූ තොරතුරු හෙළි කළා. ඇය බාලවයස්කාරියක් නිසා නීතියෙන් කිසිදු සමාවක් ලැබුණේ නැහැ.
නිලූක්‍ෂිගේ අම්මා පොලිස් භූමියේ විලාප දුන්නේ හිතේ ඇවිළුණු දරු දුකට. අහිංසක මව්පියන්ගේ හිතට දුන්නු ගින්දරට නිලූක්‍ෂිට කවමදාකවත් සැනසීමක් ළඟා කරගන්න බැහැ. ජීවිතේ වැරදුණේ ඇගේ පෙම්වතා නිසා. ඇගේ ජීවිතේ අගාධයට ඇද දාපු ඒ තිරිසන් පේ‍්‍රමවන්තයා ඇගේ ජීවිතේ විතරක් නෙමෙයි. තවත් තරුණියන්ගේ ජීවිත කොච්චරනම් මේ විදිහට විනාශ කරලා ඇතිද?


නිලූක්‍ෂි ඇගේ වැරදුණු ජීවිතේ හදාගන්න තවමත් මඟක් සොයනවා. ඒත් මේ සමාජය ඇතුළේ ඒකට ඉඩක් නැහැ.


ඇය ඉකිගහලම දැන් හෙම්බත් වෙලා. කතා කරගන්න බැරුව වෙව්ලනවා. සමාජයට මූණදෙන්න බැහැ. දෙමාපියෝ අසරණ වෙලා. ජීවිතේ කියන්නෙ සෙල්ලමක් නෙමෙයි.


සාමාන්‍ය පෙළින් පස්සේ රැකියාවක් සොයාගෙන කොළොම්තොටට එන ඔයාට පුංචි දෙයක් කියන්නම්. මේ සමාජයේ හරි විෂයි. මව්පියන් තරම් ආදරය කරන කෙනෙක් මේ නොදන්න සමාජයේ නැහැ. නොදන්න ඉසව්වකට ඇවිල්ලා.. නොදන්න ආදරේකට ළංවෙලා ජීවිතේ විනාශ කරගන්න එපා.


නම් ගම් මනඃකල්පිතයි

m



අදහස් (0)

අම්මගෙ තාත්තගේ ආදරේ තේරෙන්නෙ බොරු ආදරේ රඟ තේරුණාට පස්සෙ

ප්‍රශීන් Wednesday, 24 June 2015 03:29 PM

දැන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමග. (හේ)

:       0       0

උදිත් Thursday, 25 June 2015 08:25 PM

අපි ඇත්තටම ආදරය කරන්නේ මම කියන කෙනාට. මට තව කෙනෙකුගේ ඇසුරෙන් ලැබෙන සතුටට. ඔහොම යනකොට හැඟීම් වලට වහල්වෙලා අපේ වගේ සංස්කෘතියක් තිබෙන රටක අමාරුවේ වැටෙනවා. කොල්ලා ඇත්තටම කෙල්ලට ආදරය කරනවා නම් කෙල්ලව ප්‍රවේශම් කරනවා විවාහ වෙනතුරු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 12966 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 322 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 220 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site