සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමා විය. උත්සව සමය තුළ තාවකාලිකව නිසල වූ දේශපාලන කැළඹීම උත්සව සමයේ නිමාවත් සමඟ යළිත් සක්‍රීය වනු ඇත. මෙම කැළඹීම ආණ්ඩුවේ අර්බුදයක් ලෙස මතුපිටින් පෙනුණ ද එය නියමාර්ථයෙන් මෙරට ද්විපාක්ෂික ක්‍රමයේ පරිවර්තනයකි.

චලනය පිළිබඳ නිව්ටෝනියාලු නියාමයන්ගේ (Newton's Laws of Motion) තෙවැන්න ක්‍රියාව හා ප්‍රතික්‍රියාව පිළිබඳ නියාමය (Law of Action or Reaction) ඇතැම් විට දේශපාලනයට ද බලපායි. අද මෙරට දේශපාලන ක්ෂේත්‍රය කළඹන කුණාටුවේ මූලික බීජ හටගන්නේ ලංකාව එක පවුලක පාලනයට යටත් කිරීමට රාජපක්ෂවරුන් ගත් උත්සහය හේතුවෙනි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපති ධුර කාලසීමාව ඉවත් වී මහින්ද රාජපක්ෂ මහතාට කැමති වාරයක් ජනපති ධුරයට තරග කිරීමට ඉඩකඩ සැලවිණි. ජ්‍යෙතිෂ්‍යවේදීන්ගේ අවවාද මත ජනාධිපතිවරණය කලින් පැවැත් වූයේ රාජපක්ෂ මහතාට පහසු ජයක් ලබා පවුල් පාලනය වඩාත් ශක්තිමත් ලෙස ස්ථාපනය කරන අටියෙකි.

ඝාතනය හා මර්දනය තුළින් විවේචකයන් නිහඬ කොට විවිධ උපක්‍රම හරහා ප්‍රධාන විපක්ෂය වූ එජාපය බෙදා තිබූ සංදර්භයක් තුළය. 2015 ජනපතිවරණය පැවැත්වූයේ මෙම ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයගතහොත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පුස්සක් වී ලංකාව රාජපක්ෂ පවුලේ නොනිල රාජධානියක් බවට පත්වන බව පැහැදිලි විය. මේ අනාගතය අත්විඳීමට අකමැති වූයේ විපක්ෂය හා ඊට සහය දක්වන ලාංකිකයන් පමණක් නොවේ. ශ්‍රීලනිපය තුළ පිරිසක්ද රාජපක්ෂ පවුලට කොන්ද නවන දේශපාලනයකට අකමැති විය. මෙම කොටසේ නියෝජිතයා වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාය.

මෙලෙස 2015 ජයග්‍රාහී සන්ධානය නිර්මාණය වූයේ රාජපක්ෂ පවුල් ව්‍යාපෘතිය නම් වූ ක්‍රියාවට ප්‍රතික්‍රියාවක් ලෙසය. එම සන්ධානයේ ජයග්‍රහණය මෙරට දේශපාලනය උඩු යටිකුරු කළ පෙරළියක් විය. එනිසා මෙරට දේශපාලනයේ 1955/56 සමයේ සිට පැවති බෙදුම් රේඛාව මුළුමනින්ම වෙනස් විය. එජාප හා එජාප-විරෝධී බෙදුම් රේඛාව වෙනුවට රාජපක්ෂවාදී හා රාජපක්ෂ-විරෝධී වශයෙන් නව බෙදුම් රේඛාවක් නිර්මාණය විය.

2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් ද සනිටුහන් වනුයේ මෙම රාජපක්ෂවාදී හා රාජපක්ෂ විරෝධී බෙදීම තවමත් ලංකා දේශපාලනයේ මූලික බෙදුම් රේඛාව ලෙස පවතින බවය.

මෙරට ද්විපාක්ෂික ක්‍රමය ආරම්භ වූ දා සිටම ප්‍රධාන පක්ෂ දෙක විවිධාකර බෙදීම්වලට ලක්විය. මෑතකාලීන ඉතිහාසයෙන් මේ සඳහා ගතහැකි හොඳම උදාහරණය වනුයේ විජය කුමාරතුංග - චන්ද්‍රිකා බණ්ඩාරනායක යුවළ ශ්‍රීලනිපයෙන් කැඩී ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවීමත්, ලලිත් ඇතුලත්මුදලි - ගාමිණී දිසානායක සන්ධානය එජාපයෙන් කැඩී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ (DUNF) පිහිටුවීමත්ය. මෙම බෙදීම් දෙකෙන්ම මවු පක්ෂවලට බලගතු දේශපාලන හානියක් සිදුවිය. ශ්‍රීලනිපය 1988 ජනපතිවරණය පරාජයවීමටත් එජාපය 1994 ජනපතිවරණය පරාජය වීමටත් මෙම බෙදීම් දායක විය. මෙම බෙදීම් නිසා ප්‍රධාන පක්ෂ දෙක අතර බලතුලනයේ වෙනස්කම් සිදුවුවද ඉන් ප්‍රධාන පක්ෂ දෙකින් එකක්වත් තුන්වෙනි තැනට වැටුණේ නැත. ශ්‍රීලනිපයට ශ්‍රීලනිපයෙන් කඩා ගැනීමට හැකි වූයේ ඉතා කුඩා කුට්ටියකි. ඊට වැඩි කුට්ටියක් එජාපයෙන් කඩා ගැනීමට DUNF  පක්ෂය සමත් වූවද එජාපයේ තැන අත්පත් කරගැනීමට එයට නොහැකි විය.

එහෙත් ශ්‍රීලනිපය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ශ්‍රීලපොප හෙවත් පොහොට්ටු පක්ෂය) සම්බන්ධයෙන් තත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස්ය. ශ්‍රීලනිප සාම්ප්‍රදායික ඡන්ද පදනමින් අතිබහුතරය තමන් වෙත දිනාගැනීමට පොහොට්ටු පක්ෂය සමත්ව ඇත. ශ්‍රීලනිපය තෙවැනි තැනට තල්ලු කොට එජාපය දෙවැනි තැනට දමා ලංකාවේ ද්වි පාක්ෂික ක්‍රමයේ පළමු වන පක්ෂය බවට ශ්‍රීලපොපය පත්ව තිබේ. මෙයින් පෙනී යනුයේ ලංකා දේශපාලනයේ නිරත බෙදුම් රේඛාව රාජපක්ෂවාදය හා රාජපක්ෂ-විරෝධය වන බවත් මෙම යථාර්ථය අමතක කොට කටයුතු කළහොත් එජාපයට හා ශ්‍රීලනිපයට උරුම වනුයේ පරාජය හා විනාශය බවත්ය. 

ගතවූ සති දෙක තුන තුළ රට අස්ථාවරත්වයට තල්ලු කළ විශ්වාසභංග යෝජනා අර්බුදයට පාදක වූ එක් මූලික හේතුවක් වූයේ ලංකා දේශපාලනයේ මෙම නව යථාර්ථය පිළිගැනීමට ජනපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිපය අකමැති වීමය.
2015 ජනපතිවරණයේදී පමණක් නොව මහා මැතිවරණයේදීත් ශ්‍රීලනිප නායකත්වයෙන් අතිබහුතරය සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ නොව මහින්ද රාජපක්ෂ මහතා සමඟය. එවකට ශ්‍රීලනිපයේ හා සන්ධානයේ මහා ලේකම් ධුර දැරූ අනුර ප්‍රියදර්ශන යාපා මහතා හා සුසිල් ප්‍රේමජයන්ත මහතා ක්‍රියා කළේ සිරිසේන-විරෝධී හා රාජපක්ෂවාදී ස්ථාවරයක සිටය.

2015 ජනපතිවරණයෙන් පසුව ශ්‍රීලනිප හා සන්ධාන නායකත්වය සිරිසේන මහතාට ලැබුණද යාපා හා ප්‍රේමජයන්ත මහත්වරුන් ක්‍රියා කළේ ඔහුගේ අභිමතය පරිදි නොව රාජපක්ෂ මහතාගේ නියෝග ප්‍රකාරවය. 2015 මහා මැතිවරණ ක්‍රියාවලිය තුළ සිරිසේන ජනපතිවරයා ප්‍රසිද්ධියේ හෑල්ලු කිරීමට මේ මහා ලේකම්වරුන් දෙදෙනා කටයුතු කළහ. නීතිමය ඉඩක් ලැබුණු වහාම පක්ෂයේ හා සන්ධානයේ මහා ලේකම් තනතුරු වෙනස් කිරීමට සිරිසේන මහතා ක්‍රියා කළේ එබැවිනි.

තමන් හිතවත් මහා ලේකම්වරුන් දෙදෙනකු පත්කළ පසු ශ්‍රීලනිපය මතවාදීමය හා ප්‍රතිපත්තිමය ලෙස රාජපක්ෂවාදයෙන් ඉවත් කොට රටේ නව දේශපාලන යථාර්ථයට ගැළපෙන පක්ෂයක් ලෙස එය ප්‍රතිනිර්මාණය කිරීමට සිරිසේන ජනපතිවරයාට හැකියාවක් තිබුණි. එහෙත් ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගැනීමට තරම් දේශපාලන ධෛර්යයක් ඔහුට නොතිබුණා විය හැක. තමන්ට ඉතා නිර්දය ලෙස පහර දුන් හා රාජපක්ෂවරුන්ට ඉතාමත් නිර්ලජ්ජිත ලෙස ගැතිකම් කළ චරිත පවා මතුපිටින් තමන්ට පක්ෂ වනවානම් ඔවුන්ට විවිධ තනතුරු හා වරප්‍රසාද දීමට ද ජනපතිවරයා කටයුතු කළේය.

පාර්ලිමේන්තුවේ තමන්ගේ ගොඩ වැඩි කරගැනීම තම දේශපාලන ශක්තිය වැඩි කරගැනීමක් ලෙස ජනපතිවරයා සලකන්නට ඇත. එහෙත් තමන්ට හෝ 2015 දේශපාලන ව්‍යාපෘතියට කිසි බැඳීමක් නොමැත්තන්ට තනතුරු තානාන්තර දීමෙන් ඔහු කළේ ශ්‍රීලනිපයත් ආණ්ඩුවත් දුර්වල කිරීමය. ආණ්ඩුවේ හදවත වන් වූ ඇමැති මණ්ඩලය තුළත් ශ්‍රීලනිපයේ හදවත වන් වූ මධ්‍යම කාරක සභාව තුළත් රාජපක්ෂවාදී වෛරසයකට ශක්තිමත් වීමට ඉඩ සැලසීමයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම ක්‍රියාකාරීත්වය නිසා සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවට තුනෙක් දෙකේ බලයක් ලැබුණු බව සැබෑය. එහෙත් මෙම බලය හුදු ව්‍යාජයක් විය. එය රට තුළ වූ සැබෑ බලතුලනයේ ප්‍රකාශනයක් නොව එහි විකෘතියක් විය. එපමණක් නොවේ මෙම තුනෙක් දෙකේ බලයෙන් ආණ්ඩුව කළ දෙයක් ද නොමැත. අඩුම තරමින් ජනපතිවරණයේදී මෙන්ම මහා මැතිවරණයේදී ද පොරොන්දු වූ පරිදි නව ව්‍යවස්ථාවකට අනුමැතිය ලබාගැනීමට මෙම තුනෙන් දෙකේ බලය භාවිත කළා නම් එය සාධනීය පියවරක් වනු ඇත.

එහෙත් එවැන්නක් සිදු නොවුණි.වූයේ තුනෙන්-දෙකේ බලය රැකගැනීම සඳහා අධි ස්ථුල ඇමැති මඩුල්ලක් නිර්මාණය කිරීමත්, මැති ඇමැතිවරුන්ට විවිධ වරප්‍රසාද ලබා දීමත් මොවුන්ගෙන් ඇතමකුට අතීතයේ කළ වැරදි සම්බන්ධයෙන් නිසි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අතපසු කිරීමත්ය. මේ සියල්ලේ ප්‍රතිපලය වූයේ රාපජක්ෂ විරෝධී පිල දුර්මුඛ වීමය. අපේක්ෂා භංගත්වයට පත්වීමය.

2015 හා 2018 මැතිවරණ ප්‍රතිඵල සලකා බලනවිට පෙනී යනුයේ මේ කාලසීමාව තුළ රාජපක්ෂවාදී ඡන්ද පදනම නොවෙනස්ව පැවති බවය. එහි අඩුවීමක් හෝ වැඩිවීමක් දක්නට නොමැත. එහෙත් රාජපක්ෂ විරෝධීහු සැලකිය යුතු කොටසක් තමන් පත්කළ ආණ්ඩුවේ වැරදි අක්‍රමිකතා හා අමනෝඥකම් නිසා කලකිරීමට පත්ව 2018 දී ඡන්දය දීමෙන් වැළකී සිටියෝය. එජාපයේත් ශ්‍රීලනිපයේත් පරාජයන්ට මූලික හේතුවක් වූයේ 2015 දී තමන්ට සහාය දුන් තවමත් රාජපක්ෂ විරෝධී පිලේ සිටින ඡන්දදායකයන් ඡන්දය දීම සඳහා පොළඹවා ගැනීමට අසමත්වීමයි.

පළාත් පාලන මැතිවරණයේ එක් මූලික පාඩමක් වූයේ රාජපක්ෂ-විරොධී සන්ධානය බෙදී වෙන්වීම එජාපයටත් ශ්‍රීලනිපයටත් අවාසි බවය. අගමැතිවරයාට විශ්වාසභංග අභියෝගය ජයගත හැකි වූයේ ඔහු මෙම තත්ත්වය නිවැරැදිව වටහා ගත් නිසාය. ජනපතිවරයා විශ්වාසභංග උගුලට හසුවී තමන්ගේ ප්‍රතිරූපය තවත් හානි කර ගත්තේ ඔහු මේ පාඩම තේරුම් නොගත් නිසාය.

විශ්වාසභංගයෙන් ශ්‍රීලනිපය යළිත් වරක් බෙදුණු බව සැබෑය. එහෙත් මෙය තව බෙදීමක් නොවේ. 2015 සිට පැවති බෙදීමක් සක්‍රීය වීම පමණි. විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළේ 2015 මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව හා මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව කතා කළ වැඩ කළ හා ඡන්දය දුන් මැති ඇමැතිවරුන් පිරිසකි. ඔවුන් ආණ්ඩුව තුළ සිටියද ඔවුන්ගේ පක්ෂපාතීත්වය තිබුණේ ජනපතිවරයාටවත් ආණ්ඩුවටවත් 2015 පරිවර්තනමය ව්‍යාපෘතියටවත් නොව රාජපක්ෂවරුන්ටය. එබැවින් ඔවුන් ආණ්ඩුව හැරයාම පුදුමයක් නොව විය යන්නකි.

මේ මැති ඇමැතිවරුන් තමන්ගේ සැබෑ දේශපාලන පිල වෙත ගමන් කිරීම නිසා වඩාත් සමජාතීය පිරිසක් සමඟ ශ්‍රීලනිපයේ පරිවර්තනයක් කිරීමට ජනාධිපතිවරයාට යළිත් අවස්ථාවක් උදා වී තිබේ. ශ්‍රීලනිපයේ ඉතිහාසය සලකා බලන විට එහි මූලික මතවාදීමය දේශපාලන ධාරා දෙකක් තිබූ බව පෙනී යයි. එකක් නම් සිංහල-බෞද්ධ ජාතිවාදයයි. අනෙක නම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයයි. මේ ධාරා දෙකෙන් ශ්‍රීලනිපය තුළ බලවත් වූයේ පළමුවැන්නයි. අද එහි නිසි උරුමකරුවා වනුයේ රාජපක්ෂ පවුලයි. ඔවුන් බලය රැකගැනීමටත් බලය යළි ලබාගැනීමටත් භාවිත කළ හා තවමත් භාවිත කරන ප්‍රධාන උපක්‍රමයක් වනුයේ සිංහල-බෞද්ධ ජනතාව බියවද්දා ඒ තුළින් ඡන්ද ගරා ගැනීමයි.

මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනෙන කාරණයක් නම් උතුරේ ජනතාව තුළ තවමත් ජනපතිවරයාත් ඒ නිසාම ශ්‍රීලනිපයත් පිළිබඳව විශ්වාසයක් ඇති බවය. දකුණු පළාතට වඩා වැඩි ජයක් උතුරු පළාතේ ලබාගැනීමට ශ්‍රීලනිපය සමත් විය. ජාතිවාදී විරෝධී ස්ථාවරයක් හා ජනතාවට බර නොපටවන, ජනතාවගේ අවශ්‍යතාවලට මූලිකත්වය දෙන සංවර්ධන වැඩපිළිවෙළක් ඒකාබද්ධ කෙරෙන නව ගමන් මඟකට අවතීර්ණ වීමට ශ්‍රීලනිපයට හැකි නම් තමන්ටම සුවිශේෂී වූ ඡන්ද පදනමක් ගොඩනගා ගැනීමට එයට ඉඩකඩ ඇත.

වෙනස්වීම තුළින් යළිත් පුනර්ජීවනය වීමට ශ්‍රීලනිපයට ශක්‍යතාවයක් තිබේ. ප්‍රශ්නය නම් එවැනි අලුත් ගමනකට නායකත්වය දීම තරම් දේශපාලන ශක්තියක් ජනාධිපතිවරයාට තිබේ ද යන්නය.

එජාපය හා සමඟ ඇති සභාග ආණ්ඩුව අලුත් කිරීම සඳහා නව පදනමක් සකස් කිරීමේ වගකීම ජනාධිපතිවරයා විසින් සරත් අමුණුගම අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවකට පැටවිය. තමන් ඒ අවශ්‍ය පදනම පිළිබඳ එකඟතාවයකට පැමිණි බවත් ජනාධිපතිවරයා ලංකාවට පැමිණි පසුව ඒ පිළිබඳ ඔහුට වාර්තා කරන බවත් අමුණුගම ඇමැතිවරයා මේ සඳුදා ප්‍රකාශ කර තිබිණි.

2015 ව්‍යාපෘතිය තුළ තවමත් ඉටු නොවුණු හා එජාපය විසින් මුළුමනින්ම අත්හැර දමා ඇති පොරොන්දු හා පිළිවෙත් බොහෝය. මේවා ඉටුකිරීම සඳහා නායකත්වය දීමට තවමත් ජනාධිපතිවරයාට හැකියාවක් ඇත.

ජනතා මතකය යනු වැඩිදුර යන්නක් නොවේ. ඉදිරි වසර එකහමාර තුළ මෙතෙක් ඉටු නොකළ පොරොන්දු ඉටු කිරීමට අවශ්‍ය දේශපාලන නායකත්වය දීමට ජනාධිපතිවරයා ඉදිරිපත් වන්නේ නම් ගතවූ දෙවසරක් තුළ වූ අයාලේ යාම් ජනතා මතකයෙන් බොඳ වී යනු ඇත.

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් සූදානම් වන බව ජවිපෙ කියා තිබුණි. විපක්ෂ නායක සම්පන්දන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව තමන් සලකා බලන බව ඒකාබද්ධ විපක්ෂය කියයි. මෙම විශ්වාසභංගය තුළින් ජාතිවාදය අවුස්සා ඉන් ප්‍රයෝජන ගැනීම ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ බව පැහැදිලිය.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ලාංකීය දෙමළ හා මුස්ලිම් පක්ෂවල සහාය ලබාගැනීම ද්‍රෝහිකමක්ය යන මිත්‍යාව පැතිරවීමට ඒකාබද්ධ විපක්ෂය දැනටත් උත්සහ දරමින් සිටී. සම්පන්දන් මහතාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වුවහොත් එහි ප්‍රතිඵලය වනු ඇත්තේ මෙරට ජනතාව අතර දැනටත් කැකෑරෙමින් පවතින සැක සංකාවන් තවත් උත්සන්න වීමය.

ජනතා විමුක්ති පෙරමුණේ විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව ජාතික දේශපාලන න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම වැදගත් වනුයේ මේ සංදර්භය තුළය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම 2015 ජයග්‍රාහී සන්ධානයේ මූලස්ථම්භයකි. මේ ඉල්ලීම ඉටු නොකර 2020 ජනපතිවරණයට ඉදිරිපත් වන ආණ්ඩුවේ ඕනෑම නායකයකුට බොරුකාරයකු හා පොරොන්දු කඩකරන්නෙකු යන හංවඩුවෙන් ගැළවීම අපහසු වනු නියතය.

එහෙත් ජවිපෙ යෝජනාව හරහා විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පුළුල් සන්ධානයක් ගොඩගැනීමට ආණ්ඩුව සමත් වුවහොත් එය මේ වනවිට දුර්මුඛ ඉච්ඡාභංගත්වයට පත්ව සිටින තම ඡන්ද දායකයන්ගේ උද්යෝගය අවදි කිරීමේ මඟක්ද විය හැක. 

විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුත්තේ ඒකාධිකාරි අගමැතිවරයකු බිහිවීමට ඉඩක් සලසමින් නොවේ. කවර පක්ෂයක කවුරුන් හෝ නායකයෙක් බලතල සියල්ල තමන් අතරොක් කරගෙන බලය තම පවුලේ සහ ගජ මිතුරන්ගේ හෝ පක්ෂයේ වාසිය තකා අපයෝජනය කිරීම වැළැක්වීමට හැකි ප්‍රජාතන්ත්‍රිය සංශෝධන ද ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම අත්‍යවශ්‍යමය.

එවැනි සංශෝධන මාලාවක් සකස් කිරීමට ආණ්ඩුව සමත් වුවහොත් ඒකාබද්ධ විපක්ෂයට හා ඊට සහාය දක්වන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට බරපතළ අභියෝගයක් නිර්මාණය කිරීමට ආණ්ඩුවට හැකි වනු ඇත. ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් වීම රාජපක්ෂවරුන් නොරිස්සුවද එවැනි සංශෝධනයකට එළඹීම අකුල් හෙලීම ඔවුන්ට අපහසු විය හැක. විධායක ජනපති ක්‍රමයට ඇති විරෝධය ශ්‍රීලනිපයේ හා සම්ප්‍රදායික වාමාංශික පක්ෂවල දේශපාලන ජානවල තැන්පත් වී තිබේ. මේ අතීත මතක අවදි කිරීම තුළින් විධායක ජනපති ධුරය අහෝසි කරන ප්‍රජාතන්ත්‍රිය ව්‍යවස්ථාමය වෙනසකට පුළුල් ජනතා සහයෝගයක් දිනාගැනීමට ආණ්ඩුවට හැකියාවක් තිබේ.

එහෙත් මේ හා සමාගාමීව සිදුකළ යුතු තවත් ක්‍රියාමාර්ගයක් ඇත. එනම් ජනතාව මුහුණ දෙන ආර්ථික බර සැහැල්ලු කිරීමයි. මෙරටේ බඩු මිල ඉහළ යාමට පාදක වන මූලික හේතුවක් වනුයේ අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා මත රජය පනවන වක්‍ර බදුය. මෙම බදු නොවන්නට බොහෝ භාණ්ඩ හා සේවාවල මිල සැලකිය යුතු ලෙස පහළ වැටීමට ඉඩ තිබේ.ලංකාවේ ඍජු බදු හා වක්‍ර බදු අතරැති බරපතළ අසමතුලිතතාව මෙලෙස මුළු ජනතාව මතම දැරිය නොහැකි බදු බරක් පැටවීමට මූලික හේතුවයි.

නව බදු ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කොට ඉදිරි දෙවසර තුළ භාණ්ඩ හා සේවා මත පනවා ඇති ඉතා ඉහළ වක්‍ර බදු අඩුකිරීම තම අරමුණ බව මුදල් ඇමැතිවරයා කියා තිබේ. මෙම ඉලක්කය සපුරා ගැනීමට හැකි වුවහොත් ජනතාවගේ ජීවන බර දැනෙන තරමට සැහැල්ලු කිරීමට ආණ්ඩුවට හැකි විය හැක. 2015 ජයග්‍රාහී සන්ධානය ගොඩනැගීමට පාද වූ මූලිකම හේතුව අදටත් පවතී. ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්වාධීන කිරීම සඳහා රාජපක්ෂ පාලනය නිමා කිරීම එදා අවශ්‍යතාව විය. ප්‍රජාතන්ත්‍රවාදය රැකගනීමට නම් රාජපක්ෂවරුන් යළි බලයට ඒමට වළක්වා ලීම අද අවශ්‍යතාවයි. ඒ සඳහා රාජපක්ෂ-විරෝධී කඳවුරේ යම් එකමුතුවක් මෙන්ම එදා දුන් පොරොන්දු ඉටු කිරීමට යළිත් කතාවෙන් නොව ක්‍රියාවෙන් කැපවීමත් අවශ්‍ය වෙයි.

එජාප-ශ්‍රීලනිප දෙමුහුන් ආණ්ඩුව නව පදනමකින් ප්‍රතිනිර්මාණය කිරීමට ජනපතිවරයා ක්‍රියා කිරීමත් විධායක ජනපති ධුරය අහෝසි කිරීමට ජවිපෙ ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවත් අනාගතය සඳහා හොඳ ආරම්භයක් විය හැක. ප්‍රශ්නය නම් මේ හැකියාවන් නිසියාකාරව ප්‍රයෝජනයට ගැනීමට තරම් සිහි බුද්ධියක් හා විචාර බුද්ධියක් ආණ්ඩුවේ නායකයන්ට තිබේද යන්නය. 

තිසරණී ගුණසේකර