අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව රැස්වී ගනු ලබන තීන්දු තීරණවලට පිටින් පූජා නගරයේ නොගැළපෙන දේ සිද්ධවන නිසා තවදුරටත් පූජා නගර සංවර්ධන රැස්වීම තේරුමක් තිබේදැයි අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් සහ රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියන් ප්‍රශ්න කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

අනුරාධපුරය හැඳින්වෙන්නේ ශුද්ධ බුද්ධ භූමිය ලෙසය. සිදුහත් ගෞතමයන් වහන්සේට කෙලෙස් නසා ලොවුතුරා බුද්ධත්වයට පත්වීමට සෙවණ දුන් ජයශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව රෝපිත අනුරාධපුර ශුද්ධ බුද්ධ භූමිය බෞද්ධයාගේ මුදුන්මල්කඩකි. දුටුගැමුණු රජ සමයේදී අනුරාධ නම් සෙනෙවියා නිර්මාණය කළ අනුරාධපුරය ඒ අර්ථයෙන්ම ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුක්තය. විශේෂයෙන්ම පොසොන් සමයේදී ලක්‍ෂ සංඛ්‍යාත සැදැහැවත්හු රටේ සිව් දෙසින් අනුරාධපුරයට එක්වෙති. ඒ අටමස්ථානය වැඳ නමස්කාර කිරීමටත්, ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමටත් ය. එහෙයින්ම එම ස්ථානය එම ආගමික හා පුරාවිද්‍යාත්මක වටිනාකම නොකෙලෙසෙන ආකාරයෙන් පවත්වාගෙන යා යුතුය. අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව නිර්මාණය වන්නේ ද ඒ අරමුණ මුදුන් පමුණුවා ගැනීමටය.

කරුණු කාරණා එපරිදි වුවද අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස මාහිමිපාණන් වහන්සේ මෙන්ම රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන මාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව තවදුරටත් රැඳී සිටීමේ ප්‍රයෝජනයක් නොමැති බවය. උන්වහන්සේ පෙන්වා දෙන්නේ එම කමිටුව රැස්වී ගනු ලබන තීන්දු තීරණවලට පිටින් පූජා නගරයට නොගැළපෙන දේ සිද්ධවන බවය.

‘‘පුරාවස්තුවලින් පිරුණ ප්‍රදේශයක් තමයි අනුරාධපුර පූජා නගරය. මේ පුදබිම තමයි බෞද්ධයාගේ හදවත. ඒ නිසා මේ පූජා නගරය අප විසින් රැක ගත යුතුයි’’ එසේ පවසන්නේ අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේය. එහෙත් අනතුරුව උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මෙවැන්නකි.

‘‘සමාධි පිළිම වහන්සේ ළඟ පොසොන් පොහොයට දහස් ගණනක් සැදැහැවතුන් සිල් සමාදන් වෙනවා. දැන් එතැන කඩවලින් පිරිලා. ඒ මදිවට දැන් එතන තවත් කඩ පෙළක් ඉදිවෙනවා. එතැන කඩ මණ්ඩියක් ඉදිවුණාම සැදැහැවතුන් සිල් ගන්නේ කොහොමද? ඒ උදවිය බණ භාවනා කරන්නේ කොහොමද?’’

මෙම ප්‍රශ්න කිරීම මග හැර යා නෙහැකිය. සාම්ප්‍රදායික උරුම, ඓතිහාසික බෞද්ධ උරුම හා සංස්කෘතික සාර ධර්ම ආරක්ෂා කර ගැනීම සඳහා නව පන්නයේ සටන් ආරම්භ කිරීමට සිදුව ඇති හෙයිනි. මෙයට හත් අට වසරකට ඉහතදී අනුරාධපුර ශුද්ධ භූමියෙන් නැගුණේ වගකීම් විරහිත සැදැහැවතුන්ගෙන් සිදුවන පුරාවස්තු විනාශය හා පාරිසරික විනාශය සම්බන්ධ හඬයි. පුරා විද්‍යාත්මක ගල්, ලිප්ගල් බවට පෙරළාගන්නා සැදැහැවතුන් පිළිබඳව එකල වැඩි වැඩියෙන් කියැවිණි. එහෙත් දැන් හඬ නැගෙන්නේ අදාළ පූජා භූමිය, එය සංරක්ෂණය කිරීමේ වගකීම ඇති ආයතනවලින් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙනි.

රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන මාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර තිබුණේ සිද්ධස්ථාන ආසන්නයේ ඇති වෙළෙඳසල්වල නොගැළපෙන හා නීත්‍යනුකූල නොවන දේ විකුණන බවය. ‘‘අනුරාධපුරයේ සෑම සිද්ධස්ථානයක් අසලම මත්ද්‍රව්‍ය විකුණද්දී පොලිසියට හසුවී තිබෙනවා. පූජා නගර සීමාවේ සමහර තැන්වල එළවළු විකුණනවා.
 
මාළු විකුණනවා. කවුද ඒ සඳහා ඉඩ දෙන්නේ? හිටපු අගමැති බණ්ඩාරනායක මහතා ආරම්භ කළ පූජා නගරය පිහිටුවීමේ කටයුත්ත එදා අඩක් පමණ අවසන් කළ පසු ගතවූ අවුරුදු 70 කට අධික කාලය තුළ කිසිදු පාලකයකුට ඒ කාරණය අවසන් කරන්න බැරිවුණා කියලා මම පැහැදිලිවම කියනවා. කොච්චර කතා කළත් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසයි මම කියන්නේ මේ කමිටුවෙන් අස්වෙන්න මට අවස්ථාව දෙන්න. ඊට පස්සේ මට පුළුවන් මේ පූජා නගර කමිටුවෙන් නිසි ක්‍රියාත්මකවීම් වෙන්නේ නැහැ කියලා අධිකරණයට යන්න.’’

ස්වයං විනයෙන් පාලනය නොවන පිරිස් පාලනය කිරීම සඳහා අධිකරණය ලොව බිහිවිය. පල්ලේගම හේමරතන මා හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ තමන් වහන්සේ කමිටුවෙන් ඉල්ලා අස්වී අධිකරණයට යන බවය. අනුරාධපුර ශුද්ධ බුද්ධ භූමිය අද පත්වී ඇති දුක්ඛිත ඉරණම එම ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වේ.

උතුරුමැද ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ප්‍රකාශ කර තිබුණේ උන්වහන්සේලා පවසන කාරණයේ සත්‍යතාවක් ඇති බව තමා පිළිගන්නා බවත්, අනුරාධපුර පූජා නගරයේ සංචාරයකළ අවස්ථාවලදී බොහෝ දේ දෑසින් දුටු බවත්ය. එය එසේ නම් පූජා නගර සංවර්ධන කමිටුව ගන්නා තීන්දු තීරණවලින් එපිට තීන්දු තීරණ ගන්නේ කවුරුන්ද යන්න වෙසෙසින් විමසා බැලිය යුතුය.

(***)