මෙරට ජනතාවගේ වුවමනා එපාකම් හා දේශපාලනඥයන්ගේ විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වුවමනා එපාකම් අතර පැහැදිලි වෙනසක් දැන් පෙනෙන්නට තිබේ. ආර්ථික අර්බුදය මේ තරම් උග්‍ර වන්නට පෙර ජනතාව ද දේශපාලනයෙන් මත්වී සිටි හෙයින් ඔවුන්ට ද පක්ෂ දේශපාලනය වැදගත්වී තිබිණි. එහෙයින් ඒ දිනවල ද මෙම වෙනස තිබුණද අද මෙන් එය පැහැදිලිව පෙනෙන්නට නොතිබිණි.

අද ජනතාවට පක්ෂ දේශපාලනය කර තබා ගෙන තමන්ගේ අසල්වැසියා සමග වාද කරමින් සිටින්නට කාලයක් නැතුවා මෙන්ම අද පක්ෂ  භේදයෙන් තොරව ජනතාව අති විශාල ආර්ථික දුෂ්කරතාවක එරී සිටිති. දේශපාලනඥයන්ගේ හා ජනතාවගේ අභිලාෂයන් හා වුවමනා එපාකම් අතර පැහැදිලි  වෙනසක් මේ දිනවල දක්නට ලැබෙන්නේ එහෙයිනි.

දැන් රටේ ජනතාවගෙන් අති බහුතරයකගේ ප්‍රශ්නය වී ඇත්තේ එදිනෙ දා ජීවිතය ගැටගසා ගන්නේ  කෙසේද? යන්නය. මුලදී මේ ප්‍රශ්නය  බලපෑවේ දුප්පතුන්ට පමණක් වුවද අද එය ඉහළ මධ්‍යම පන්තියට ද එක්තරා දුරකට බලපා තිබේ. ඒ වත්මන් ආර්ථික  අර්බුදය ජනතාවගේ පැත්තෙන් බලන කල මුදල් අගහිඟකමක්ම නොවන හෙයිනි.

ධනවත් මිනිසුන් හා වරප්‍රසාද ලත් කණ්ඩායම්වලට අයත් පිරිස් හැර පන්ති භේද පක්ෂ භේද ආදියෙන් තොරව අද ජනතාවට විශාල බලාපොරොත්තු නැත. ඔවුනට පොදුවේ ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ සොයා ගැනීමේ ප්‍රශ්නයයි. මුදල් ඇතත් අද දරුවකුට කිරි පොදක් දෙන්නට කිරිපිටි පැකට්ටුවක් සොයා ගත නොහැකිය. සොයා ගත්ත ද එය රත්කර දෙන්නට ගෑස් නැත. එය රත්කර දිය යුතු වන්නේ විදුලියෙනි. විදුලිය ද එසේ සෑම වේලාවේම නැත.

වාහනවලට ඉන්ධන සොයා මේ දිනවල වීදියක් වීදියක් ගානේ පෝලිම්වල ජනතාව පැය ගණන් පමණක් නොව දින ගණන්ද කල් මරති. සති ගණනාවකින් බොහෝ ප්‍රදේශවලට ගෑස් ලැබී නැත. ඒ වෙනුවට භූමිතෙල් භාවිත කරමින් සිටි ජනතාවට ද දැන් භූමිතෙල් ලැබෙන්නේ නැත. ඇතැම් ස්ථානවල ජනතාව භූමිතෙල් සඳහා ද බූලි අත තබාගෙන කිලෝමීටර් ගණන් දිග පෝලිම්වල කල්  ගෙවති.

මේ නිසා බොහෝ දෙනකුගේ රැකියා අහිමි වී තිබේ. ගෑස් නැති හෙයින් කුඩා හෝටල් සියල්ලම පාහේ වැසී ගොසිනි. ඒවායේ සේවය කළ සේවකයන්ගේ රැකියා ඔවුනට අහිමිවී තිබේ. පෙට්‍රල් හිඟය නිසා ත්‍රීරෝද රථ හිමියන්ගේ රැකියා අහිමි වෙමින් පවතී. භූමිතෙල් හිඟය නිසා ධීවරයන්ට රැකියා අහිමි වෙමින් පවතී. පෙර මෙන් නොව ගොවිතැන් ද යාන්ත්‍රික වී ඇති හෙයින් ඩීසල් හිඟය ගොවීන්ගේ රැකියාවලට බලපා තිබේ.

ජනගහනයෙන් අති බහුතරය ආදායම හා වියදම අතර පරතරය පියවා ගැනීමේ විශාල සටනක නිරතවී සිටිති. පිරිසකගේ ආදායම් ස්ථාවරව පැවැතුණද පසුගිය වසරක පමණ කාලය තුළ වියදම තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. මෙය දරුවන්ගේ අධ්‍යාපනටය ද විශාල බලපෑමක් කරයි.

ජනතාවගේ ප්‍රශ්න  මේවාය. මේ නිසා රටපුරා ජනතාව අතර ඇති විශාල අසහනකාරිත්වයක් හා මානසික පීඩාවක් පැතිර පවතී. ඉන්ධන, ගෑස් හා භූමිතෙල් පෝලිම්වල දී ඔවුන් ජනමාධ්‍යවේදීන් හමුවේ කෝපයෙන් පිට කරන්නේ එම අසහනකාරීත්වයයි. මෙම අසහනකාරිත්වය ඔවුහු විටෙක තමන් සමගම පෝලිමේ සිටින්නන්හට එරෙහිව පිට කරති. විටෙක ගෑස්, ඉන්ධන බෙදාහරින්නන් හට එරෙහිව පිට කරති. විටෙක අසල්වැසියන් වෙතට එල්ල කරති.

මාස ගණනාවක් එක දිගට මෙසේ පීඩා විඳීම නිසා බොහෝ දෙනකු දේශපාලනඥයන් ගැන කතා කරන්නේ කෝපයෙන් හා වෛරයෙනි. ජනමාධ්‍ය මගින්ද ඔවුන්ගේ කෝපය හා වෛරය ඔවුන් පිට කරනු පෙනේ. මෙය යම් යම් දේශපාලන පක්ෂ හෝ ආණ්ඩු විරෝධී වෘත්තීය සමිති විසින් ජනතාව අතර වැපිරු වෛරයකැයි ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන් කියන්නට  උත්සාහ කළ ද එය එවැන්නක් නොවේ. එම කෝපය ජනතාව විඳින පීඩාවන්ගේ සෘජු ප්‍රකාශනයකි. ඒ බව ඉතා පැහැදිලිව පෙනෙන්නේ මෙසේ කෝපයෙන් හා වෛරයෙන් දේශපාලනඥයන්හට බැන වදින බොහෝ දෙනා වත්මන් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් බලයට පත් කිරීම සඳහා ඡන්දය දුන් අය වීමය.

පසුගිය 9 වැනිදා ගෝඨා ගෝ ගම යනුවෙන් ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන් විසින් නම් කරනු ලැබ ඇති ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂකයන්හට එවකට සිටි අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පහර දීමෙන් පසු රට පුරා දේපළ විනාශ කිරීම්වලට ඇතැමුන් පෙළඹෙන්නට මෙම වෛරය ද එක්තරා දුරකට බලපෑවේ යැයි සිතිය  හැකිය.

එහෙත් පොදුවේ මෙරට දේශපාලනඥයන් ජනතාව විඳින මේ පීඩාව සම්බන්ධයෙන් කම්පාවන බවත් පෙනෙන්නට නැත. සෘජුවම ආර්ථික අර්බුදය විසඳීමේ වගකීම පැවරී ඇති දෙතුන් දෙනකු හැර මෙම ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් අදහස්, යෝජනා ඉදිරිපත් කරන මන්ත්‍රීවරයකු නැති තරම්ය. ඔවුන්ගේ අරමුණු හා ඉලක්ක යොමුවී ඇත්තේ වෙනත් කරුණු වෙතය. පොදුවේ ගත් කල වරප්‍රසාද  ලබා ගැනීම හෝ තම තමන්ගේ පක්ෂයට බලය ලබාගැනීමට හෝ බලය තහවුරු කර ගැනීම වෙතය.

ආණ්ඩුවේ දේශපාලනඥයන් ඇතැමකුගේ අරමුණ වී ඇත්තේ අනෙක් පක්ෂවලින් මන්ත්‍රීන් බිලී බාගෙන  ආණ්ඩුවේ පැවැත්ම තහවුරු කර ගැනීමය. එමගින් ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය සාමූහිකත්වය බිඳීයාම  ඔවුනට ප්‍රශ්නයක් නොවේ. තවත් ඇතැමෙකුගේ අරමුණ වී ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවක නාමයෙන් තමන්ට ද ඇමැතිකම් ලබාගෙන වරප්‍රසාද බුක්ති විඳීමය. එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකිනෙකා යටපත් කිරීමේ තරගයක නිරතව සිටී.

දැනට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවල කේන්ද්‍රස්ථානය බවට පත්වී ඇති උද්ඝෝෂකයන් වෙතට ජනතාවගේ එදිනෙදා ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් නැතැයි කෙනකු තර්ක කළ හැකිය. මන්දයත් ඔවුන් එවැනි තර්නානුකූල වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට නැති හෙයිනි. ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය ද දේශපාලන සටන් පාඨයකි. ‘ගෝඨා ගෝ හෝම්’ යනුවෙන් මාර්තු 31 වැනිදා මිරිහානේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක දී කලඑළි බට එම සටන් පාඨය ද ආර්ථික ඉල්ලීමක්  නොවේ. ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි කරන දේශපාලන ඉල්ලීමකි.

සර්ව පාක්ෂික ආණ්ඩු, අන්තර්කාලීන ආණ්ඩු, භාරකාර ආණ්ඩු ආදී වශයෙන් මේ වනවිට ඉදිරිපත් වී ඇති ඉල්ලීම්වලට වඩා ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුය යන ඉල්ලීම ගැටලු සහගතය. ජනාධිපතිවරයා ඉල්ලා අස් වුවහොත් පාර්ලිමේන්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මසක් තුළ නව ජනාධිපතිවරයා ලෙස පත්කර ගන්නා තෙක් වත්මන් තත්ත්වය යටතේ ජනාධිපති ධුරයට පත් වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. ඉන්පසු අන්තර් කාලීන ආණ්ඩුවක් පත් කළ යුතු යැයි ද උද්ඝෝෂකයෝ යෝජනා කරති. ඒ මහ මැතිවරණයකින් නව පාර්ලිමේන්තුවක් පත්කර ගන්නා තෙක්ය.

මෙයද ආර්ථික ප්‍රශ්නවලට ක්ෂණික විසඳුම් සෙවීමක් නොවේ. එසේ වුවද වත්මන් ආර්ථික අර්බුදයේ හේතු කාරණා අනුව සලකා බලන විට එම අර්බුදයෙන් පීඩා විඳින්නන් ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි කියා සිටීම තර්කානුකූල වේ. මන්දයත් වත්මන් ඇතැම් ප්‍රශ්නවලට තමන් වගකිවයුතු නැතැයි ජනාධිපතිවරයා පසුගිය දිනෙක ජාතිය අමතමින් පැවසුව ද සියලු ප්‍රශ්න විසඳීමේ ව්‍යවස්ථානුකූල මෙන්ම සදාචාරමය වගකීම පැවරී ඇත්තේ ජනාධිපතිවරයා වෙතය. ජනාධිපතිවරයා රටේ නායකයාය. ඔහු 2020දී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකාධිපතියකුට තරම් බලතල ලබාගෙන ද තිබේ.

වත්මන් අර්බුදය මේ තරමට උග්‍ර වීමට පොහොර ආනයනය තහනම් කිරීම මෙන්ම නිසි කලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගැනීම ප්‍රධාන හේතු  දෙකක් බව ආර්ථික විශේෂඥයෝ පවසති. ජනාධිපතිවරයා ද පසුගිය අප්‍රේල් 18 වැනිදා අලුත් ඇමැති මණ්ඩලයක් පත්කොට එම ඇමැතිවරුන් හමුවේ කතා කරද්දී මේ කාරණා දෙක තමන් අතින් වූ වැරැදි ලෙස පිළිගෙන තිබේ.

එපමණක් නොව ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම මහා පරිමාණයෙන් බදු කපා හැරියේය. එමගින් භාණ්ඩාගාරයට වසරකට ලැබිය යුතු රුපියල් බිලියන 650ක් (රුපියල් කෝටි 65,000ක්) අහිමි වී ගියේය. නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද මෙම කරුණු දක්වමින් ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු යැයි තමන් 2020  ඔක්තෝබර් මාසයේ දී කියා සිටිය ද අදාළ පුද්ගලයන් එය නොතකා හළ බව පවසා තිබිණි. එහෙයින් උද්ඝෝෂකයන් රට මේ තත්ත්වයට ඇද දැමීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට චෝදනා කරමින් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ඉල්ලා අස්විය යුතු යැයි කියා සිටීම සාධාරණය.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා දහස් ගණන් තම ආධාරකරුවන් අරලියගහ මන්දිරයට ගෙන්වා ඔවුන් උද්ඝෝෂකයන් සිටින ගාලු මුවදොර පිටියට යැව්වේ එසේත් නැතහොත් යන්නට ඉඩ හැරියේ මෙසේ රට ගිනියම්ව පැවති තත්ත්වයකදීය. එහි ප්‍රතිඵලය වූයේ ඔහුට එදිනම අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවීමය. එමගින් දින තුනකට අගමැතිවරයකු හා ආණ්ඩවුක් නැති  තත්ත්වයක් රට තුළ ඇතිවිය. කවුරුන් හෝ අගමැති ධුරය භාර ගැන්නැයි දේශපාලන පක්ෂවලට පින් සෙන්ඩු වන්නට ජනාධිපතිවරයාට සිදුවිය.

එහිදී ඒ සඳහා ඉදිරිපත් වන්නට ඉතාමත් පහසු වුයේ එජාපයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාටය. මන්දයත් ඔහු සමගි ජනබලවේගය හා ජාතික ජන බලවේගය මෙන් ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයැයි කොන්දේසියක් හෝ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණේ නැත. ඒ අනුව අගමැති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මුලින්ම එකඟතාවක් ඇතිකර  ගත්තේ වික්‍රමසිංහ මහතා සමගය.

එසේම පසුගිය මාර්තු 23 වැනිදා ජනාධිපතිවරයා කැඳවු සර්ව  සාක්ෂික සමුළුවේ සිට වික්‍රමසිංහ මහතා හා ආණ්ඩුව අතර පෙරට වඩා සමීප බවක්ද ඇතිවී තිබිණි. වික්‍රමසිංහ මහතාද  ආර්ථික අර්බුදයෙන් විනාශයේ අද්දරට ගොස් තිබූ රටට සහනයක්දීමේ වැඩපිළිවෙළ කඩා වැටීම වැළැක්වීම සඳහාත් තම ප්‍රධාන තරගකරුවා වන සමගි ජන බලවේගය කපාගෙන ඉදිරියට ඒම සඳහාත්  එම අවස්ථාව වහා අල්ලා ගත්තේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් වික්‍රමසිංහ මහතා මහ බැංකු බැඳුම්කරයේ මහමොළකරු ලෙස කලෙක හැඳින්වූහ. ඔහු කොටි සංවිධානයේත් බටහිර අධිරාජ්‍යවාදයේත් නියෝජිතයකු ලෙස හැඳින් වූහ. වික්‍රමසිංහ මහතාද කලෙක  රාජපක්ෂවරුන්ගේ දූෂණය  ගැන රටට කියාගෙන ගියේය. ඇතැම්හු දැන් මේ නොගැළපීම් ගැන කියති. එහෙත් සමගි ජන බලවේගයේ නායක සජිත්  ප්‍රේමදාස මහතා හෝ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙම වගකීම භාර ගත්තද මෙවැනි  නොගැළපීමක් ඇතිවීම අනිවාර්යය.

වික්‍රමසිංහ මහතා සතුව පාර්ලිමේන්තු බහුතරයක් නැති හෙයින් ඔහුගේ පත්වීම ව්‍යවස්ථා විරෝධී යැයි ද තර්කයක් නැගේ. පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට අවනත වන තාක් හා ජනාධිපතිවරයා හා වික්‍රමසිංහ මහතා අතර ගැටුමක් ඇති නොවනතාක්  ව්‍යස්ථාව අනුව වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ඇතැයි ජනාධිපතිවරයා අදහස් කළ හැකිය. එවිට මේ පත්වීම ව්‍යවස්ථානුකූල වේ. එසේ අගමැතිවරයාට බහුතර බලයක් නැතැයි ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව දැන සිටියදී 2015, 2018 හා 2019 කාලවලදී ජනාධිපතිවරුන් අගමැතිවරුන් පත් කළහ.

ඒ නිසා මේ සියලු තර්ක අදට අදාළ නැත. අනෙක් අතට කවුරුන් හෝ අගමැතිධුරය භාර නොගතහොත් දැනට රටට ඇති එකම මාර්ගය වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයද ලබාගැනීම දුෂ්කර වනු ඇත. ඒ අනුව බහුතරය ගැන කතා කරන කිසිවකු අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්  ඉදිරිපත් කිරීමටද ඉදිරිපත් නොවන බව පෙනේ.

කෙසේ වෙතත් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් වන්නට පෙර ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආරම්භ කරන ලද වැඩපිළිවෙළ හැර ඔහුටද වත්මන් ප්‍රශ්නයට වෙනත් වැඩපිළිවෙළක් ඇති බවක් නොපෙනේ. ඔහු ඉදිරිපත් කළ එකම අලුත් යෝජනාව වන්නේ ශ්‍රී ලංකාවට ආධාර දෙන රටවල සංසදයක් පිහිටුවිය යුතුය යන්නයි. ඔහුගේ නායකත්වය යටතේ  යටතේ 2002 දී ආරම්භ වූ සාම ක්‍රියාවලිය යටතේද ශ්‍රී ලංකාවට ආධාර දීමට රටවල් 51ක් හා ජාත්‍යන්තර සංවිධාන 22ක් එකතුවී තිබිණි. එහෙත් එවැනි සංසදයක් සඳහා දැන් ජාත්‍යන්තර උනන්දුවක් තිබේද යන්න සැක සහිතය.

මේ සිදුවීම්වලින් ජනතාවට වැදගත් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන්නට යන ගනුදෙනුව පමණි. අනෙක් සියල්ල වැදගත් වන්නේ දේශපාලනඥයන්ටය. හිටපු මුදල් ඇමැති අලි සබ්රි මහතා ප්‍රකාශ කළාක් මෙන් අගමැති වික්‍රමසිංහ මහතා ද ඉදිරි මාස කිහිපයේදී ආර්ථික තත්ත්වය තවත් බරපතළ වනු ඇතැයි පවසයි. ඒ තත්ත්වය යටතේ ජනතාවගේ අවශ්‍යතා හා දේශපාලනඥයන්ගේ ක්‍රියා කලාපය අතර පරතරය තවදුරටත් පුළුල් වේනම් ඊට අනුරූපව ජනතා කෝපයද උග්‍රවීමට ඉඩ තිබේ.

(*** එම්. එස්. එම්. අයුබ්)