IMG-LOGO

2025 මාර්තු මස 22 වන සෙනසුරාදා


අධ්‍යාපන ගමන් මග කොතැනටද?

ලබන වසරේ (2026) සිට සෞන්දර්ය සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට අදාළ විෂයන් ඉවත් නොකරන බවට පසුගිය සෙනසුරාදා අරලියගහ මන්දිරයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අධ්‍යාපන ඇමතිනී, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පැවසූ බව කියැවෙන මාධ්‍ය වාර්තාවක් කියවීමි.

එයට අනුව, අධ්‍යාපන අමාත්‍යාංශයේත් විභාග දෙපාර්තමේන්තුවේත් ජාතික අධ්‍යාපන ආයතනයේත් ප්‍රධාන නිලධාරීන් සමග ජා.ජ.බ අධ්‍යාපන ප්‍රතිපත්ති කමිටුවේ කිහිප දෙනෙකුත් 2026 සිට ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව අගමැතිනිය සමග සාකච්ඡා කර ඇත.

මේ කියන්නා වූ 2026 සිට ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තියෙන්නේ කොහේද? ඒවා සම්පාදනය කෙරුවෝ කවරහුද? එම ප්‍රතිසංස්කරණ ආවරණය කරන්නේ අධ්‍යාපනයෙහි කවර ක්ෂේත්‍රද? එවැනි කිසිදු කාරණාවක් පිළිබඳව සම්පූර්ණ තොරතුරු කොහේවත් නැත.

මුල සිට කතාව පටන් ගතහොත් මේ රටේ සමස්ත විධිමත් අධ්‍යාපනය - “පෙර පාසල්වල සිට ප්‍රාථමික, ද්විතියික, උසස් හා වෘත්තීය අධ්‍යාපනය දක්වාත් ඒවායේ ගුරු සේවා හා පුහුණුකරුවන් දක්වාත් පාසල් පරිපාලනයේ සිට අධ්‍යාපන පරිපාලනය දක්වාත්” - සියල්ල මුළුමනින්ම ගරා වැටුණු, පිරිහුණු, පරපුටු, දූෂිත ක්ෂේත්‍රයක් ලෙස පවත්වා ගෙන යන්නකි. කණ්ඩායමක් කල්ලියක් හවුල් වී එයට තැන තැන අණ්ඩ දැමීමෙන් අධ්‍යාපනයේ යෝධ හිල් වැසෙන්නේ නැත. “ජාතික අධ්‍යාපනය” එලෙස පවත්වා ගෙන යා නොහැක. පවත්වා ගෙන නොයා යුතුය. කලෙක සිට මේ රටේ බිඳ වැටුණු, පිරිහෙමින් ඇති අධ්‍යාපනය දුර දිග යන, පුළුල් ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින්නේ එබැවින්ය.

මේ සමාජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අඩංගු විය යුතු අත්‍යාවශ්‍ය ප්‍රධානම කාරණා දෙකක් ඇත. අධ්‍යාපන අරමුණු සම්බන්ධව හා දරුවන්ගේ ඉගෙනීම පිළිබඳව දරුවන්ට අතිශය අහිතකර දෙමාපියන් කරතියාගෙන ඉන්නා ප්‍රාථමික පසුගාමී ආකල්ප වෙනස් කිරීම එකකි. දෙවැන්න, ගුරුවරුන් “ගුරුවරයෙකු” සතු වගකීම් හා රාජකාරි මොනවාදැයි නොදැන ගුරු වෘත්තියෙහි නිරත වීම අධ්‍යාපන ක්‍රියාවලියෙහි නොතිබිය යුත්තකි. පාසල් විෂය මාලාව හා පාඨමාලා පිළිබඳ කතාවත් පාසල් හා අධ්‍යාපන පරිපාලනය ගැන කතාවත් ඉන්පසුව එන කතාය. පළමු කතා දෙකෙන් පසු ඒවා අනිවාර්යෙන් සාකච්ඡාවට ගැනෙන මාතෘකාවන්ය.

පළමු මාතෘකාව වෙත යොමු වන විට දැකිය හැක්කේ මේ සමාජයේ ජනප්‍රිය පාසල්වලට තම දරුවන් කෙසේ හෝ ඇතුළත් කර ගැනීමට උත්සාහ දරන මැදපාන්තික තරුණ මවුපියන් සංඛ්‍යාව වසරින් වසර ඉහළ යන බවය. එහෙත් ඒ වෙනුවෙන් දරණ මහන්සිය හා වැය කිරීම් සඳහා ඉන් ලැබෙන වාසිය කුමක්දැයි ඔවුහු හරියාකාරව නොදනිති. එහි ප්‍රතිඵලය වී ඇත්තේ පළමු වසරට ළමයින් ඇතුළත් කිරීම යෝධ දූෂණ ජාලයක් නිර්මාණය කිරීමකි. එය එම පාසල්වල විදුහල්පතිවරුන්ද, අධ්‍යාපන නිලධාරීන්ද විශේෂයෙන් නාගරික හා අර්ධ නාගරික මැදපාන්තිකයන්ද හවුලේ නඩත්තු කරන රුපියල් කෝටි ගණන් අත මාරු කෙරෙන දූෂණයකි. මේ දූෂිත ක්‍රියාවලියට නිල ආවරණයක්ද ඇත. දරුවන් පළමු වසරට ඇතුළත්කර ගැනීමේදී නිවසේ සිට පාසලට ඇති දුර කි.මී. 02 ට අඩු විය යුතුයැයි වන නීතිය අවුරුදු 30 ට 40 ට වඩා එපිට කාලයක සිට ක්‍රියාත්මක කෙරෙන රටේ අගලවත්ත, අම්බලංගොඩ, ඇහැළියගොඩ, වරකාපොල, මීරිගම, මීගමුව වැනි ප්‍රදේශවල සිට කොළඹ ප්‍රධාන ජනප්‍රිය පාසල්වලට දරුවන් ප්‍රවාහනය කිරීම සඳහා පාසල් සේවා වාහන යැයි අවසර ලබා දීමෙන් හැම ආණ්ඩුවක්ම සහ මේ සමාජයද ඒ දූෂණය අනුමත කරති.

ඊළඟට තම දරුවා අනෙක් දරුවන්ට ඉහළින් ඔසවා තැබීමේ තරගය සඳහා ගුරුවරුන් පිනවීමේ අනුග්‍රාහක පින්කම්වලට මවුපියන් හවුල්වීමත් තව දූෂණයකි. අධ්‍යාපනයෙහි ඒ දූෂණ කවුරුත් කතා නොකරන මහ පරිමාණ දූෂණ ගොන්නකි. ඒ දූෂණවලට හවුල්වන්නට තරම් ආර්ථික ශක්තියක් නොමැති මවුපියන්ගේ දරුවෝ ඒ තරගයෙන් හැලෙති. ඒ වගේම ඒ තරගයෙහි ගිලී ඉන්නා මවුපියෝ තම දරුවන්ගේ නිදහස, විවේකය හා කැමැත්ත නොතකා තමන්ගේ තේරීම් හා තීන්දු සමගින් දරුවන් බලහත්කාරයෙන් ඇදගෙන යාමේ, ආත්මාර්ථකාමීත්වයකින් පෙළෙන්නාහ. තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් දරුවන්ගේ අනාගතය උරච්චිකර දමන එවැනි පසුගාමී දූෂිත මවුපියන් සමග අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නොහැක. එනිසා ප්‍රතිසංස්කරණ සම්බන්ධ සමාජ කතිකාවෙහි එක් ප්‍රධාන මාතෘකාවක් විය යුත්තේ මවුපියන් සමග අධ්‍යාපන අරමුණු සම්බන්ධයෙන් දිග හැර ගන්නා සමාජ කතිකාවය.

දෙවැනි කතාව වන ගුරුවරුන් වර්තමානයේ ඔවුන්ගේ වගකීම් ඉටු කිරීම පිළිබඳ කතාවද දුගඳ හමන කතාවකි. ගුරුවරයකු යනු කවර වගකීමක් ඇත්තෙක්දැයි ඇසූ විට පුරුද්දට මෙන් කියන්නේ, ළමුන්ට උගන්වන්නා ගුරුවරයකු යැයි කියාය. එහෙත් සැබෑ ගුරුවරයකු යනු ළමුන්ට උගන්වන්නකු නොව, ළමුන්ට ඉගෙන ගැනීම සඳහා සහායවන්නකුය. මවුපියන් හා අධ්‍යාපන බලධාරීන් තේරුම් නොගත්තාට පන්තියට ගොස් ළමුන්ට උගන්වන්නා සහ ළමුන්ට ඉගෙන ගැනීමට ආධාර කරන්නකු, සහායවන්නෙකු අතර ලොකු වෙනසක් ඇත. එය අනාගතය වෙනුවෙන් උගත් බුද්ධිමතකු හැදීම හා විභාග සහතිකලාභියකු හැදීම අතර ඇති වෙනසය. ඒ වගේම ගුරුවරයා යනු අනාගතය සඳහා කාර්යක්ෂම ශ්‍රමිකයකු මෙන්ම මේ සමාජයේ සංස්කෘතික විවිධත්වය සාධනීය ලෙස හඳුනා ගන්නා, ආත්මගරුත්වය හඳුනන, යහපත් පුරවැසියකු වන්නට ළමා පෞරුෂය වර්ධනය කරන්නට මග පෙන්වා දෙන්නෙකි.

දැන් ප්‍රශ්නය වන්නේ අපේ පාසල්වල ඉන්නා ළමුන්ට කන පැලෙන්න අතින් පයින් පහර දෙන, කොසු මිටිවලින් පහර දෙන, රෝහල්ගත කරන තෙක් පහර දෙන, ළමයින් ලිංගික හිංසනයට ලක් කරන විදුහල්පතිවරුන්, ගුරුවර ගුරුවරියන් අයත් වන්නේ කොතැනටද යන්නය. එවැනි පැමිණිලිවලින් ගුරු මණ්ඩලයේ තම හිතවතා හිතවතිය ආරක්ෂා කර ගැනීමට මැදිහත්වන සහ ඒ කිසිවක් නොඇසුණා මෙන් නොදැක්කා මෙන් ඉන්නා ගුරු මණ්ඩලයේ අනෙක් නිහඬ සාමාජික සාමාජිකාවන් අයත් වන්නේ කවර ගණයකටද යන්නය. ඒ වගේම මතුවන අනෙක් ප්‍රශ්නය වන්නේ ළමා මනස වර්ගවාදී ආගම්වාදී මනස්ගාතවලින් පුරවන පුද්ගලයන් ගුරුවරුන් විය හැකිද යන්නය.

ගුරු සේවය මෙවැනි අශිෂ්ටයන්ගේ තක්කඩි සේවාවක් නොවිය යුතුය. එය වැදගත් අනාගත පරපුරක් හදන්නා වූ නම්බුකාර සේවාවක් ලෙස තහවුරු කළ යුතුව ඇත. ඒ වෙනුවෙන් ගුරුවරුන් බඳවා ගන්නා අවම සුදුසුකම සහ බඳවාගැනීමේ පටිපාටිය ගැනත් දැනට අනෙකුත් රජයේ සේවකයන්ට අනුපාතිකව සකසන වැටුප් මට්ටම් අතහැර, ගුරුවරුන්ට වෙනත් අමතර ආදායම් සොයන්නට අවශ්‍ය නොවන වැදගත් වැටුප් ක්‍රමයක් හැදීමත් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය දියුණුකර ගැනීමේ අවකාශ හැදීම ගැනත් මේ සමාජය සාකච්ඡා කළ යුතුය.     

අධ්‍යාපනයට අදාල ප්‍රතිසංස්කරණ කිසිවක් එනිසා කොළඹ බලධාරීන් හා දේශපාලන කණ්ඩායමක් හෝ කල්ලියක් විසින් ඔවුන්ගේ වායු සමීකරණය කෙරුණු කාමරවල තීන්දු කළ යුතු හෝ කළ හැකි කාර්යක් නොවේ. එය සමස්ත සමාජයම හවුල් වන්නාවූ විවෘත සාකච්ඡා ඔස්සේ තීන්දු කළ යුතු බරපතළ ප්‍රතිසංස්කරණ සම්පාදන ක්‍රියාවලියකි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා එනිසාම පාදක විය යුතු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් තිබිය යුතුය. මේ රටේ විධිමත් අධ්‍යාපනය සම්බන්ධ ආණ්ඩුවක් බාර ගන්නා වගකීම කුමක්දැයි තීන්දු කළ යුත්තේ එම “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය” මගින් ය. එය විවෘත සමාජ කතිකාවක් ඔස්සේ සමාජය එළැඹෙන පොදු එකඟතාවක් විය යුතුය. අධ්‍යාපනය සම්බන්ධයෙන් ආණ්ඩුවක් සමාජ වගකීමට බැඳ තැබෙන්නේ ඒ සමාජ එකඟතාව මගින්ය. ප්‍රතිසංස්කරණ සකස් කළ යුත්තේ ආණ්ඩුවට බාර කෙරෙන ඒ සමාජ වගකීම් අනුවය. නිදසුනක් ලෙස කිවහොත් ජාත්‍යන්තර පාසල් යැයි පෞද්ගලික සමාගම් විසින් ලාභය සඳහා පවත්වා ගෙන යන අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් ආණ්ඩුවකට ප්‍රතිපත්තිමය ස්ථාවරයක් තිබිය යුතුය. ඒවා අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගන්නේද නැතිනම්, ස්ථිර නියාමනයකට යටත් කෙරෙන්නේද හෝ වර්තමානයේ මෙන් ආණ්ඩුව ඒ සියල්ලෙන් ඉවත්ව ඉන්නේද යනු ප්‍රතිපත්තිමය තීන්දුවකි. එය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියෙහි පැහැදිලි විය යුත්තකි. ඒවගේම, හන්දිගානේ කඩ කාමරවල ආරම්භ කෙරෙන විදේශ උපාධි අලෙවි කිරීමේ කොම්පැනි සම්බන්ධයෙන් ආණ්ඩුවක වගකීම කුමක්ද? රජයට බදු ආදායම් ලැබීම සඳහා ඒවාද විදේශ රැකියා ඒජන්සි මෙන් ලියාපදිංචි කරන්නේද? එවැනි පෞද්ගලික අධ්‍යාපන ඒජන්සි සමග “ජාතික අධ්‍යාපනය” යනු කුමක්ද? කෙටියෙන් කියන්නේ නම්, ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අධ්‍යාපනය “පෞද්ගලීකරණය” කිරීම ගැන සමාජයෙහි පොදු එකඟත්වක් තිබිය යුතුය. ආණ්ඩුවක අධ්‍යාපන ප්‍රතිපත්තිය යනු ඒ “සමාජ එකඟතාව” මිස, කල්ලි කණ්ඩායම්වල යෝජනා නොවිය යුතුය.

එනිසාම පාර්ලිමේන්තුවෙහි සම්මත කළ යුතු “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය” විවෘත සමාජ කතිකාවක් ඔස්සේ “ධවල පත්‍රිකාවක්” ලෙස පළමුව කෙටුම්පත් කරගත යුතුව ඇත. එයට ආරම්භයක් ලෙස, අධ්‍යාපන ඇමතිනියට මනාප අයුරු ඇයගේ කණ්ඩායමක් සමග සකස් කර ගන්නා දළ කෙටුම්පතක් සමාජගත කළ හැකිය. එවැන්නක් සමාජගත කිරීමේ පහසුම සහ සාර්ථකම පිළිවෙත වනු ඇත්තේ රජයේ පාසල් 10,100 ට වැඩි සංඛ්‍යාවක් හරහා ගුරුවරුන් දෙලක්ෂයකට වැඩි පිරිසකට හා ළමයින් ලක්ෂ 40 කගේ පමණ මවුපියන්ට එම දළ කෙටුම්පත බෙදා හැරීමය. එවැනි සමාජ කතිකාවකට ගුරු සංගම් පමණක් නොව, රජයේ හා පෞද්ගලික අංශයේ සියලු වෘත්තීය සමිතිද, නීතිඥ, විශේෂඥ වෛද්‍ය, වරලත් ගණකාධිකාරී වැනි වෘත්තිකයන්ගේ සංවිධානද වාණිජ හා ව්‍යාපාරික සංවිධානද හවුල් විය යුතුය. අධ්‍යාපනය ඒ සියලු වෘත්තීය හා වෘත්තික ක්ෂේත්‍රවලට අදාළ වනවා සේම සාර්ථක දියුණු අධ්‍යාපනයක් පවත්වා ගැනීම වෙනුවෙන් බරපැන් දැරීමට හවුල් වන පිරිස් ලෙස ඔවුන්ටද ඒ වෙනුවෙන් සමාජ වගකීමක් ඇත.

එනිසා මේ මොහොතේ ගුරු හා විදුහල්පති සංගම්වලටත් සමාජ ක්‍රියාකාරීන්ටත් පැවරෙන ආසන්නම වගකීම වන්නේ 2026 ක්‍රියාත්මක කරන්නේ යැයි අගමැතිනිය කියූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහා ප්‍රසිද්ධ කරන මෙන් බල කිරීමය. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය යුත්තේ දීර්ඝ දියුණු සමාජ කතිකාවකින් පසුව ලියැවෙන කෙටුම්පතක් වශයෙන් පමණි. අපහසුවකින් තොරව එය විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට කළ හැක්කකි. තම පාසලේ සංවර්ධන සමිතිය කැඳවා අගමැතිනිය කියූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහා ප්‍රසිද්ධ කරන මෙන් යෝජනා සම්මත කර අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමෙන් කවුරුන් හෝ කාගේ හෝ අවශ්‍යතාවකට අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් අධ්‍යාපනය තව අවුල් කිරීම ඔවුන්ට වළකා ගත හැක. ඒවගේම එවැනි මැදිහත්වීම් සමග ප්‍රාදේශීය “නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පාදන කමිටු” පිහිටුවා ගැනීමටත් නම්බුකාර ස්වාධීන ගුරු සේවාවක් සමග දියුණු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසා ගැනීමටත් දායකවන්නට හැකිය.

මෙහිදී මතක තබා ගත යුතු වැදගත්ම කාරණය නම්, අධ්‍යාපනය ගොඩ දමා ගන්නා තෙක් මේ රටේ කිසිදු අර්බුදයක් හරියාකාරව විසඳිය නොහැකි බවය. එබැවින් අධ්‍යාපන අර්බුදය විසඳීම සඳහා විවෘත සංවාදයක් ඔස්සේ ප්‍රතිසංස්කරණ සකස් කර ගැනීම අනිවාර්ය වැදගත් සමාජ වගකීමක් වන බව තේරුම් ගත යුතුය.

(*** කුසල් පෙරේරා)



අදහස් (2)

අධ්‍යාපන ගමන් මග කොතැනටද?

උපුල් සිරිවර්ධන Wednesday, 12 February 2025 10:31 AM

ඔබේ ලිපිය ඉතාම වටිනවා. හතු පිපෙන්නා සේ ගම් නගර වල පැතිර ඇති ටියුෂන් ව්‍යාපාරය නියාමනය කළ යුතුයි. මෙවැනි ටියුෂන් කඩ සෑදී ඇත්තේ ද නිසි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැති නිසා ය. ටියුෂන් නොමැති ව ළමයින්ට නිසි ලෙස ඉගෙන ගැනීමට අපහසු බවට මුලු සමාජයම නිගමනයකට පැමිණ ඇත. මහා පරිමාණ ටියුෂන් ව්‍යාපාරිකයන් කැදවා ඔවුනට පාසල් පවත්වාගෙන යෑමට බලපත්‍ර ක්‍රමයක් සැකසිය යුතුයි. එම පාසල් ද රාජ්‍ය නියාමනයකට ලක් කළ යුතුයි. මහා පරිමාණ දේශන ශාලා ක්‍රමය අවසන් කළ යුතුයි. පන්තියක සිටිය යුතු අවම සිසු සංඛ්‍යාව ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව සීමා කළ යුතුයි. වැඩ ලෝකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ඉක්මනින් සැකසිය යුතුය.

:       0       2

wimal Sunday, 16 February 2025 04:15 AM

මෙය ඉතාම වටිනා ලිපියකි. Self Directed Learner හෙවත් ස්වයංව .. තමා තමාව මෙහෙයවමින් අධ්‍යයනයේ යෙදිය හැකි දරුවෙකු බිහිකිරීම ඕනෑම අධ්‍යාපනයක ඉලක්කයක් වුවත් අපේ රටේ එසේ නොවේ. අපේ වැඩිපුර ඉගෙන ගත්තා යනු වැඩිපුරම ආත්ම විශ්වාසයක් නොමැති පුද්ගලයායි. හොඳින් ඉගෙන ගත්තා යනු හොඳින්ම රෝගී පුද්ගලයාය. අපේ අධ්‍යාපනය යනු සැළසුම් සහගත කූට ව්‍යාපාරයකි. හැබැයි සියලු දෙමාපියන් රසකර පානය කරනා සරුවත් එකකි. සහමුලින්ම මකවා අලුත් එකක් ඇතිකිරීමට නම් ඉඩ ලැබෙන එකක් නැත. කතුවරයාගේ අවසාන වැකිය නැවත නැවතත් කියවිය යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

විශේෂාංග

බටලන්ද වාර්තාවේ දෛවය
2025 මාර්තු මස 22 112 0

එක්දහස් නවසිය අනූ ගණන්වල දී මේ රටේ විශාල ආන්දෝලනයක් නිර්මාණය කළ බටලන්ද වධකාගාරය හා බටලන්ද කොමිසම යළිත් කරළියට පැමිණ අනෙක් සියලු දේශපාලන හා ආර්ථික ප්‍


ජාතියක් අවදි කළ ජාතියේ පියා ඩී.එස්.
2025 මාර්තු මස 21 127 0

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ 73 වැනි ගුණ සමරු දිනය හෙටට (22) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


හොරුන් ඇල්ලීමේ නාටක
2025 මාර්තු මස 21 151 0

අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා


අරගලයේ ප්‍රාර්ථනා ඉෂ්ටවීද?
2025 මාර්තු මස 20 300 1

ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ඇතුළත් වන පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණය පැවැත්වීමට මේ වන විට නාම යෝජනා කැදවමින් තිබේ. රටේ මධ්‍යම ආණ්ඩුව ට ඍජුවම ඉ


සිංහල සිනමාවේ ඔටුනු නොපලන් රජු
2025 මාර්තු මස 19 1012 1

කුඩා කල සිටම මගේ ප්‍රියතම සිංහල චිත්‍රපට නළුවා වූයේ ගාමිණී ෆොන්සේකාය. ගාමිණී මගේ ජීවිතයට පිවිසියේ මට වයස අවුරුදු අටේදී පමණය. ඒ මරදානේ ඔහුගේම නම රැගත් “


ආණ්ඩුව බටලන්දට ගිනිතැබීම
2025 මාර්තු මස 19 1097 3

බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන යෑම පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කරන ලද කොමිසම සිය වාර්තාව නිකුත් කර වසර විසිහතක් ගතවූ පසු එම වාර්තාව නැවත පාර්ලිමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 90 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 507 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1108 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site