අද රටෙහි ආණ්ඩුවක් නොපවතියි. ජනාධිපතිවරයා සිටියද ඇමැති මණ්ඩලයක් නැත. ඒ නිසා එක පැත්තකින් දේශපාලන අර්බුදයකි. අනෙක් පැත්තෙන් ආර්ථික අර්බුදයකි. මේ අර්බුද දෙකෙන් රට ගොඩගැනීමට කුමක් කළ යුතුදැයි විමසුවේ ලංකා වාණිජ මණ්ඩලයේ මහ ලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා මහතාගෙනි. මේ ඒ මහතාගේ විග්‍රහයයි.

ආර්ථික හා දේශපාලන අර්බුද නිරාකරණය කරගැනීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් ඇතුළත් සංදේශයක් අප වාණිජ මණ්ඩලය ප්‍රමුඛ වානිජ මණ්ඩල 11 කින් හා වරලත් ගණකාධිකාරිවරුන්ගේ සංගමය මගින් දැන් රට හමුවේ තබා තිබේ. ආර්ථික අර්බුද නිරාකරණය නොකිරීම හේතුවෙන් දේශපාලන අර්බුද නිර්මාණය වූ බව කාගේත් පිළිගැනීමයි. එහෙයින් දැන් ආර්ථික අර්බුදවලට පෙර දේශපාලන අර්බුද නිරාකරණය කරගත යුතුව තිබේ. මක් නිසාද යත් දේශපාලන අර්බුද නිරාකරණය කරගැනීමකින් තොරව ආර්ථික අර්බුද නිරාකරණය කරගැනීමේ යාන්ත්‍රණයක් සාකච්ඡා කරගත නොහැකි හෙයිනි.

වාණිජ මණ්ඩල එකොළහේ පළමු යෝජනාව වන්නේ පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන පක්ෂ බහුතරයකින් යුතු අන්තර් පාලන මණ්ඩලයක් හෙවත් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමය. ඒ අන්තර්වාර ආණ්ඩුව මගින් නව ව්‍යවස්ථාව සංශෝධනයක් ගෙනැවිත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී ලක්ෂණ ඉවත් කළ යුතුය. නව සංශෝධනය මගින් කලින් පැවැති ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපිත කළ යුතුය. ඉන් අනතුරුව තවත් ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපති ආණ්ඩු ක්‍රමය අහෝසි කිරීම වාණිජ මණ්ඩල එකොළහේ තවත් යෝජනාවකි. පෙර පැවැතියා සේ පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයකු ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයක් යළි ගොඩනැගිය යුතු බව ව්‍යාපාරික ප්‍රජාවගේ යෝජනාවයි. ජනාධිපති තනතුර තවත් තිබිය හැකිය. එහෙත් එය විධායක බලතල රහිත ජනාධිපති තනතුරක් විය යුතුය. 1977 පෙර මෙරට පැවැති සහ අදටත් ඉන්දියාවේ පවතින ආණ්ඩු ක්‍රමය මෙයට උදාහරණයකි. ඒ ජනාධිපතිවරයා තෝරාගත යුත්තේ පාර්ලිමේන්තුවෙනි.

අප යෝජනා කරන ව්‍යවස්ථා සංශෝධන ඉන් නොනවතියි. මැතිවරණ ක්‍රමයද සංශෝධනය විය යුතුය. එහෙත් ඒ සියල්ල එකවර කළ නොහැකිය. ඒවා කළ යුත්තේ පියවරෙන් පියවරය. පළමුව කළ යුත්තේ අන්තර්වාර මණ්ඩලයක් පිහිටුවීමය.

ඒ අන්තර් පාලනයද දිගටම පවත්වා ගෙන නොයා යුතුය. මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් පැමිණි කල තමන් කැමැති ආණ්ඩුවක් පත්කර ගැනීමට ජනතාවට ඉඩ දිය යුතුය. වාණිජ මණ්ඩල එකොළහ මගින් යෝජනා කරන්නේද නීතිඥ සංගමය මගින් රට හමුවේ තබා ඇති යෝජනා මාලාවට අනුගත ක්‍රියාදාමයකි. නීතිඥ සංගමයේ යෝජනා වාණිජ මණ්ඩල මගින් පිළිගෙන තිබේ. නීතිඥ සංගමයේ යෝජනා විස්තර සහිතය. ඔවුන්ගේ යෝජනාවලට වාණිජ මණ්ඩල සහාය දක්වයි.

අන්තර්වාර ආණ්ඩුවකට යාමේ වගකීම තිබෙන්නේ ජනාධිපතිවරයාට පමණක් නොවේ. දේශපාලන පක්ෂවලටද වගකීමක් තිබේ.

විශේෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර පැත්තක දමා රට හා ජනතාව වැටී සිටින අර්බුද ගැන සිතිය යුතුය. එසේම එකිනෙකා අතර තිබෙන ගැටුම්ද ඉවත දැමිය යුතුය. රට ගොඩගැනීම සඳහා සියලු පක්ෂ එකතු වී වැඩ කළ යුතු බව වාණිජ මණ්ඩලවල යෝජනාවයි. ඉල්ලීමයි. පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන පක්ෂවල සහාය නැතිව ජනාධිපතිට පමණක් තනිවම අන්තර්වාර් පාලනයක් ගොඩනැගිය නොහැකිය. අන්තර් පාලනයක්  ගොඩනැගූ පසු ජනාධිපතිවරයාද තනතුරින් ඉවත් විය යුතු බව වාණිජ මණ්ඩලවල ස්ථාවරයයි. එසේ නොකර අද මේ රටේ පවතින ප්‍රශ්න විසඳිය නොහැකි බව වාණිජ මණ්ඩලවල අදහසය. ජනාධිපති ඉවත්විය යුතු බව ජනතාවගේ ඉල්ලීමයි. එහෙත් අන්තර් පාලනයක් ස්ථාපිත නොකර ජනාධිපතිට ඉවත් විය නොහැකිය. අන්තර්වාර ආණ්ඩුවක් ගොඩනැගීමට පෙර ජනාධිපති ඉවත් වුණොත් රට අරාජික වෙයි. ඒ නිසා සියල්ලටම පෙර අන්තර්වාර ආණ්ඩුවක් පිහිටු විය යුතුය. ජනාධිපති ඉවත්විය යුත්තේ ඉන් අනතුරුවය. ඒ අන්තර්වාර ආණ්ඩුව මගින් ඉහත කී ව්‍යවස්ථා සංශෝධන කළ යුතු බව වාණිජ මණ්ඩලවල ස්ථාවරයයි.

රටේ අද පවතින දේශපාලන අර්බුදයට හේතුව දිගු කාලයක සිට පැවැති ආර්ථික අර්බුදවලට පිළියම් නොයෙදීමය. ආර්ථික අර්බුදවලට මූලික හේතුව ඩොලර් හිඟයයි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟයට මූලික වූයේ ඩොලර් හිඟයයි. අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා වෛද්‍ය උපකරණ ගෑස්, ඛනිජ තෙල් රටට අවශ්‍ය තරමට ආනයනය කරගැනීමට නොහැකි වූයේ ඩොලර් හිඟය නිසාය. ඛනිජ තෙල් නොමැතිකම නිසා විදුලිය කප්පාදු කිරීමට සිදුවිය. ඒ අනුව විදුලිය කැපිල්ලද ඩොලර් හිඟයේ ප්‍රතිඵලයකි. ඩොලර් හිඟයද කාලයක් තිස්සේ වර්ධනය වූවකි. 2020 පමණ සිට අප වරින් වර ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ඒ සම්බන්ධයෙන් යම් යම් පියවර ගන්නා ලෙසය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නැයි අප කියා සිටියේ 2020 සිටය. මූල්‍ය අරමුදල පිහිටුවා තිබෙන්නේම විදේශ විනිමය හෙවත් ඩොලර් හිඟයක් ඇතිවන රටවලට සහයෝගය ලබා ගැනීම සඳහා බව අපි ආණ්ඩුවට නොයෙක් වර පෙන්වා දුන්නෙමු. මූල්‍ය අරමුදල වෙත යාමෙන් මූල්‍ය සහාය සේම උපදෙස් ද ලබාගත හැකි බව අපි ආණ්ඩුවට පෙන්වා දුන්නෙමු. ලංකාවද ප්‍රශ්න මේ තරම් උත්සන්න වීමට පෙර 16 වතාවක් මූල්‍ය අරමුදලට ගොස් තිබේ. මූල්‍ය අරමුදල වෙත 16 වතාවක් ගියාට අපට රටට වාසියක් මිස හානියක් වී නොමැත. අප ඒ බව 2020 සිට ආණ්ඩුවට පෙන්වා දුන්නද ආණ්ඩුව සවන් දුන්නේ නැත. එහෙත් දැන් ලංකාව මූල්‍ය අරමුදල වෙත ගොස් සිටියි. එය මීට පෙර විය යුතුව තිබූ දෙයකි.

මූල්‍ය අරමුදලට යාමෙන් අපට සැලසෙන වාසිය ඩොලර්වලින් ණයක් ලැබීම පමණක් නොවේ. වෙනත් රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවලින් අපට ණය හා ආධාර ලබාගැනීමට මූල්‍ය අරමුදල වෙත යාම, මූල්‍ය අරමුදල මගින් ලංකාව පිළිගැනීම රටට හොඳ සහතිකයකි. මූල්‍ය අරමුදල මගින් ලංකාව පිළිගැනීම නිසා ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ද ඔවුන් ලංකාව සම්බන්ධයෙන් කළ තක්සේරු කිරීම් වෙනස් කිරීමට හා යළි සලකා බැලීමට යොමු විය හැකිය. යොමු කළ හැකිය. එසේම මූල්‍ය අරමුදල වෙත යාම ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමටද ඉවහල් වෙයි. අපට ණය දුන් පුද්ගලයන්, ආයතන, සංවිධාන සහ රටවල් සමග සාකච්ඡා කිරීමට මූල්‍ය අරමුදල මගින් ලංකාව පිළිගැනීම ශක්තියක් වෙයි. ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමේදී අපට ණය ගෙවීමට තිබෙන කාලය වැඩි කර ගත හැකිය.  එසේම පොලිය අඩුකර ගැනීමටද හැකි වෙයි. නැතහොත් ගෙවීමට තිබෙන ණය යම් ප්‍රමාණයකින් අවම කර ගැනීමටද හැකි වෙයි. ඒ සියල්ල කළ හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් එකඟත්වයකට පැමිණීමෙනි. ලෝකයේ වෙනත් රටවල එසේ වී තිබේ. ඒ අවස්ථා හා වාසි ලංකාවටද අත්කර ගත හැකිය.

විදෙස් ණය ගෙවීම ප්‍රතිව්‍යුහගත කරගත යුතු බවද අපි 2020 සිටම පෙන්වා දුන්නෙමු. එහෙත් ආණ්ඩුව සවන් දුන්නේ නැත. ඒ නිසා ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපාන තරමට ඒ තත්ත්වය ද උත්සන්න විය. ණය ගෙවීම ප්‍රතිව්‍යුහගතකර නොගෙන දිගින් දිගටම ණය ගෙවීම නිසා තිබූ ඩොලර් ටිකත් ක්ෂය විය. ඒ නිසා අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා වෛද්‍ය උපකරණ, ගෑස් හා ඛනිජ තෙල් ආනයනය කර ගැනීමට ඩොලර් නැතිවිය. ඛනිජ තෙල් නැති නිසා දවසකට පැය 14ක් විදුලිය කපන්නට සිදුවිය. ඒ සියල්ල නිසා ජන ජීවිත හා ව්‍යාපාර ඇතුළු කර්මාන්ත ශාලාවල ක්‍රියාකාරිත්වය නැවතිණි. සියල්ල එසේ වූයේ ණය ගෙවීම ප්‍රතිව්‍යුහගතකර නොගැනීම නිසාය. එහෙත් දැන් මහ බැංකුවේ නව අධිපතිවරයා ඒ සඳහා පියවර ගෙන තිබේ. එය විය යුක්තකි. ප්‍රශ්නයකට ඇත්තේ එය විය යුතු සමයේදී නොවීමය. එය විය යුතු සමයේදී නොවීම ආර්ථික අර්බුදවලට හේතු වූ බව දැන්වත් පිළිගත යුතුය. මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ඉදිරියට ගෙන යාමටත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ගැන එකඟතාවකට පැමිණිමටත් නිලධාරීන්ට අමතරව මුදල් අමාත්‍යවරයාද සිටිය යුතුය. අන්තර්වාර ආණ්ඩුවක් කඩිනමින් පිහිටුවිය යුතු බව වානිජ මණ්ඩල මගින් කියන්නේ එහෙයිනි. දේශපාලන අර්බුදය විසඳා ගැනීමකින් තොරව ආර්ථික අර්බුද විසඳාගත නොහැකි බව පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලන පක්ෂ අවබෝධ කරගත යුතුය.

මූල්‍ය අරමුදල සහ ණය හිමියන් සමග සාකච්ඡා කරන අතරම කෙටි කාලීන ණය ලබා ගැනීමට වෙනත් රටවල් හා බහු පාර්ශ්වීය සංවිධාන සමග අත්වැල් බැඳ ගත යුතුය. එසේ කළ යුත්තේ මූල්‍ය අරමුදලෙන් ණය ලැබීමටත් ණය හිමියන් සමග සාකච්ඡා කර එකඟතාවකට පත්වීමටත් සැලකිය යුතු කාලයක් ගතවන බැවිනි. ඒ නිසා මූල්‍ය අරමුදලට යාමේ අරමුණු ඉටුවන තෙක් ගතවන ගෙවෙන කාලයට අත්‍යවශ්‍ය ඩොලර් සොයා ගැනීමට අපට වෙනත් රටවල් සහ බහු පාර්ශ්වීය සංවිධාන සමග පාලම් ගැසීමට. සබඳකම් ඇති කර ගැනීමට, දුරස්තයන් ළං කර ගැනීමට සිදුවෙයි. ඉන්දියාවෙන් ලැබුණු ණය පහසුකම් මත දැනට ඉන්ධන හා විදුලිය ලැබෙයි. ඒ ණය පහසුකම එළඹෙන ජුනි මාසයේදී ක්ෂය වෙයි. ඉන් පසුව මූල්‍ය අරමුදලෙන් ණයක් ලැබෙන තෙක් ඉන්දියාවෙන්ම හෝ වෙනත් රටවලින් ණය ලබා ගැනීමට සිදුවෙයි. එසේ ණය නොගෙන පවතින්නට නොහැකි වෙයි. වෙනත් රටවල් සහ සංවිධාන සමග පාලම් ගසා ගත යුත්තේ එහෙයිනි. ආර්ථික විද්‍යාවේදී ‘‘බ්‍රිජින් ෆයිනෑන්ස්’’ (Bridging Finance) නමින් හඳුන්වන්නේ එයයි. එහෙයින් අප ඒ විකල්පය වෙත ද යොමු විය යුතුය.

සියල්ල යහමින් හා යහතින් කර ගැනීමට ජනතා විශ්වාසය දිනාගත හැකි ආණ්ඩුවක් රටේ පැවැතිය යුතුය. දැන් රටෙහි ආණ්ඩුවක් නොපවතියි. දැනට පවතින එකම විකල්පය අන්තර්වාර ආණ්ඩුවකි. වැඩ පිළිවෙළක් සහිත අන්තර්වාර ආණ්ඩුවකට ජනතා විශ්වාසය දිනාගත හැකි බව රටේ බහුතරයේ මතයයි. එසේ ගොඩනගා අන්තර්වාර ආණ්ඩුව කළ යුතු දේ බොහෝය. කොතෙක් අර්බුද තිබුණත් ඇතැම් නාස්තිකාර වියදම් තවත් සිදුවෙයි. අත්‍යවශ්‍යම නොවන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි. ඒ සියල්ල නැවැත්විය යුතුය. රටත් ජනතාවත් අර්බුද රැසක ගිලී, වෙලී, පෙලී සිටින බව කාටත් අවබෝධ විය යුතුය. මේ අර්බුදවලට පාඩු ලබන සහ දිගින් දිගටම ජනතාවට සහ රාජ්‍ය භාණ්ඩාගාරයට බරක් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවය, තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි රාජ්‍ය ව්‍යවසායයන් ද හේතු වී තිබේ. එහෙයින් ඒ බරින් ජනතාවත්, රාජ්‍ය භාණ්ඩාගාරයත් නිදහස් කර ගැනීම සඳහා ඒ රාජ්‍ය ව්‍යවසායයන්හි විප්ලවීය ප්‍රතිසංස්කරණ විය යුතුය. එවැනි ප්‍රතිසංස්කරණ නොකළොත් අන්තර්වාර ආණ්ඩුවද අසාර්ථක විය හැකිය. අනෙක් කාරණය විදේශ ආයෝජනය වේ. ආර්ථික හා දේශපාලන අර්බුද ඇතිවීමට පෙරත් විදේශ ආයෝජන ආකර්ෂණය කරගත හැකි පරිසරයක් රටේ නොපැවැතිණි. එහෙයින් ඊට අවශ්‍ය පරිසරය සැකසීමටද ප්‍රමුඛතාව දිය යුතු බව වාණිජ මණ්ඩලවල ස්ථාවරයයි.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)