අගමැති මහින්ද රාජපක්ෂ ඉකුත් 26 වැනි දින වෘත්තීයවේදීන්ගේ සමිති සම්මේලනය අමතමින් කෝවිඩ්-19 න් පසු ආර්ථිකය යළි ගොඩ නැගීමට “අලුතින් සිතන්නට” සිදුව ඇතැයි කියා තිබිණ. ඒ සමග ඔහු රටේ ණය කන්දරාව ගැන කියා තිබූණේ අපවැනි රටවල ණය ගෙවීම් සඳහා සහන කාලයක් තිබිය යුතු බවය. කෝවිඩ්-19 ට පෙර අපගේ සමස්ත විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 80ක් වන ඩොලර් බිලියන 55 ක් විය.

රට පෙර පැවති “සාමාන්‍ය තත්ත්වයට” පත් කිරීමට කෙරෙන කතා “රට සංවර්ධනය කිරීම” සම්බන්ධයෙන් කෙරෙන කතා නොවේ. පෙර පැවති “සාමාන්‍ය තත්ත්වය” යැයි කියන්නේ සංවර්ධනයක් පැවති යුගයක් ගැන නොවේ. පෙර පැවතියේ යෝධ දූෂණ සමග දැරිය නොහැකි විශාල ණය කන්දරාවකුත් ගොඩ ගසා ගත් අවාසනාවන්ත තත්ත්වයකි. පවත්නා අර්බුදය කෝවිඩ්-19 ට පෙර සිට නිර්මාණය වූවක් බැව් නොසලකමින් ඉදිරිපත් කෙරෙන අදහස් අතර වැඩි කතා බහ ඇත්තේ විවෘත වෙළඳපොළ ආර්ථිකය යළි ගොඩ ගැනීම සම්බන්ධ පැරණි අත්හදා බැලීම්ය. බැංකු ක්ෂේත්‍රයට මුදල් මුදා හැරීම සමග අපනයන නිෂ්පාදන සඳහා ආයෝජන ගෙන්වා ගැනීම පිළිබඳ යෝජනාය. ඒ අතර, ආනයන ආදේශන ආර්ථික ආකෘතියක් ගැනද තැන තැන අදහස් ඉදිරිපත් වන්නේය. එය පොදුවේ හඳුන්වනු ලබන්නේ “70 පෝලිම් යුගය” යන ජනප්‍රිය හෑල්ලුව සමගිනි.

යුරෝපයේ හා ඇමෙරිකාවේ ඉහළ පෙළේ ආර්ථික විද්‍යාඥයන් අතර ද අනාගත ලෝක ආර්ථිකය ගැන සංවාද දිග හැරී ඇත. එහි බහුතර පාර්ශවය පෙනී සිටින්නේ කෝවිඩ්-19 වසංගතයට පෙර පැවති ගෝලීය වෙළඳපොළ ආර්ථිකය යළි තහවුරු කර ගැනීම වෙනුවෙනි. ගෝලීය වෙළඳපොළ ආර්ථිකය ඉතා තියුණු විවේචනයකට බඳුන් කරන්නාවූ ආර්ථික විද්‍යාඥයන් පෙනී සිටින්නේ ජාතිකවාදී නව වෙළඳපොළ ආර්ථිකයක් වෙනුවෙනි.

කෝවිඩ්-19 ගෝලීය වසංගතය සමග ඇමෙරිකාව හා යුරෝපීය රටවල පවා අනාගත සමාජීය සුරක්ෂාව පිළිබඳව අවිනිශ්චිතතාවක් මෝදු වෙමින් ඇතැයි යුරෝපා ප්‍රතිසංස්කරණ හා සංවර්ධන බැංකුවේ ආර්ථික ප්‍රධානී බීටා යවෝර්ෂික් කියන්නීය. දේශපාලන ක්‍රියාවලියට බලපෑම් කිරීමේ යෝධ සමාගම් සතු හැකියාව එයට හේතුව යැයිද ඇය පැවසුවාය. එවගේම දේශගුණික විපරියාස සඳහා ද යෝධ සමාගම් වගකිව යුතු යැයි ඇය පැවසුවාය. එයට ප්‍රතිචාර වශයෙන් (ජාතික) රාජ්‍ය නැවත ශක්තිමත් කෙරෙන ප්‍රවණතාවක් ඇතිවිය හැකි යැයි ඇය විශ්වාස කරන්නීය. යුරෝපා බැංකුව විසින් ඉකුත් මැයි මස පැවැත්වූ වෙබිනා සංවාදයකදී ඇය දැක්වූ අදහස් එවැනි විය.      

එහි සරළ අරුත වන්නේ, පසුගිය අවුරුදු 45ට වැඩි කාලයේ පැවති ගෝලීය වෙළඳපොළ ආර්ථිකයෙන් අනාගතය සඳහා විසඳුම් සෙවිය නොහැකි බවය. මේ වනවිට එවැනි සංවාදවල ඉන්නා ප්‍රධාන පෙළේ කාන්තා ආර්ථික විද්‍යාඥයන් කිහිප දෙනකු පොදුවේ පිළිගන්නා කාරණාව නම්, කෝවිඩ්-19 ට පෙර ගෝලීය වෙළඳපොළ ආර්ථිකය විසින් පවත්වා ගනු ලැබූ “සාමාන්‍ය තත්ත්වයම” විශාල අර්බූදවලට හේතුවූ බවය.“මේ අර්බූදවලට අපව ඇද දැම්මේ ඒ කියන කලින් තිබුණ සාමාන්‍ය තත්ත්වයයි” ලන්ඩන් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය මරියානා මට්සුකාටො ෆෝබ්ස් ඩොට් කොම් විශේෂාංගයකට කියා තිබිණ. එහිදී තාක්ෂණය හා සමාජ-ආර්ථික වර්ධන පිළිබඳ ආර්ථික විද්‍යාඥවරියක් වන කාලෝටා පෙරේස් කියා තිබුණේ “මේ ක්‍රීඩා පිටිය සමාජ යහපත වෙනුවෙන් හැරවීමට අපට ක්‍රියාකාරී ජාතික රාජ්‍ය අවශ්‍යයි” කියා ය. විවෘත වෙළඳපොළ ආර්ථිකයේ ජාවාරම් සමග ලාබ අනුපාත ඉහළ දමා ගැනීමට අක්‍රීය කළ “ජාතික රාජ්‍ය” සඳහා එලෙසින් යළි වැදගත්කමක් ලැබෙන්නේය.

සමාජ යහපත වෙනුවෙන් ඔවුන් සාකච්ඡා කරන නව ආර්ථික ආකෘතියෙහි මූලික කාරණා 03 ක් ඔවුහු අවධාරණය කරති. පළමු වැන්න, ජාතික රාජ්‍ය සක්‍රීය ලෙස ප්‍රජාතන්ත්‍රීය කිරීමය, දෙවැන්න දේශගුණික විපරියාස සඳහා විසඳුම් ඇති පාරිසරික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගීමය. තෙවැන්න සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් වත්කම් හා ආදායම් බෙදී යාමේ ඇති බරපතළ විෂමතා තුනී කෙරෙන යහපත් ආර්ථික ආකෘතියක් සකසා ගැනීමය.

අනාගතයේ සමාජ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කර ගැනීමට අපට ද අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය, වත්කම් හා ආදායම් බෙදී යාමේ විසමතා තුනී කිරීම හා පරිසරය සුරැකීම වෙත අවධානය යොමු කරන්නට සිදු වන්නේය. එනමුත් ආණ්ඩු පාලනය සඳහා නියෝජිතයන් පත්කර ගැනීමේ මැතිවරණ මගින් ප්‍රජාතන්ත්‍රවාදය තීන්දු නොකරන බව අප හොඳින් දන්නා කාරණාවකි. අවුරුදු 90 ට ආසන්න කාලයක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට ගම් සභා, නගර සභා, පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ හා ජනාධිපතිවරණ සඳහා සර්වජන ඡන්දය භාවිත කළ රටේ, තවමත් මන්ත්‍රීවරුන් තෝරා පත් කෙරෙන්නේ ආගමට, භාෂාවට, කුලයට, අසල්වැසිකමට, වැලි පර්මිට්, බාර් පර්මිට්, රජයේ පත්වීම්, උසස්වීම්, මාරුවීම් වැනි ආත්මාර්ථකාමී, අති පෞද්ගලික කාරණා සඳහා මිස රටේ සංවර්ධනයට නොවේ. එනිසා මේ මැතිවරණ මගින් ප්‍රජතන්ත්‍රවාදයට කිසිදු වැදගත්කමක් නොලැබේ.

එවැනි පසුගාමී ආත්මාර්ථකාමී සමාජයක විවෘත වෙළඳපොළ ආර්ථිකය වෙනුවෙන් අවුරුදු 40 ට වැඩි කාලයක් රාජ්‍ය ආයතන හෑල්ලු කෙරුණෙන් බරපතළ දූෂණ සඳහා ඉහළම තනතුරු දරන රාජ්‍ය නිලධරයෝද ඉහළ පෙළ වෘත්තිකයෝද හවුල්වන්නෝය. රටේ ප්‍රතිපත්ති සැකසීමේදී දේශපාලන ක්‍රියාවලියට මැදිහත්වීමේ ජාවාරම්කාර සමාගම් සතු බලය මහ පරිමාණ දූෂණ සඳහා හේතුව ප්‍රධාන සාධකයකි. එවැනි දූෂිත දේශපාලන ආර්ථිකයක රාජ්‍ය ආයතන පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නොවන බව අප දෛනිකව අත් දකින්නකි. එබැවින් කෝවිඩ්-19 න් බිඳ වැටුණු සමාජ පැවැත්ම යළි පිළිසකර කර ගැනීමේ දී රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීය කිරීම අනිවාර්ය වන්නකි.

ප්‍රජාතන්ත්‍රවාදය වාගේම වත්කම් හා ආදායම් බෙදීයාමේ විසමතා තුනී කිරීම හා පරිසරය සුරැකීම අතිශය වැදගත් කාරණා ය. දැඩි තණ්හාධික ජාවාරම් සමගින් පවත්වා ගන්නා විවෘත වෙළඳපොළක පරිසරය සුරැකිය නොහැක. විල්පත්තු සිට සිංහරාජය ඇතුළු සියලු රක්ෂිත දක්වාත් ගංගා නිම්නවල වැලිගොඩ දැමීම සහ මුහුදට වැලි දැමීම දක්වාත් පරිසරය සැලකෙන්නේ ලාබ ලැබිය හැකි ක්ෂේත්‍රයක් ලෙස පමණි. දේශපාලන බලය සමග දිගින් දිගටම කෙරෙන පාරිසරික විනාශය විශේෂයෙන් කෘෂි සහ වැවිලිකර ජනතාවගේ ජීවිත අවදානමකට පත් කරන්නකි.

මේ විවෘත වෙළඳපොළ ආර්ථිකයෙහි එබැවින් බහුතරයකට ගරුකටයුතු ජීවිතයක් නැත. පෝල් මේසන් ඔහුගේ “පශ්චාත් ධනවාදය” කෘතියෙහි කියන අයුරු ඇමෙරිකාව ධනවත් වන්නේ ඔවුන්ගේ පුරවැසියන් බහුතරයක් දුප්පතුන් ලෙස තබා ගෙනය. අප සිටින්නේද බහුතරය දුප්පතුන් ලෙස නඩත්තු කෙරෙන එවැනි විවෘත වෙළඳපොල ආර්ථිකයක ය. විවෘත වෙළඳපොළ ආර්ථිකයක ජාතික අවශ්‍යතා ප්‍රමුඛතා ගත කරමින් සංවර්ධනයක් සැලසුම් කළ නොහැක. විවෘත වෙළඳපොළ ආර්ථිකය රඳා ඇත්තේ බැංකු ණය, කල් බදු හා ක්‍රෙඩිට් කාඩ් පත් මත ය. එය ණයකර මත අඩු ආදායම්ලාභීන්ද වෙළඳපොලට කොටු කරන්නා වූ බලහත්කාර ආර්ථිකයකි. එහි වත්කම් හා ආදායම් බෙදීයාමේ විසමතාව නොකඩවා ඉහළ යන්නකි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව 2018 දී “ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය” විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් ධනවත්ම සියයට 20 ක පිරිස දිස්ත්‍රික්කයේ ගෘහියික ආදායමෙන් සියයට 72.9 ක් බුක්ති විඳිති. කොළඹ ජනගහනයේ ඉතිරි සියයට 80 ට ඇත්තේ ගෘහියික ආදායමෙන් සියයට 27.1 ක් පමණි. උග්‍රවන අර්බූද සඳහා කෝවිඩ්-19 ට පෙර පැවැති එවැනි සාමාන්‍ය තත්ත්වයකින් අපේ අර්බූද සඳහා පිළියම් නොතිබූ බැව් දිගු කාලීන අත්දැකීමකි.

අලුත් ස්ථාවර අනාගතයක් ගැන කතාව අගමැති මහින්ද රාජපක්ෂ කියුවාක් මෙන් අලුතින් සිතන්නට අපට බල කරන්නේය. අලුතින් සිතීමට වර්තමානය මෙන්ම අතීතයත් වැදගත් ය. ‘70 ආර්ථික ආකෘතිය “පෝලිම් යුගය” යැයි හෑල්ලු කිරීම, මේ විවෘත වෙළඳපොළ ආර්ථිකයෙහි විනාශය වසා ගැනීමට කෙරෙන බාල ප්‍රයෝගයක් පමණි. පෝලිම් ගැසුණු හා හාල් පොලු - මිරිස් පොලු අතරින් එදා ගමන් ගිය පාරිභෝගිකයා වෙනුවට අද විවෘත වෙළඳපළෙහි ලිහා දමා ඇත්තේ ජීවිත කාලය පුරා පරිභෝජනය සඳහා හතර අත ණය වීමේ “නිදහස” කර පින්නා ගත් අසරණ වූ පාරිභෝගිකයෙකි. පෞද්ගලික හා සමාජ සංස්කෘතික ජීවිතයකට පෝලිම් යුගයේ පාරිභෝගිකයාට තිබූ විවේකය හා නිදහස, ණය ගෙවා දමන්නට උදේ හවස හතිලන වර්තමාන නිදහස් පාරිභෝගිකයාට නැත.

මේ පාරිභෝගික සමාජයේ දූෂණය, පරිසර විනාශය, සමාජ ආර්ථික විසමතා සහ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලු කිරීම හැර දියුණු ජීවිතයකට වැදගත් කිසිවක් එකතු නොවේ. ඊට වෙනස් වූ ‘70 පෝලිම් යුගය වනවිට ආනයන ආදේශන නිෂ්පාදනයෙන් ජාතික ආර්ථිකයට වටිනා වත්කම් එකතුකර තිබිණ. රට තුළ නිෂ්පාදන ක්‍රියාවලියක් පැවතියේ සමාජීය හවුලක් ඇතිවය. සෝවියට් කලාපයේ රළු තාක්ෂණ හා යන්ත්‍ර සූත්‍ර සමඟ රාජ්‍ය ව්‍යාපාර ලෙස ආරම්භ කළ කර්මාන්ත සතු වූ සියලු ගොරහැඩිකම් සමඟ වුව, දේශීය පරිභෝජනය සඳහා අවශ්‍ය නිෂ්පාදන සමාජයට ලැබිණ.
එවැනි කර්මාන්ත දියුණු කළ හැකිව තිබුණි. “කැලණි ටයර්” නිෂ්පාදනය ඒ සඳහා ගත හැකි එක් නිදසුනකි. අද පවතිනවාට වඩා සංවිධානාත්මක හා කාර්යක්ෂම පොදු මගී ප්‍රවාහන සේවාවක් ‘70 යුගය වන විට රට පුරා පවත්වා ගත් ලංගම බස් ධාවනය වූයේ ටයර් සංස්ථාවේ නිෂ්පාදනය කළ “කැලණි ටයර” මතින්ය. කොළඹ පිටකොටුවේ සිට යාපනයටත් මඩකළපුවටත් හම්බන්තොට හරහා කතරගමටත් ධාවනය වූ ලංගම බස්රථ හෝ අනෙක් වාහන යොදා ගත් “කැලණි ටයර්” හේතුවෙන් අතරමග ධාවන ඇනහිටීම් පිළිබඳ පැමිණිලි නොවුණි. එබැවින් වඩා නිදහස් වෙළඳපොළ ආර්ථිකයකට මාරු වන්නට තිබූයේ කැලණි ටයරවලට වෙළඳපොළ තරගකාරිත්වයකට මුහුණ දිය හැකිවන අයුරු නව කළමනාකරණ පිළිවෙත් හඳුන්වා දෙමින් හා දියුණු තාක්ෂණය එකතු කරමින්ය. ඒ සඳහා පෞද්ගලික ආයෝජන හවුල්කර ගැනීමටද ඉඩ තිබිණ. අපගේ රබර් වැවිලිකරය ද ඒ සඳහා දියුණු කළ හැකි ලෙස සැලසුම් කළ යුතුව තිබිණ. එහෙත් ජයවර්ධන ජනාධිපතිගේ විවෘත වෙළඳපොළ ප්‍රතිපත්තිය යටතේ කෙරුණේ ටයර් සංස්ථාව එහි වත්කම් සමග ඉන්දීය සියෙට් සමාගමට විකුණා දැමීමය. එය ලංකා ලෝහ, පිඟන්, වාලච්චේනි කඩදාසි, තුල්හිරිය පේෂ කර්මාන්තය වැනි තවත් රාජ්‍ය කර්මාන්තවලටද අත් වූ අවාසනාවන්ත ඉරණම විය.

ජයවර්ධන ජනාධිපතිගේ විවෘත වෙළඳපොළ ආර්ථික ප්‍රතිපත්තියෙහි එවැනි ජාතික සංවර්ධනයක් නොවුණි. එය ආරම්භ කෙරෙන්නේ විවෘත වෙළඳපොළ ආර්ථිකයෙහි මූල්‍යකරණය සඳහා වන ඉතා දැනුවත් මැදිහත්වීම් සමගය. එබැවින් නව ආයෝජන සමග ලංගම දියුණු කිරීම වෙනුවට, තරගකාරී පෞද්ගලික මගී ප්‍රවාහන සේවයක් හඳුන්වා දීම වෙනුවෙන් සිල්ලර ආයෝජකයන්ට කල් බදු මත ලබා ගන්නා බස් ධාවනයට අවසර ලැබිණ. ප්‍රතිඵලය වූයේ කාර්යක්ෂම සුව පහසු පොදු මගී ප්‍රවාහනයක් ගැන කිසිදු බලාපොරොත්තුවක් ඉතිරි නොකළ සමාජයෙහි පෞද්ගලික ගමනාගමනය වෙනුවෙන් මහා මාර්ගවලට ඔරොත්තු දිය නොහැකි අතිශය විශාල යතුරු පැදි, ත්‍රීරෝද රථ හා වාහන සංඛ්‍යාවක් එකතු වීමය. ඒවා සියල්ල කල් බදු මත යැපෙන ආනයන වාහන වෙළඳාමක් තහවුරුකර ඇත. වාහන ආනයන වෙතින් ලබා ගන්නා බදු මුදල් මත යැපීමේ තත්ත්වයට ආණ්ඩු පත්ව ඇත.

‘70 පෝලිම් යුගය එබැවින් උපහාසයෙන් ඉවත දැමිය නොහැකි වැදගත් කර්මාන්ත සමූහයක් තරගකාරී වෙළඳපොළ සඳහා දියුණු කළ යුතුව තිබූණකි. ඒ වෙනුවෙන් ආනයනය සඳහා ආර්ථිකය විවෘත කළ යුතු වූයේ වෙළඳපොළ වාසිය දේශීය නිෂ්පාදන සඳහා ලැබෙන සහතිකයක් ඇතිවය.

ග්‍රාමීය ආර්ථිකය ජාතික ආර්ථිකයෙහි ඵලදායී අංශයක් ලෙස නවීකරණය කිරීම සඳහා ඉදිරි දැක්මක් නොතිබීම අපගේ දීර්ග කාලීන අඩුවය. නිදහසින් පසු ආරම්භ කළ ගල්ඔය, කන්තලේ, රාජාංගනය වැනි යෝධ ගොවි ජනාවාස අසාර්ථක ව්‍යාපෘතිය. මහවැලියත් එවැනිය. දෙවැනි පරම්පරාවට ඒවායේ කිසිදු ආර්ථික ඵලදායිතාවක් නොවුණි. ජාතික නිෂ්පාදන ආර්ථිකයක් තුළ අදත් අපට සාම්ප්‍රදායික ඉඩම් අයිතියෙන් හා වගා ක්‍රමයෙන් ඔබ්බට සිතීමේ නොහැකියාවක් ඇත. එබැවින් අවිධිමත් ආර්ථික ක්ෂේත්‍රයෙහි රැකියා සොයමින් අතිශය විශාල තරුණ සංඛ්‍යාවක් ගමෙන් හා වැවිලිකරයෙන් ප්‍රධාන නගරවලට සංක්‍රමණය වූහ. කෝවිඩ්-19 න් වැඩිමනත් අතරමං වූයේද ඔවුන්ය.

සමාජ ආර්ථික විසමතා ඉවත් කෙරෙන හා පරිසරය සුරකින පොදු සංවර්ධනය, දැනුවත්ව සැලසුම් කළ යුත්තකි. එහි වඩාත් අත්‍යාවශ්‍ය සේවා හා ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාවන් තිබිය යුතු වන්නේය. එය ආණ්ඩු පාලනයේ වගකීමක් වන නමුත් ඒ වෙනුවෙන් ජන සහභාගිත්වය අනිවාර්ය වන්නකි. සහභාගි ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් වන්නේ එබැවිනි. “ජාතික රාජ්‍ය” ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් ලෙස යළි තහවුරු කිරීමේ අවශ්‍යතාව මතු වන්නේද එබැවිනි. ජාතික සංවර්ධනය වෙනුවෙන් “දේශීය වෙළඳපොළ” නියාමනය කිරීමේ අවශ්‍යතාවද ඊට එකතු වන්නකි.

එවැනි ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක ‘70 පෝලිම් යුගයේ වූ ආනයන ආදේශන දේශීය කර්මාන්තකරණය යළි වලංගු වන්නකි. එය වලංගු වන්නේ ‘70 යුගයේ මෙන් දැඩි රාජ්‍ය මැදිහත්වීම් සමග නොව, තරගකාරිත්වයට ඉඩ තබන වෙළඳපොළ නියාමනයක් සමගින්ය. එහි සමාජ සාධාරණත්වය සහතික වීමට සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයට නතු කෙරුණු ජාතික රාජ්‍යක අවශ්‍යතාවද අනිවාර්ය වන්නකි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ අප කෙතරම් දුරකට දකුණු ආසියානු ආර්ථික කලාපයක් වෙනුවෙන් කලාපීය දේශපාලන බල හවුලක් සඳහා පෙනී සිටිනවාද යන්න ය. එය “සාක් සංවිධානය” මෙන් නොව, ප්‍රජාතන්ත්‍රීය ජාතික රාජ්‍යයන් අතර ප්‍රජාතන්ත්‍රවාදී කලාපීය හවුලක් විය යුතුය.

(*** කුසල් පෙරේරා)