(ගයාන් සූරියආරච්චි)
කොහොඹ ශාකයේ පවතින ‘ජෙඩුනීන්’ නැමැති රසායනික සංයෝගය පිළිකා පියවි සෛල (Cancer Stem Cells) විනාශ කරන බව ලොව ප්‍රථම වතාවට සොයාගත් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණික ආයතනය කියයි.
ඖෂධ ගබඩාව ලෙස ජන වහරේ හඳුන්වන කොහොඹ ශාකය අපරිමිත ඖෂධීය ගුණයෙන් යුක්ත වන අතර එහි අඩංගු පිළිකා නාශක හැකියාව ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි දියුණු විද්‍යාත්මක පර්යේෂණක් තුළින් සනාථ කිරීමට හැකිවූ බව විද්‍යාඥයෝ පවසති.
කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණික ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනි තෙන්නකෝන් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පර්යේක්ෂණ සිදු කැරිණි.ආචාර්ය මෙරාන් එදිරිවීර, ආචාර්ය පූර්ණා පියතිලක, කාතිකා මායන්, ඩැනියෙල් නොක්වූ, රනා මෝහන්, ලක්ශ්මිගා තර්මරාජා, උමා රාජගෝපාලන්, කනිෂ්ක සේනාතිල සහ මහාචාර්ය අයිරා තාබෘ යන මහත්ම මහත්මීහු මෙම පර්යේෂණය සඳහා දායකවූහ.
මහාචාර්ය නේද්‍රා කරුණාරත්න සහ ආචාර්ය නුවන්ති කටුවාවෙල නැනෝ තාක්ෂණික උපක‍්‍රම මෙහෙයමින් ඔවුනට සහාය දැක්වූහ. මෙම පර්යේක්ෂණයේ මුලික අදියර සඳහා ජෛව රසායනික අණුක ජීවවේදී සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාපති උපාධි පාඨමාලාව යටතේ ද, 2017 වසරේ දී ජාතික විද්‍යා පදනමෙන් මූල්‍ය දායකත්වය ද හිමි විය.
පර්යේෂණය පිළිබඳව ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා මෙසේ පැවැසීය.
‘‘දැනට පිළිකා ප‍්‍රතිකාර සඳහා භාවිත කරන රසායනික සංයෝගවලින් පිළිකා පියවි විනාශ කිරීමට හැකියාවක් නෑ. මෙහිදී අප සොයා බැලූවේ පිළිකා පියවි සෛලවල සක‍්‍රීය ක‍්‍රියාකාරීත්වයට සෘජුව දායකවන විශේෂිත ප්‍රෝටීනයක් අවහිර කිරීමේ හැකියාවක් ඇති නව සංයෝග තිබේ දැයි කියලයි. එවැනි සංයෝග හමු වුවහොත් පිළිකාව තවදුරටත් සක‍්‍රීයවීම වළක්වා පිළිකාව සදහටම විනාශ කළ හැකියි.’’
‘‘ 2013 වර්ෂයේදී මුලින්ම මෙම පර්යේෂණය අප ආරම්භ කළා. ආසියාතික රටවල ශාකවලින් ලබාගත් රසායනික සංයෝග 35 ක් පමණ එකින් එක ගෙන දියුණු පරිගණක මෘදුකාංග යොදගෙන පිළිකා පියවි සෛලවල අති විශේෂිත ප්‍රෝටීනයක් හා බැඳී ඒවායේ සක‍්‍රීය ක‍්‍රියකාරීත්වය අවහිර කරන්නේ දැයි සොයා බැලූවා. මෙහිදී අප සිදුකළේ හුදෙක් පුරෝකථනයක් පමණයි. ඒ සඳහා භාවිත කළ ශිල්ප ක‍්‍රමය මොලිකුලර් ඩොකින් ලෙස හැඳින්වෙනවා. එහිදී අධි තාක්‍ෂණික පරිගණක තාක්ෂණ ක‍්‍රම උපයෝගී කරගෙන DNA, RNA, ප්‍රෝටීන අප සිරුරේ සහ ශාකවල රසායනික සංයෝග තවත් ප්‍රෝටීනයක් හෝ රසායනික සංයෝගයක් සමඟ බැඳි සෛලවල ක‍්‍රියකාරීත්වය වෙනස් කරන ආකාරය පිළිබඳව විශ්ලේෂණය කළා.
‘‘මෙය හරියට අගුලූ යතුරු යාන්ත‍්‍රණයකට සමානයි. එක් අගුලකට එක යතුරක් ගැලපෙන්නා සේ කොහොඹ ශාකයේ ඇති ‘ජෙඩුනීන්’ රසායනික සංයෝගය පිළිකා පියවි සෛලවල විශේෂිත ප්‍රෝටීනය හා බැදි එය අවහිර කර පිළිකා පියවි සෙලවල ක‍්‍රියාකාරීත්වය අඩපණ කර පිළිකාව විනාශ කිරීමේ හැකියාව තිබෙන බව අපට පුරෝකථනය කිරීමට හැකිවුණා.’’
‘‘පසුව එම පුරෝකථනය සත්‍ය දැයි සොයා බැලීම සඳහා පිළිකා අවස්ථාවේ තිබෙන මානව කළලයකින් ලබා ගත් පිළිකා පියවි සෛල පර්යේෂණයට යොදාගත්තා. සායනිකව භාවිත කරන රසායනික සංයෝගවලටත් වඩා වැඩියෙන් ‘ජෙඩුනින්’ රසායනිකය පිළිකා පියවි සෛලවලට වැඩි ක‍්‍රියාකාරීත්වයක් දක්වන බවත් එමගින් අප සිරුරේ රුධිර සෛලවලට කිසිඳු හානියක් නොකරන බවත් සනාථ වුණා.’’
‘‘ඉහත පර්යේෂණයට සමාන්තරව ‘ජෙඩුනීන්’ සංයෝගයේ ගුණාත්මක බව නැනෝ තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු කළ හැකිදැයි අප සොයා බැලූවා. විශේෂයෙන් සැකසු නැනෝ අංශු තුළ ‘ජෙඩුනීන්’ රඳවා පියයුරු පිළිකා පියවි සෛල සහ පෙනහළු පිළිකා සෛලවලට හඳුන්වා දුන්නාම ‘ජෙඩුනීන්’ සතු පිළිකා කාරක ගුණය පෙනහළු පිළිකා සෛල සඳහා සංශුද්ධ ‘ජෙඩුනීන්’ වලට වඩා දස ගුණයකින් වැඩිවන බව පෙනී ගියා.
‘‘ එසේම පියයුරු පිළිකා පියවි සෛල සෘජුවම ඉලක්ක කරගත හැකි ‘ජෙඩුනීන්’ රසායනය යොදාගෙන සැකසූ නව නැනෝ තාක්ෂණික මුසුවක් අප දැනටමත් සකසා තිබෙනවා. ඒ සඳහා පේටන්ට් බලපත‍්‍රයක් අයැදුම් කිරීමටත් බලාපොරොත්තුවෙන් සිටිනවා. අප පර්යේෂක කණ්ඩායම මෙම සොයාගැනීම දැනට ජාත්‍යන්තරව පිළිගත් විද්‍යාත්මක සඟරා 3 ක පළකර තියෙනවා. වගකිවයුතු නිලධාරීන් තවමත් මෙවැනි දියුණු ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ ශ්‍රී ලංකාවේ සිදුවන බව නොදන්නවා විය හැකියි. මෙවැනි පර්යේෂණ සඳහා විශාල මුදලක් වැය වෙනවා. අප මේ සියල්ල සිදුකරනුයේ අනාගත පරපුර වෙනුවෙන්. තවත් වසර 10 ක් ඇතුළත අපේ සොයාගැනීමක් ජාත්‍යන්තර සායනික භාවිතය සඳහා යෙදවීමට පිඹුරු පත් සකස් කර තිබෙනවා.’’ යැයි සමරකෝන් මහතා පැවැසීය.



COMMENTS
මේ වගේ හොද ආරංචි වලට කමෙන්ට්ස් නැත්තේ මොකෝ ?
මෙන්න රටට වැඩදායි දේ කරන රටට ආදරය කරන සැබෑ මිනිස්සු. මේ හොයාගත්ත බෙහෙත් වල පේටන්ට් ලන්කාවට ගත යුතුමයි. එතකොට විකිනෙන හැම පෙත්තකින්ම, හැම ඉන්ජෙක්ශන් එකකින්ම රුපියල් සත, ඩොලර් අපේ රටට ගලාවි. අලුත් වාහන සිහිනෙ ඉන්න පාලකයොන්ගෙ ඇස් ඇරේවා!!
බෙහෙත් ටික ලංකාවේ හැදුවම... බෙහෙත් ආනයනය කරන කොට හම්බවෙන කමිසන් එක හම්බ වෙන්නේ නැහැ නේද?
උතුම් වැඩක්.... රටට ඔබලා ගැන ආඩම්බරයි...
රාජිත මහත්තයා මොනවා කියයිද දන්නෑ..
කොහොඹ වල විතරක් නෙමෙයි.., තණකොලවලත් ඔය රසායනික ගුණය තියනවා කියලත් මම අහලා තිබෙනවා.
ඔබ සියලුදෙනා ගැන ආඩම්බරයි. බෙහෙත් නැතිව මිය යන එක රෝගියෙකුට හරි නැවත ජීවය දෙන්න පුළුවන් නම් එක ලොකුම පින් කමක්.... මෙම ඖෂධය සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
ඔබලාගේ නව සොයාගැනීමට අපේ සුභපැතුම්. ඔබලා වැනි පර්යේෂකයන් රටට ආඩම්බරයක් !! ඉදිරි පර්යේෂණාත් සාර්ථක වේවා.
විශිෂ්ට සොයා ගැනීමක් සුභ පතනවා.
සුභපැතුම් !
මේකේ නම තියෙන ආචාර්ය මෙරාන් එදිරිවීර මහතා කියන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ බිහිවෙච්ච්ච කෙනෙක්... ඔහුට හොඳ දැක්මක් තියනවා. හොඳ බුද්ධිමතෙක්....දකුණේ කොල්ලෙක්.... ජය වේවා !!!
ඉතාමත් හොඳයි.. හැබැයි ඔය බෙහෙතෙන් ලෙඩ්ඩුන්ගේ පිළිකා සුව කරන්න කලින් දොස්තරලගේ පිළිකා සුව කළා නම් එය සමාජයට ගොඩාක් හිතකරයි. හැබැයි ඉතින් කොහොඹ, ගස් පිටින් ගිල්ලුවත් දොස්තරලගේ පිළිකා නම් සුව කරන්න ලෙහෙසි වෙන එකක් නැහැ.
මේ අය තමයි නියම දෙවිවරු
මේකත් අර මුහුදු වතුරෙන් කාර් දුවන්න හැදුව වගේ එකක්ද?
මෙන්න නියම දෙවිවරු.... අපි ඉස්සරනම් කිවුවේ දොස්තර මහත්තයා තමා අපේ දෙයියා කියලා. දැන් ඉන්නේ දොස්තරලා නෙමේ..... මේ වගේ රටට වැඩදායක දෙයක් කරන මිනිස්සු දිහා බලලවත් හැදෙන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්.... මේ මිනිස්සු කිසිදෙයක් ඉල්ලන්නේ නැතුවම තමන්ගේ වැඩේ රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් කරනවා. ඔබතුමන්ලාට සියලු දෙවියන්ගේම පිහිටයි....
අපේ රටේ තියෙන ස්වභාවික ශාක වලින් හරි විදියට ප්‍රයෝජන ගන්නවා නම් අපේ රට ඉතා දියුණු ආර්ථික මට්ටමකට ගෙන්න පුළුවන් වෙන දෙයක් ඕනෙ නෑ. බලධාරීන් මේ ගැන උනන්දු විය යුතුයි.
අපි මේ ගැන සර්ව අසුබවාදී නොවී මේ අය උනන්දු කරලා ලෙඩුන් සුව කරන්න බලමු. මගේ අම්ම නැති වුණේ මේ අසනීපයෙන්.. පිළිකා සඳහා කරන ප්‍රතිකාර බොහෝමයක් සාර්ථක නැහැ. ඒ නිසා සැවොම එක්වෙන්න. ඔවුන් දිරිමත් කරන්න. ජය අතළඟයි...
මේ ගොල්ලෝ මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙමේ බව අපි දන්නවා. ඔය පරීක්ෂණයේ ප්‍රතිඵල වලින් රෝගීන්ට කරන සත්කාරය හෝ ප්‍රතිකාරය කෙසේ වෙතත්, මොකක් හෝ පදනමකින් අතට ගාණක් කඩා ගන්න මගඩියක් වෙන්න ඇති ඔය... අපි නොදන්නවයි කට්ටියගේ කෙරුවාව... ඒ කාලේ නම් දෙවිගොල්ලෝ වගේ දොස්තරලා හිටිය අද ඉන්නේ දොස්තර කළුකඩ මුදලාලිලා.
අනේ බද්රානි තම රට වෙනුවෙන් තමන් මොනවද කරලා තියෙන්නේ. කෙනෙක් රට වෙනුවෙන් අනාගත පරපුරපුර වෙනුවෙන් දෙයක් කරන්න හැදුවම අපේ අය හැමදාම කරපු විවේචනය අද බද්රාණි කරනවා.
විශිෂ්ට සොයා ගැනීමක් සුභ පතනවා.
ඔයාලට ගොඩාක් සුබ පතනවා. අතිසාර්ථක වෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලලා සිටිනවා. සියලු සක්තිය ලැබේවා !!!
නිකන් ජාත්‍යන්තර විහිළු කරන්නැතුව ඉන්න අනේ...
රංගන මිනිපේ බද්රානි ඔබලාගේ අදහස් පාරම්පරික ආර්ය සිංහලයන්ගේ පාරම්පරික උරුමයට ගැලපේ සර්ව අසුබවාදී කකුලෙන් අදින ගතිය එයම වෙනවා