IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සොබා දහමේ අපූර්වත්වයෙන් දායාද වූ උරුමය නිසා පමණක් නොව අප රට සතු මානව සම්පතෙහි පෙර කී විශිෂ්ට අනුහස් සහිත ගති සොබාවද හේතුකොටගෙනය.

වර්තමාන පුරවැසියාගේ පරම වගකීම විය යුත්තේ එම අතීත මහරු උරුමයන් තව තවත් ඔප් නංවමින් ඒවා අනාගත පරපුර වෙත රැගෙන යාමය. එහෙත් මෙම පුරවැසි වගකීම අමතක කර උපන් බිමට නිමක් නැති නින්දා ගෙන දෙන වසලයෝද සිටිති. ඒ බව පසක් කරවන පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

එම පුවතින් කියැවුණේ කොළඹ වීදි ආහාර අලෙවි සලකදී කොත්තු රොටියක් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළ විදේශිකයකුට බැණ තර්ජනය කළ කොළඹ අලුත්කඩේ වීදි ආහාර අලෙවි කරන්නා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියට පත්වන කටයුත්තක නිරත වී ඇති බව කෙසෙල්වත්ත පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතාට දැනුම් දුන් බවය.

සැකකරුගේ වීදි ආහාර අලෙවි සැලෙන් කොත්තු රොටියක් මිලදී ගැනීමට පැමිණි අවස්ථාවේදී ඔහු කොත්තු රොටියකට රුපියල් 1900 ක් අවශ්‍ය බව දැනුම් දුන් අවස්ථාවේදී කොත්තු රොටිය මිලදී ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයිද ඒ අවස්ථාවේදී සැකකරු මෙම විදේශික ආගන්තුකයාට බැණ තර්ජනය කර අඩම්තේට්ටම් කර ඇතැයිද අධිකරණයට සැල කළ කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් සැකකරුගේ ක්‍රියා කලාපය හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියට පත්ව ඇතැයිද අධිකරණයට වාර්තා කළ බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

වීදි ආහාර අලෙවි කරන්නා රුපියල් පනස් දහසක මුදල් හා ලක්ෂ 10ක් වටිනා ඇපකරුවකුගේ ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කළ කොටුව අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා සෑම ඉරු දිනකම කෙසෙල්වත්ත පොලිසියේ පෙනී සිටීමේ ඇප කොන්දේසියක් පැනවූ බවද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

අප ජීවත් වන්නේ 21 වැනි සියවසේය. එහෙත් තවමත් ගෝත්‍රික යුගයේ ජීවත් වන ‘‘පල් බූරුවෝ’’ එමට සිටිති. කොළඹ අලුත්කඩේ වීදි ආහාර අලෙවි කරන්නාද එවැන්නෙකි. අද ලෝකය තාක්ෂණය අතින් කෙතරම් දියුණුදැයි වීදි ආහාර අලෙවි කරන්නා නොදනී. විදේශිකයකු මේ රටකට පැමිණෙන්නේ එම රට ගැන අන්තර්ජාලයෙන් තොරතුරු නිරීක්ෂණය කරය. හෝටල් වර්ගය අනුව හෝටල් කාමරයක මිල ගණනේ සිට ආහාරපාන මිල ගණන් දක්වා සියල්ල අන්තර්ජාලයේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය. තමන් සිටින ස්ථානයේ සිට තමන් යා යුතු ස්ථානයට ඇති දුර ප්‍රමාණයද ඒ සඳහා වන කුලියද දැන ගැනීමේ පහසුකම් අද ඇත. සංචාරකයා සංචාරයේ යෙදෙන්නේ ඒ සියලු පහසුකම් භුක්ති විඳිමිනි.

රටට ඩොලර් ගෙන එන විදේශිකයාට රුපියල් 1900 ට කොත්තු කවන්න හදන්නේද රුපියල් 1000ට තැඹිලි පොවන්න හදන්නේද කිලෝ මීටරයට දුරට අස්ප ගණන් අයකරන්නෝද ලෝකය වෙනස් වී ඇති ප්‍රමාණය නොදන්නා අඳබාලයෝය. එය නොදන්නාකමටත් වඩා සමීප වන්නේ තක්කඩිකමටය. මෙබඳු තක්කඩියන්ට රටට කළ නොහැකි නව නින්දාවක් නැත.

ප්ලේන්ටියකට හා වඩේ එකකට රුපියල් 1500ක් අය කළ තක්කඩියකු ගැනද ඉකුත්දා වාර්තා විය. එම සංචාරක හෝටලයේ ළැගුම්ගත් විදේශ යුවළකගේ මුදල් හා භාණ්ඩ සොරකම් කර එය හොරුන්ගේ පිටින් යැවීමට උත්සාහ කළ එම හෝටල් හිමියා සහ ගෝල බාලයන් අත්අඩංගුවට ගැනීමේ පුවත මෙයට දෙතුන් සතියකට පෙර වාර්තා වූවකි.

අප රට බරපතළ ආර්ථික අර්බුදයක ගිලී තිබේ. එයින් ගොඩඒමේ එක් මගක් වනුයේ සංචාරක ව්‍යාපාරය වේ. එහෙත් තක්කඩියන්ගේ ජාවාරම් නිසා සංචාරක ව්‍යාපාරය අපේක්ෂිත ආකාරයෙන් පණ ලබන්නේ නැත. එමෙන්ම එමගින් රටට අත්වන නින්දාව ගණනය කළ නොහැකිය. එහෙයින් රටට වින කටින තක්කඩියන්ට උපරිම දඬුවම් දිය යුතුය.

(***)



අදහස් (5)

විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ

බද්රානි Friday, 19 April 2024 04:29 PM

විදේශ සංචාරකයින්ට පමණක් නොවෙයි, විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ටත්, ලංකාවේ අවංකව ජීවත් වෙන ලාංකිකයින්ටත් මේ රට එපා කරවන අමන අඳ බාලයෝ රැලක් තමයි දැන් මේ රටේ ඉතුරු වෙලා ඉන්නේ. කටුනායක ගුවන් තොටුපොළේ ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණයේ කාක්කෝ රැලෙන් බේරිලා නිදහසේ බඩුවක් ගන්න පුලුවන්ද?කොතැනකට ගියත් මුහුණ බලලා මුදලේ ගාන කියන තත්වයක්නේ ලංකාවේ තියෙන්නේ. ලංකාවේ නිවටයින් වගේ නොවෙයි, විදේශිකයින් අසාධාරණය ඉදිරියේ ඔවුන් එරෙහි වෙනවා.එදා වරදක් හෝ වංචාවක් කිරීමට තිබුණු ලැජ්ජාව අද අහලකවත් නැහැ. හොරු හා තක්කඩියන් වංචනිකයින් මේ රටේ ඉහලින් වැජබෙනවා දකින ජනතාවට ආයේ කොහොමද වංචාවක් කිරීමට ලැජ්ජාවක් හෝ බියක් ඇති වන්නේ? මේ සමාජ පරිහානියට, පාලකයින්, පුජකයින්, ගුරුවරුන්, රජයේ උසස් නිලධාරීන්, කළා කාරයින් මෙන්ම මොවුන්ව සමාජය ඉදිරියේ ඉහලින් පුම්බා තමන මාධ්‍යත් වගකිව යුතුයි.

:       0       25

sanathFriday, 19 April 2024 10:21 PM

ඇත්තෙන්ම...!

:       0       4

Anura danthanarayana Saturday, 20 April 2024 07:07 AM

නම් ගම් හෙලිකරන්න... සමජය මොවුන් හඳුනා ගන්න ඕනෑ...

:       0       4

Nalin Midigaspege Sunday, 21 April 2024 04:56 PM

ඕක මොකක්ද, පොඩි සීන් එකක්නේ. එහෙම ගත්තා නම් විදේශිකයින් සීගිරිය වගේ තැනක් බලන්න ගියාම ගන්න ඕනේ ටිකට් එකේ ගාන සාමාන්‍ය මිනිස්සුන් ගන්න ටිකට් එකත් එක්ක බැලුවාම අහසයි, පොළවයි වගේ... ඉතින් ඔය කොත්තු රොටිය කියන්නේ ඒවායින් ආදර්ශයට ගත්තු එකක් වෙන්න බැරිද?

:       8       8

Asitha Thursday, 25 April 2024 09:00 AM

තමන්ගේ වාසියට සීගිරියයි කොත්තු රොටියයි එක මට්ටමින් දාන අයියලා ඉන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30516 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12528 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10903 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 786 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site