නිවසේ සිට පා ගමනින් රෝහල වෙත යාමට හැකියාව තිබියදීත් දුර බැහැර ප්‍රදේශයක සිට 1990 සුව සැරිය ගිලන් රථයක් ගෙන්වාගෙන රෝහලට පැමිණි පුද්ගලයකු රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇඳ ඇතිරිල්ලක් සහ කොට්ටයක් නැතැයි පවසා ඒවා රැගෙන ඒමට යළි ආපසු සිය නිවස කරා පා ගමනින් ගොස් පැමිණි බව කියැවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු ගම්බද ප්‍රදේශයක පුද්ගලයෙකි. කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් විටින් විට රෝහල්ගතවීම පුරුද්දක් කරගත් අයෙකි.
රෝහලට ඇත්තේ පයින් යන දුරක් වුවද ඔහු පුරුදුව සිටියේ නිරන්තරයෙන්ම සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා ගෙන රෝහලට පැමිණීමටය.
ප්‍රදේශයේ සුව සැරිය ගිලන් රථයක් නොතිබූ විට බොහෝ දුර බැහැර ප්‍රදේශවල සිට ගිලන් රථයක් නිවස කරා ගෙන්වා ගැනීමට සිදුවුවත් ඔහු ඒ ගැන තැකිමක් නොකළේ ‘‘ “ඕවා නොමිලේ දීල තියෙන්නෙ අපිට තමයි’’ යැයි පවසමිනි.
පසුගිය දිනක ද ඔහුගේ රෝගී තත්වය තරමක් වැඩි විය. නිවැසියන් ඔහු රෝහලට කැඳවාගෙන යෑමට උත්සාහ ගත්තද ඔහුගෙන් ලැබුණේ ඊට විරෝධයකි. “‘‘පයින් යන්නේ ඇයි සුව සැරියක් ගෙන්නා ගමු” ඔහු කීවේය. ඔහුගේ අවාසනාවට ප්‍රදේශයේ පොලිසියේ සුව සැරිය වෙනත් කාර්යකට පිටව ගොසිනි.
ඔහු වෙනුවෙන් ගිලන් රථයක් ගෙන්වා ගැනීමට සිදුවූයේ ඔහුගේ නිවසේ සිට කිලෝමීටර් පනහකටත් එහා දුරක සිටය.
ඔහුගේ නිවසත් රෝහලත් අතර මීටර් තුන් හාර සියයක දුර පහසුවෙන් පයින් යා හැකි වුවද ඔහු එය ගණනකට නොගත්තේය. ගිලන් රථය පැමිණ කොයි මොහොතක හෝ තමුන් රෝහල් කරා රැගෙන යනු ඇතැයි පැවැසුවේය.
පැය දෙකකට පමණ පසුව දුර බැහැර ගෙවාගෙන ගිලන් රථය පැමිණ ඔහු රෝහල්ගත කොට එම පිරිස පිටව ගියේ ඔහුගේ තත්වය පිළිබඳ රෝහල් බලධාරීන්ට ද විස්තර කරවීමෙන් අනතුරුවය. තමාට නේවාසික ප්‍රතිකාර කරන්නේ නම් කොට්ටයක් රෙද්දක් අවශ්‍ය බව පැවසූ හෙතෙම ‘‘එහා පැත්තේ ගෙදර තියෙන්නෙ මං ඉක්මන්ට අරගෙන එන්නම්’’යනුවෙන් පවසා රෝහල් සේවකයින්ගේද විරෝධතාව නොසලකින් ඔහු යළිත් නිවසට ගොස් කොට්ටයකුත් ඇඳ ඇතිරිල්ලක් ඇතුළු ඔහුගේ අවශ්‍ය කළමනාත් රැගෙන සිය බිරිදත් සමග පැමිණ රෝහලේ ඇඳක හරි බරි ගැසී වාඩි වූයේ දැන් ඔක්කොම හරි යැයි පවසමිනි.
වියලුව වාර්තාකරු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd