කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
හමේ පාටට නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් මුදල් ගන්න ගිය ස්කෑන් විශේෂඥ වෛද්‍යවරයකුට සුද්දකු දුන් අපූරු පාඩමක් පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ පෞද්ගලික රෝහලකින් අසන්නට ලැබේ.
සුද්දා ජර්මන්කාරයකු බව සැබෑය. නමුත් සිය භාර්යාවත් සමග දැනට වසර විස්සකට ආසන්න කාලයක් පදිංචිය ලංකාවේය. කොස්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඉඳුරුවේය.
මේ දෙන්න දෙමහල්ලෝ ගෙවීගිය වසර විස්සක පමණ කාලයේ වැඩියෙන්ම ගත කළේ මෙරටය. ඉදුරුවේය. ඉඳහිටලා පොඩි නිවාඩුවකට ජර්මනියට යන බව මුසාවක් නම් නොවේ. ඒ දින හතර පහකටය.
මෙය සනාථ කිරීමට මෙන් මේ සුද්දාට මේ රටේ වලංගු රිය පැදවීමේ බලපත්රයක්ද තිබේ. ඔහුට ත්‍රීරෝද රථ දෙකක්ද හිමිය.
මේ ජර්මන් සුද්දයි සුද්දියි ජර්මන් යුද හමුදාවේ විශ්රාමිකයෝය. ඔවුන් දෙදෙනාගේ විශ්‍රාම වැටුප වැය කෙරෙනුයේ ලංකාවටය. තමන් ඉන්නා ගෙයට බදු ගෙවා ඉතා අල්පේච්ච දිවියක් ගෙවන මොවුන් දෙදෙනා ඉතුරු පහදවන දේවලින් මේ රටේ සමාජ සත් කාරක සේවාවන්වලද නිතර වෙති.
ඔවුන් පදිංචි ගමේ මළ ගමක්වූ සැණින්ම නෑයන් මෙන් මේ සුදු යුවළ එම නිවෙස්වලට ගොස් ඔවුන් සමග දුක බෙදා ගනිති. ඒ අයට උදව් කරති. මේ ආකාරයට ඔවුහු දෙදෙනා අපේ අයත් සමග වසර විස්සකට ආසන්න කාලයක් තිස්සේ ගැවසීමත් සමග අපිටත් වඩා හොඳට සිංහල කතා කරති.
මේ සුදු යුවළගෙන් සුද්දාගේ උදරයේ ස්කෑන් එකක් කරන ලෙස ඔහුට හිතවත් වෛද්‍යවරයෙක් නිර්දේශ කළේය. ඒ පෞද්ගලික රෝහලකට පැමිණ ගාස්තු අය කොට ස්කෑන් කරන විශේෂඥ වෛද්‍යවරයකුටය. ඒ අනුව මේ සුද්දා මේ එම පෞද්ගලික රෝහලට ගොස් අදාළ ස්කෑන් විශේෂඥ වෛද්‍යවරයා ලවා සිය උදරය ස්කෑන් කිරීමට අවැසි දිනයක් වේලාවක් වෙන්කර ගැනීමට ගියේය. එහිදී එම රොහලේ කාර්ය මණ්ඩලය සුද්දාගේ ගුවන් ගමන් බලපත්‍රය සහ ඔහුගේ මෙරට වලංගු රියදුරු බලපත්‍රය පරීක්ෂා කොට ඔහු මෙරට ජීවත්වන්නකු බව සහතික කරගෙන ඉන් සෑහීමකට පත්ව මෙරට අයකුට අයකරන ගාස්තුව ගෙවන ලෙස සුද්දාට දැන්නුවේය. සුද්දා ඒ මුදල් ගෙවා දිනයක් වෙලාවක් සහිත තමන්ට හිමි අංකයක් ලබාගෙන ගියේය.
පසුදා සුද්දා ස්කෑන් පරීක්ෂණයට රෝහලට ආවේය. හෙදිය සුද්දාට කාමරයට යෑමට දොර විවෘත කළේය. සුද්දා දුටු සැණින් විශේෂඥ වෛද්‍යවරයා හුන්අසුනෙන් නැගිට බැලුවේ ඔහු ස්කෑන් එක සඳහා කීයක් බැඳ ඇතිද යන්නය.
මේ ගානට මෙයාට මේ ස්කෑන් එක කරන්න බැහැ. වැඩිපුර සල්ලි බඳින්න ඕනෑයයි සුද්දා සමග ගිය අපේ කොල්ලාට විශේෂඥ වෛද්‍යවරයා කීවේය. කොල්ලට කලියෙන් සිංහලෙන් සුද්දා කීවේ මං මොකටද වැඩියෙන් සල්ලි බඳින්නේ. මම දැනට වසර විස්සකට ආසන්න කාලයක් ඉන්නේ ලංකාවේ. මෙන්න මගේ රියදුරු බලපත්‍රය. මෙන්න මගේ විදෙස් ගමන් බලපත්‍රය යයි සුද්දා වෛද්‍යවරයාට පෙන්නුවේය. වෛද්‍යවරයා නම් නොවේ එයින් මෙල්ලවූයේ. වෛද්‍යවරයාගේ අදහස දැන් සුද්දාට පැහැදිලිය.
ප්‍රශ්නයක් නැහැ. මට ස්කෑන් එක අවශ්‍ය නැහැ. මම බැන්ඳ සල්ලිත් ඔයා තියා ගන්න යයි කියමින් සුද්දා එම රෝහලෙන් නික්ම ආවේය. ඒ විතරක්ම නොව අපේ රටේ අයට අයකරන ගානටම ස්කෑන් එකද කර ගත්තේය.
කතාව නම් එය නොවේ. මේ බව සැලවූ අදාළ පෞද්ගලික රෝහලෙන් සිය රෝහලෙන් ස්කෑන් එක නොකර ගත් නිසා ඒ වෙනුවෙන් සුද්දා ගෙවූ මුදල් ආපසු ලබාදීමට ඔහුට හෝ වෙනයම් කෙනකුට මුදල් ගෙවූ කුවිතාංසිය රැගෙන එන ලෙස දැන්වුවත් ඔහු එම මුදල ගැනීම ප්‍රතික්ෂේප කොට එය තමාට මේ අසාධාරණය කළ වෛද්‍යවරයාටම දෙන ලෙස ඉල්ලා සිටීමය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd