හසලක සුනිල් ඒකනායක
තැන නොතැන වයස නොබලා කවටකම් කළ තරුණයකුට එම නොහොබිනා කවටකම් නොකරන්නට මතක හිටින දඬුවමක් දුන් දේශීය විෂ වෛද්යවරයකු පිළිබඳ පුවතක් මිනිපේ ගොවි ජනපදයේ ගම්මානයකින් වාර්තාවිය.
ගමේ පිහිටි සිල්ලර බඩු වෙළඳසලේ සේවයට පැමිණ සිටි 28 හැවිරිදි තරුණයා විහිළුවෙන් තහළුවෙන් කටයුතු කරනු ලබන අයෙකි. ඔහුගේ විහිළුවට වයස් භේදයක් හෝ ස්ත්රී, පුරුෂ භේදයක් නැත. වෙළඳසලට පැමිණෙන පිරිමි අයගේ කමිසයේ උඩ සාක්කුවට ක්ෂණයකින් අත දමා එහි ඇති කුමක් හෝ වටිනා යමක් ගෙන එය ඔහුගේ කමිස සාක්කුවේ දමා ගනී. කාන්තාවකගේ නම් ඇය රැගෙන එන ගමන් මල්ල හෝ අත් බෑගය උදුරා ගෙන එහි තිබෙන යමක් ගෙන එය ද කඩයේ කිසියම් තැනක සඟවා තබයි. එසේ ගන්නා දේ ඔවුන් නැවත ඉල්ලා සිටියද එය යළි දෙන්නේ කීපවරක් ඔහු හෝ ඇය ඉල්ලා බල කළ පසුය. එය ඇතැම් අවස්ථාවල පැය ගණන් විය හැක.
මෙම නෙහොබිනා කවටකම නුසුදුසු බවත්, එසේ නොකරන ලෙසත් වැඩිහිටියන් සහ වෙළෙඳසල් හිමිකරු ඔහුට කොපමණ පැවසුවත් අවවාද කළත් එම අවවාද ඔහු තුට්ටුවකටවත් මායිම් නොකළ අතර ඔහුගේ එම කවටකම් තැන නොතැන, වයස නොබලා දිගටම කරගෙන ආ අතර මෙය බොහෝ දෙනකුට හිරිහැරයක් වී තිබිණි. මෙම නොහෙබිනා කවටකමට තිත තැබීමට එම ගමේ සිටින 76 හැවිරිදි දේශීය විෂ වෙද මහතා තීරණය කළේ ඔහුටද මෙම තරුණයාගෙන් නිතර සිදුවෙන කවටකම් හේතුවෙනි. මෙදින සවස් යාමයේ පෙර පරිදි වෙද මහතා කඩයට ගොඩවුණේ සිය අවශ්යතාවයට යමක් මිලදී ගැනිමේ අටියෙනි.
වෙද මහතා කඩයේ මිදුලට ගොඩ වෙනවාත් සමගම කඩේ සිටි සේවක තරුණයා වහා වෙද මහතා කරා දිව ගොස් ඔහුගේ කමිසයේ උඩ සාක්කුවට අත දැම්මේ පෙර දින මෙන් එහි ඇති යමක් පිටතට ගැනීමේ අරමුණෙනි. ඒ සමගම තරුණයා කමිස සාක්කුවෙන් අත එළියට ගත්තේ “කෑවෝ” “කෑවෝ” යැයි හඬනගා කෑ ගසමිනි. ඔහුගේ කෑ ගැසීමට කඩයේ සිටි මුදලාලි ඇතුළු පාරිභෝගික පිරිස වහා එම ස්ථානයට පැමිණි අතර, එහිදී ඔවුන්ට දැක ගැනීමට හැකිවූයේ සේවක තරුණයාගේ දකුණු අතේ කුඩා සර්පයකු එල්ලී සිටින අයුරුත් එම අත වම් අතින් අල්ලාගෙන එම සතා ඉවත් කරන ලෙස ඉල්ලා වෙද මහතාගේ දෙපා ළඟ දණගසා කෑ ගසන අයුරුත්ය. එහෙත් වෙද මහතා එම කන්නලව්වට අවධානය යොමු නොකර එතැනින් ඉවත්ව තමන්ට අවශ්ය ද්රව්ය ගැනීමට කඩය තුළට පියමැන්නේය. තරුණයා ද වෙද මහතා පසු පස යමින් හඬාවැටෙන්නට විය. එහිදී වෙද මහතා සියල්ලෝම ඉදිරියේ තරුණයාට පැවසුවේ මින් ඉදිරියට මේ කරනු ලබන නොහෙබිනා විහිළුව නතර කරනවා නම් පමණක් අතේ එල්ලී ඉන්න සතා ඉවත් කර ප්රතිකාර කරන බවයි. එවිට තරුණයා මෙතෙක් තමන් කළ එම විහිළු වැඩේට සමාව ලබා දෙන ලෙසත්, මින් ඉදිරියට එවැනි කවටකම් කිසිම කෙනකුට නොකරන බවත් පැවසුවේය.
එම පොරොන්දුව සමග වෙද මහතා තරුණයාගේ අතේ එල්ලී සිටි කුඩා සර්පයා ඉවතට ගෙන පසෙක තිබූ කැලෑ රොදට විසිකර දමා සතා සපා කෑ ස්ථානයට යම් ඖෂධයක් දමා ප්රතිකාරයක් කර ස්ථානයේ සිටි පිරිසට පැවසුවේ මේ සතා විෂ සහිත සතෙකු නොවන නිසා බිය වීමට කරුණක් නැති බවත්, තමන් මේ දේ කළේ මොහුගේ මේ කවට කමට තිත තැබීමට පමණක් බවයි. එතැන් පටන් තරුණයාගේ විහිළුව නතර වුවත් ගැමියන් ඔහුට විහිළු කරන්නේ “ආ කොහොමද. සර්පයෙක් අතේ කෑවලු නේද,” කියාය. එම විහිළුවට ඔහු කරන්නේ හිස නමා සිනහවකින් ඔවුන්ට සංග්රහ කිරීමය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd