IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නැට්ටට නැට්ට පූට්ටු කර හෙර කත අල්ලාගෙන

ඇය ගෙවිලියකි. පවුලේ වියදම් පියවා ගත්තේ  දැඩි ලෙස වෙහෙස මහන්සි වී හේන් හා කුඹුරු වගා කිරීමෙනි.

නිසි පරිදි වර්ෂාවක් පවා නොමැතිව ඇයට අයත් හේනේ වට්ටක්කා වැල් කීපයක් වගා කළේ දැඩි වෙහෙස මහන්සියක් දරමිනි. ඇයගේ අප්‍රතිහත ධෛර්ය නිසාම වට්ටක්කා වැල් සරුවට වැඩෙන්නට වූ අතර වැල් කීපයක්ම පල දරමින් තිබිණි. වට්ටක්කා ගෙඩි හොඳින් පැසුණු විට වැඩි ආදායමක් ලැබිය හැකි බව අත්දැකීමෙන් දන්නා ඇය වට්ටක්කා ගෙඩි ටික තණකොළ වලින් වසා දැමුවේ නිසි  කල එළඹෙන තෙක් ය.

එහෙත් ඇගේ වට්ටක්කා වගාව දෙස ඇස ගසා ගෙන සිටි යාබද ගෙවත්තක පදිංචි කාන්තාවක් වට්ටක්කා ගෙඩි කීපයක්  සොරකම්      කර රැගෙන ගියේ ගමේ සති පොළට රැගෙන ගොස් අලෙවි කර පහසුවෙන්ම යම් ආදායමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.

වට්ටක්කා වගාවේ තත්ත්වය සොයා බලන්නට හේන් යායට ගිය එහි හිමිකාරියට දැකගන්නට ලැබුණේ සරුවට වැඩී තිබූ වට්ටක්කා ගෙඩි කීපයක්ම කිසිවකු විසින් කඩාගෙන ගොස් ඇති බවකි. අස්වැන්න සොරකම් කිරීමෙන් කුපිත වූ ඇය හතර අතට ඇසෙන සේ දෙස් දෙවොල් තබන්නට වූවාය.

ඇගේ විලාපය අසා සිටි යාබද හේන් යායක තරුණයකුගෙන් ඇයට ලැබුණේ අපූරු උපදෙසකි.

‘‘අක්කෙ කෑගහලා වැඩක් නැහැ. ඔයා ඔය ඉතුරු වෙලා තියන   වට්ටක්කා ගෙඩිවල නැටි ටිකත් අරං පොළට යන්න. ගිහිල්ලා  අහවලා විකුණන  වට්ටක්කා ගෙඩිවලට තියලා බලන්න. හොරා අල්ලා ගන්න පුළුවන්’’ යැයි පවසමින් හොරකමට ප්‍රසිද්ධ ප්‍රදේශයේ කාන්තාවක්ගේ නම කියා සිටියේ පහසුවෙන්ම වට්ටක්කා සොරාගත් අය අල්ලා ගැනීමට ඇයට තවත් උපදෙස් කීපයක් ද ලබා දෙමිනි.

තරුණයා කී පරිදිම වට්ටක්කා ගෙඩි රැගෙන යෑමෙන් පසු ඉතිරි වූ නැටි කීපයද රැගෙන සති පොළට ගිය ඇයට දැකගන්නට ලැබුණේ කිසිදු වගාවක් නොකරන එහෙත් හොරකමට පමණක්ම ප්‍රසිද්ධ තරුණයා කී කාන්තාව වට්ටක්කා ගෙඩි  කීපයක්ම සතිපොළේ පැත්තක තබා ගෙන අලෙවි කරන අයුරකි.

වට්ටක්කා හොරකම් කළ කාන්තාව සතුව තිබූ වට්ටක්කා ගෙඩිවල නැට්ටට නැට්ට තැබූ වට්ටක්කා වගාවේ හිමිකාරියට තරුණයා කී කතාව තහවුරු කරගන්නට වැඩි වෙහෙසක් දරන්නට සිදු නොවුණි.

අනුන් දුක් මහන්සියෙන් හදා වඩා ගන්නා භවබෝග හොරකම් නොකර මහන්සියෙන් වගාවක් කර ගන්නැයි උපදෙස් දුන් වට්ටක්කා වගාවේ හිමිකාරිය හොරකමේ ගිය කාන්තාවට අතින් පයින් පමණක් නොව ලුණු ඇඹුල් සහිත වචනයෙන්ද සංග්‍රහ කළේ සති පොළට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක් ඉදිරිපිටදීමය.

වට්ටක්කා හොරකම් කළ කාන්තාවගේ යට ගියාව දන්නා  තවත් බොහෝ දෙනෙකුද ඇයට දෙස් දෙවොල් තබන්නට වූ අතර වට්ටක්කා වෙළෙඳාම පැත්තක තබා හෙමින් සීරුවේ මාරුවූ ඇය හදිසි අවශ්‍යතාවකටවත් තවමත් නිවසින් පිටතට නොපැමිණෙන බව ගම්මු පවසති.

වියලුව වාර්තාකරු



අදහස් (0)

නැට්ටට නැට්ට පූට්ටු කර හෙර කත අල්ලාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 50 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site