විරසකවූ තම පේ‍්‍රමවන්තයා සොයා දෙන ලෙස මන්ත‍්‍රකරුවකු නිවෙසට ගෙන්වා ගැනීමෙන් අනතුරුව විසි අට හැවිරිදි තරුණියක කෙලෙසී යැයි කියන සිද්ධියකින් පසු ගම්වාසීන් මන්ත‍්‍රකරුට පහරදී පොලිස් භාරයට පත්කළ පුවතක් රජරට පොලිසියකින් වාර්තා වේ. පොලිසිය පවසන අන්දමට සිද්ධිය මෙසේය. මෙම මන්ත‍්‍රකරු වයඹ පදිංචි මැදිවියේ අයෙකි. සිද්ධියට සම්බන්ධ තරුණිය රජරටය. මාසයකට ආසන්න කාලයක් තිස්සේ නාඳුනන අයගේ නිවෙස්වල පදිංචිව සිට ඔහු ගුරුකම් කරමින් සැරිසැරූ බව ප‍්‍රදේශවාසීහු කීහ. මෙම මන්ත‍්‍රකරුට ලැබුණු පණිවිඩියකට අනුව විරසක වූ පේ‍්‍රමවන්තයකු සොයා ගැනීම සඳහා මවුපියන්ටද නොදන්වා මෙම මන්ත‍්‍රකරු සොයා කාන්තාවක් ගොස් ඇත. ඉන්පසු මන්ත‍්‍රකරු තම නිවෙසට ගෙන්වා ගුරුකමේ නියැලී ඇත. එය සිදු වූයේ ඉකුත් බ‍්‍රහස්පතින්දාය. ගුරුකම සිදු කිරීමෙන් අනතුරුව නිවෙසේ සිටි වැඩිහිටියන්ට නිවසින් බැහැර වන ලෙස මන්ත‍්‍රකරු පවසා ඇත. එය පිළිගත් නිවැසියන් නිවසින් බැහැරව සිටියදි 28 හැවිරිදි කාන්තාව දූෂණයට ලක් කර ඇත. දින ගණනාවක් ගිය නමුදු මවුපියන්ට හෝ අසල්වාසීන්ට මේ කරුණ හෙළි නොකළත් පසුව කරුණු එක දෙක හෙළිවන්නට විය. එය ඇගේ සිත තුළ යටපත් කරගෙන සිටීමට දැඩි සේ උත්සාහ කළත් එය එසේ නොවීමෙන් මවුපියන්ද ඒ කරුණ ගැන සොයා බලා අසල්වාසීන්ද දැනුම්වත් කර ඇත. දින දෙක තුනකට පසු ගමෙන් බැහැර වූ මේ මන්ත‍්‍රකරු තවත් ගුරුකම් සිදු කිරීම සඳහා නැවතත් ඒ ගම් පියස්සට පැමිණ ඇත. අසල්වාසීන්ගේ ගුටි පූජාවකින් පසු මන්ත‍්‍රකරු 28 හැවිරිදි කතගේ මවුපියන්ට භාර දීමෙන් පසුව පෙරේදා පොලිසියට ඉදිරිපත් කර ඇත. සැකකාර මන්ත‍්‍රකරු පොලිස් භාරයට පත් වූ අතර සිද්ධියට සම්බන්ධ කත වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කළ බව රාජාංගනය පොලිසිය කීය. සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගන පොලිසියේ පොලිස් පරීක්‍ෂක විජේකෝන් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් පරීක්‍ෂණ පවත්වති.