මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම.



සුනඛ සත්කාරයක් නිසා ඉවසීමේ සීමාව ඉක්මවා ගිය මාමණ්ඩිගෙන් එල්ල වු බලු‍ බැණුම්  හමුවේ අලු‍ත ගෙනා ලේලිය නිවසින්  අතුරුදන් වූ පුවතක් යාපහුව අඩවියෙන්  වාර්තා වෙයි.
ඔහු තම නිවසේ කිසිදු සතකු ඇති කිරීමට අකමැති පුද්ගලයෙකි. බල්ලන්, පූසන් පෙනෙන්නට බැරි තරමට ඔහුට ඇලජික්ය. මේ අතර නිවසේ එකම පුතුට මනාලියක ගෙන ආවේය.
 ජයටම මඟු‍ල් සමරා ඔහු සිය බිරිය නිවසේ නවතා සුපුරුදු රැකියාවට පිටත්ව ගියේය.
ගෘහණියක වූ නවක ලේලිය නැන්දා මාමා සමග සතුටින් වාසය කළාය. ඒ අතරේ පාරේ සිදු වූ රිය  අනතුරකින් දඩාවතේ යන බැල්ලියක තුවාල ලැබුවාය. එය දුටු ලේලියට සත්ව කරුණාව පහළ  විය.
ඇය සතා නිවසට ගෙනාවාය. අයිතිකරුවකු නැතත් කීකරුය. ‍ඒ නිසාම දම්වැලක් දමා ගැට ගසා රඳවාගෙන වෙදකම් කළාය. එහෙත් දම්වැලට හුරු නැති බැල්ල දහවලට වඩා රාත්‍රිය  දෙවනත් කළාය. එය නිවැසියන්ට ඉමහත් කරදරයක් වුවත් මාමණ්ඩියා අලු‍ත ගෙනා ලේලියට  කිසිත් නොකියා තමා තමාටම බැණ වදිමින් දත් මිටි කාගෙන ඉවසා සිටියේය.
පසුදින අන් අයට පෙර හිමිදිරියේම අවදි වූ ඔහුට යක්ෂයා ආරුඪ විය. ඒ ඇසී තිගැස්සුණු බිරිය  තම නවක ලේලියද කැඳවාගෙන එතැනට ලහි ලහියේ දිව ගියේ ඔහුට යම් කරදරයක් වූවා යැයි  සිතමින්ය.
මිදුල සාගරයක් මෙනි. සිදු වූ දෙය වටහා ගැනීමට ඔවුනට වැඩි වේලාවක් ගත වුවේ නැත. නිවසට  පානීය ජලය නොමැතිව අපා දුක් වින්ද නිවැසියෝ ජල ව්‍යාපෘතියක වතුර ගැනීමට ජල නළ බට එලු‍වා පමණි. පාරේ සිට ටැංකියට වතුර ගෙන යන  ජල නළ බට ඇත්තේ බැල්ලිය ගැට ගසා ඇති සීමාවේ පොළව යටින්ය.


 ජල බට සියල්ලම බැල්ල තැනින් තැන සපා කෑමෙන් නිකරුණේ දෝරේ  ගලා යන වතුරට ඒ මිදුල  වැවක් මෙන් දිස් වෙයි. මාමණ්ඩියාගේ කෑ මොර දීම අහල පහළ අයට ද  ඇසෙයි, එය විපරම් කළ ඔවුහු ද එය සියැසින් දකින්න එහි වැල නොකැඩි ඇදී එති.
වෙච්ච අලකලංචිය හමු‍වේ භීතියට හා ලැජ්ජාවට පත්ව ලේලිය බැල්ලිය දම්වැලෙන් මුදා හැරියේ  සුපුරුදු ලෙසට දඩාවතේම යාමටය. එහෙත් ජලනළ බටවලට වෙච්ච පාඩුව හා අමතර වතුර බිලට වෙච්ච  පාඩුව එය බැලීමට ආ උදවිය ද  නිහඬව නොසිට ඇවිළෙන ගින්නට පිදුරු දැමීමෙන් මාමණ්ඩියගේ බලු‍  බැණුම් කීමේ මරළතෝනි නවතින්නේ ද නැති තැන  මිදුලේ දෝරේ ගලා යන වතුර මතින්ම ඇයත් තම මව්පියන්ගේ රැකවරණය පතා හිටි හැටියේම එම නිවසින් වාෂ්ප වෙලාලු‍.