කරන්දෙණිය එම්. සුසිල් ප්රියන්ත
පන්සලේ කඨින දානයෙන් දවල් කෑම වියදමක් නැතිව කර ගන්න ගොස් අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ අපූරු කතාවක් වතුගෙදරින් අසන්නට ලැබේ.
යාබද නගරයේ පන්සලකින් කල් ඇතිවම ඔහුට ආරාධනයක් ලැබුණේය. ඒ පන්සලේ කඨින දානය ඡායාරූපකරණය සඳහාය. එය ඔහු සතුටින් බාර ගත්තේය. එයට හේතු කිහිපයක්ම තිබුණේය. පළමු කාරණය හිතේ හැටියට අතුරුපස සමග බඩකට පුරා කෑමට ලැබීමය. දෙවැන්න එදා දහවල කිසිදු වියදමක් නැතිව පාකර හැරීමය. තෙවැන්න මේ සියලු කාරණාවලට අමතරව සිය කාර්ය සඳහා තමා ඉල්ලන ගානට වඩා වැඩි ගානක් පන්සලෙන් ලැබීමය.
මේ සියලුම අදහස් සිත්හි තබාගෙන ඔහු පන්සලේ කඨින දානය ඡායාරූපකරණයට ගියේය. වැඩේ කරන අතරතුර ඔහුගේ දෙනයන ගියේ කඨින දානය සඳහා මේස මත තබා තිබූ නෙක නෙක වර්ගයේ බත් වෙතය. කලාතුරකින් කෑමට ලැබෙන කජු වෑංජනයද එහි තිබෙනු ඔහු දුටුවේය. කොස් ගැට මාලුව, ඉස්සෝ කිරි හොද්ද, දැල්ලෝ කිරි හොද්ද ඔහුගේ සිත් ගත්තේය.
ඔහු ඡායාරූපගත කිරීම් කළේ මෙවා දෙස බල බලා කෙළ ගිල ගිලය. මේ ආහාර ඇති තරම් තමාත් භුක්ති විඳ සිය ඇඹේනියටද ගෙන යන්නේ යයි චිත්ත සන්තානයේ දරා ගෙනය. කඨින දානය නිමාවීමත් සමගම ඔහු සිතූ ආකාරයටම කාර්යයන් සිද්ධ වෙමින් තිබුණේය.
ඉස්මුර්තාව සෑදෙන සේ කඨින දානය යහමින් ඔහු වැළදුවේය. ඊට පස්සේ අතුරු පසට කිරි, පැණි, වටලප්පන්, අයිස්ක්රීම් ද එක පතට එකට දමාගෙන කෑවේය. දැන් ඔහු කෑමෙන් බීමෙන් වෙරි වෙලාය. හීන් අඩියක් දමා මේ ජාති ගත්තා නම් කෙතරම් හොඳ දැයි ඔහුගේ යටි සිතට නොපැමිණියාම නොවේ.
දැන් එළැඹියේ ඔහුගේ අවසන් කාර්යයටය. ඒ පන්සලේ කඨින දානය නිසා සිය නිවසේ දහවල වළඳක් ලිපේ රත් නොවූ නිසාවෙන් ඇඹේනියට හොඳ කෑම පාර්සලයක් රැගෙන යාමය.
ඒ සඳහා ඔහු විහාරස්ථ දායක සභාවේ කෙනකු ඇමතුවේය. “හා ඕක සුළු දෙයක්නේ අයියේ” කියමින් ඔහු ඡායාරූප ශිල්පියා රැගෙන ගියේ ආහාර ගබඩාව වෙතය. ඒ අවස්ථාවේ වසා දමා තිබුණු එම ස්ථානයේ කවුරුත්ම නොසිටීම සම්බන්ධයෙන් ඔහු වැඩිමනත්ම සතුටු වූවේය. ඒ ඇති පදමට ආහාර බෙදාගෙන ලොකු කෑම පාර්සලයක් සිය ඇඹේනියට ගෙන යාහැකි යයි යටි සිත කී නිසාය.
දෙන දෙවියන් ගෙට ගෙනවිත් දෙනවා යයි කියන්නාක් මෙන් එහි බැඳ තිබූ ලොකු කෑම පාර්සලයක් වෙත ඔහුගේත් ඔහු සමග ගිය අයගේත් නෙතට හසුවූහ. ඉඳුල් අතපත නොගා කෑම පාර්සලයක් ගැනීමට හැකිවීම පිළිබඳව ඔවුහු දෙදෙනාම සතුටු වූහ. ඒ අනුව ඔහු එම කෑම පාර්සලය සිය සාගත මල්ලේ දමා ගත්තේය. ඒ සමගම එක පිම්මට යතුරු පැදියෙන් නිවසට පැමිණියේය.
පුරසාරම් ගොඩක් ඇද බාමින් බඩ ගින්නේ සිටි භාර්යාවට ඔහු මේ ලොකු කෑම පාර්සලය දුන්නේ බඩ පැලෙන තෙක් කන ලෙස ඉල්ලමින් ය. ඇය එම කෑම පාර්සලය කඩිමුඩියේ ලිහා සූදානම්වූවේ එය කොටා බෑමටය. මාලු කටු, ඉස්සන් පතුරු ඇතුළු එකට අනා තිබූ බත් පත දුටු ඇයට වමනය යන්න ආවාය. මෙය බල්ලන්ට කෑම සඳහා රැගෙන යෑමට සකසා ඇති පාර්සලයක් බව අවබෝධවූ ඇය මේ සම්බන්ධයෙන් ඇය ඔහුට බැන වැදුනේ බල්ලකුට මෙන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd