කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



ඇඳට අලු‍ත් ඇඳ ඇතිරිල්ලක් ගන්න යෙදූ අපූරු උපක්‍රමයෙන් අමුතුම අලු‍ත් පරිප්පුවක් කෑ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
නිවසේ නිදි යහනේ ඇඳ ඇතිරිල්ල යළි පාවිච්චි කිරීමට අසීරු අඩියක තිබුණේ කාලයක සිටමය. මීට සමගාමීව ඒ සම්බන්ධයෙන් ඇඹේනියගේ කන් කරච්චලය ද ඇසුණේ කාලයක සිටය. පඩි පත අතට ගත් දා ණය තුරුස් බේරූ පසු අලු‍ත් ඇඳ ඇතිරිල්ලක් තියා විටක් කෑමටවත් ඔහු අත මුදලක් ඉතිරි නොවන්නේය. මේ මාසයේ බිල් සියල්ල බේරූ පසු යළි ඊළඟ මාසයේ පඩි පත දක්වාම ණය බිල්වලට ගෙවන ඔහුගේ දිවියද ණයට ගෙවන එකක් මෙනි.
මේ නිසාම ඇඹේනිය අලු‍ත් ඇඳ ඇතිරිල්ලක් ගේන ලෙස කොතෙක් ඉල්ලීම් කළත් එය ඔහු නොඇසු කන්ව සිටියේය. ඒ අර හේතුව නිසාමය. ගමට ටිකක් දුරින් විහාරස්ථානයක පැවති කඨිනය සඳහා ඔහුට ආරාධනා ලැබුණේ හිතවත් විහාරාධිපති හිමි කෙනකුගෙනි. ඒ අනුව ඔහු එදින දහවල එම විහාරස්ථානයට ගියේය. සති අන්තයේ නිවාඩුවක් වීමද එයට මහත් රුකුලක්ම විය.


කඨින දානය නිමාවට පත්විය. එයට වැඩි හාමුදුරුවන්ලාට ලැබුණු පිරිකර ඇතුළු අනෙකුත් දෑ උන්වහන්සේලා වැඩි වාහනවලට පැටවීමට ඔහුද ඉදිරිපත් වූවේය. ඒ ස්වකීය කැමැත්තෙනි. ඔහු පිරිකර රැගෙන ගිය හාමුදුරුවන් වැඩි වාහනය තිබුණේ විහාරස්ථානයට ටිකක් දුරක් සහිත මහා පාරේය .ඔහු අතේ පාර්සල් ගොඩකි. මුහුණ පිහිදන තුවා, පාර්සල් කරන ලද ඇඳ ඇතිරි ආදී ද්‍රවයන් මේ අතරය.
හාමුදුරුවන් වැඩි වාහනයට එම ද්‍රව්‍යයන් රැගෙන යන අතරතුර ඔහු එක් පාර්සලයක් කාටවත් නොපෙනෙන ආකාරයට ගසක් මුල සඟවා තැබුවේය. මේ පාර්සල ගොඩෙන් එකක් ගත්තට හාමුදුරුවන්ට තේරෙන එකක් නැතැයි ඔහු සිතුවේය. හාමුදුරුවන්ට මෙච්චර පාර්සල් මොකටදැයි යන්න ඔහු සිතින් තර්ක කළේය.
කඨින දානයද කොටා බා ඔහු කාටත් නොදැනෙන්න අර පාර්සලය සිය යතුරු පැදියේ තබාගෙන ගියේය. “ඔන්න හාමිනේ මම සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව හොඳ බෙඩ් ෂීට් එකක් ගෙනාවා” යයි කීවේය. “ඇති යාංතම් තමුසෙට ඒක මතක් වෙච්ච එක” යයි කියමින් ඉතාම හුරුබුහුටියට චතුරශ්‍රාකාරයට නවා කවර කිහිපයක දමා තිබූ බෙඩ් ෂීට් එක කොහෝමදැයි බලන්න කවර එකින් එක කඩා දැම්මාය. හත් දෙයියනේ එහි තිබුණේ බෙඩ් ෂීට් එකක් නොව බෙඩ් ෂීට් එකක ප්‍රමාණයට නවා තිබූ සිවුරකි.
“මේ මිනිහෝ මේ බෙඩ් ෂීට් එක ඇඳට දාන්නේ කොහොමදැයි” කියමින් බෙරිහන් දෙන භාර්යාවගේ සද්දෙට ඒ දෙසට දිව ගිය ඔහුට දක්නට ලැබුණේ භාර්යාව අත දිග හැරි සිවුරකි. එය දැකීමත් සමගම ඔහුට දෙවියන් බුදුන් සිහිවූවේ තමන් කළ හොරකම ගැන භාර්යාව දැනුම්වත් කොට ඇය ඉදිරියේ නිවැරදි වෙන්නේ කෙසේදැයි සිතට පැමිණීමත් සමගය.