තමාට හදිසියේ  ලැබුණු ඔත්තුවකට අනුව කිරිපිටි පැකට් සියයක් ගැනීමට අගනුවර ප්‍රධාන පෙළේ වෙළෙඳ ආයතනයකට ගිය දකුණු පළාතේ උපනගරයක වෙළෙඳහල් හිමියකුට‘පරිප්පුවක්’ කෑමට සිදුවීමේ පුවතක් පසුගියදා ප්‍රදේශයේ ප්‍රචාරය වී තිබුණි.


මේ වෙ​ෙළඳහල් හිමියාට තම හිතවතකු දුරකථන ඇමතුමක් දුන්නේ මෙම වෙ​ෙළඳ ආයතනයට කිරිපිටි තොගයක් ලැබී ඇති නිසා එහි සේවකයකු සමඟ හිතවත් වී මෙය ලබා ගැනීමට ක්‍රියා කළ බවත් නොපමාව පැමිණ එය ලබාගෙන යන ලෙසත්ය. මෙය කාටවත් නොකියන ලෙසද ඔහු පැවසුවේ පසුදින තමා එම වෙ​ෙළඳ ආයතනය ඉදිරිපිට සිටින බවද පවසමිනි.


ගෙදර බිරිඳටත් මේ ගැන නොකියා හදිසි ගමනක් ලෙස අගනුවර වූ එම ආයතනය ඉදිරිපිටට  උදයේම ගියත් එම හිතවතා නොවීය.

බොහෝ වේලා රැඳී සිටි ඔහු පසුව හිතවතාගේ දුරකතනයට ඇමතුමක් දුන් විට  කාන්තාවක් කීවේ එය වැරදි අංකයක් බවය.


බැරිම තැන වෙළෙඳහල් සේවකයකුගෙන් රහසින්  මේ පුවත විමසූ විට ‘‘මෙහි ඇති කිරි පිටි පැකට් තොගයක් නෑ. මහත්තය කාගෙද පරිප්පුවක් කාලා’’ කීවෙන් ඔහුට දෙවියන් සිහිවුණාලු.
තිහගොඩ උපසේන ලියනගම