IMG-LOGO

ළමයින් නිතරම ලෙඩ වෙන්නේ ඇයි?

දරුවන්ට නිසි ප්‍රතිශක්තියක් නොමැති වීමෙන් හරිම පහසුවෙන් විවිධ රෝගාබාධවලට ගොදුරු වේ. දරුවන්ගේ වයසට සරිලන උස,බර මනාව පවත්වා ගෙන නොයාමත්, නිසි පෝෂණයෙන් යුත් ආහාර රටාවෙන් දරුවන් ඉවත් වීමත් මීට හේතු වේ.

ඇතැම් දරුවන් එකදිගට වැඩි වාර ගණනක් ලෙඩ වන්නේද ප්‍රතිශක්තිය හීන වී යාම නිසාය. එබැවින් දරුවන් ලෙඩ රෝගවලට ගොදුරු වූ පසුව බේත් හේත් ලබා ගැනීමටත් වඩා රෝග වැළඳීමෙන් ඈත් කර තැබීම ආරක්ෂිත පියවරයි. ඒ අනුව මේ දිනවල බහුලව ව්‍යාප්ත වන රෝග කිහිපයක් සහ ප්‍රතිශක්තිය ඇති කරවන ආහාර පුරුදු ගැන සඳහනක් මතු දැක්වේ.

වයිරස් උණ,ඉන්ෆ්ලුවන්සා, ඩෙංගු රතු එළි තවමත්

කොළඹ ළමා රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර සඳහා දිනකට රෝගීහු විශාල පිරිසක් පැමිණෙති. ඔවුන් අතර වයිරස් උණ, ඉන්ෆ්ලුවන්සා රෝගීන් මෙන්ම ඩෙංගු රෝගීහුද වෙති. මෙවන් රෝග වසරේ ඕනෑම කාලයකදී මතු වෙමින් ,යට යමින් රෝගීන් අඩු ,වැඩි කිරීමට සමත් වේ. කැස්ස, උණ ,හෙම්බිරිස්සාව, ඇඟපත රිදීම, ඇස්වලින් කබ ගැලීම ඉන්ෆ්ලුවන්සා ලක්ෂණ වන අතර උණ,ඇඟ පතේ රුදාව, ඇස් යට කැක්කුම, හන්දි කැක්කුම ඩෙංගු මූලික ලක්ෂණය.

මේ ගෙවෙන්නේ දරුවන්ගේ පාසල් නිවාඩු කාලය බැවින් බොහෝ දරුවන් විනෝද චාරිකා, නෑදෑ ගමන් සඳහා එකතු වන අයුරු දක්නට ලැබේ. ඒ අතර පාචනය රෝගීන්ද වාර්තා වේ. ඔබ පිට පළාතකට යනවා නම් සුදුසු වන්නේ උණුකොට නිවා ගත් පිරිසුදු ජලය නිවසේ සිට රැගෙන යාමයි.පිටතදී ආහාර ගන්නවා නම් නිවසේ පිළියෙළ කළ ආහාරවලට මුල් තැන දෙන්න. එසේ නොමැති නම් කඩ කෑම ගැනීමේදී තම ශරීර සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම ඉතා වැදගත්ය.

අධික රස්නය,දූවිලි නිසා හැදෙන ලෙඩ

ඉදිරි මාසයත් මෙයාකාරයටම වියළි කාලගුණයක් පවතිනු ඇත. මේ දිනවල වුවද අධික රස්නයක් දැනේ. පාසල් නිවාඩුව අවසන් වූ වහාම පාසල් ක්‍රීඩා තරග, අලුත් අවුරුදු ක්‍රීඩා උත්සව, විශේෂයෙන් මැරතන් වැනි එළිමහන් ක්‍රීඩා උත්සව පැවැත්වෙන කාලය උදාවේ. දැරිය නොහැකි අධික රස්නය නිසාවෙන් විජලනය වැනි තත්ත්ව ඇතිවිය හැකිය. මෙය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් නොව මහා මාර්ගවල වැඩ කරන කම්කරුවන් පවා ගොදුරු විය හැකි තත්ත්වයකි. ඒ අනුව අධික රස්නය නිසා තාප කම්පන වැනි තත්ත්වත් ඇති වීමට පිළිවන.

ළමා හතිය රෝගයට ගොදුරු වූවෝද ළමා රෝහලෙන් වාර්තා වෙති. රාත්‍රිය පුරාවට තද කැස්සක් පවතී නම් ඒ ගැන විමසිලිමත් වන්න. අධික රස්නය සේම දූවිලි වැඩි වීමද ළමා හතියට හේතුවකි.

ඒ අතර බෝ නොවන රෝගත්

රෝග පාලනයේ වැදගත්ම පියවර හොඳ සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීමයි. දරුවකු ඉපදී මුල් මාස 06 මවුකිරි පමණක් ලබා දිය යුත්තේ ඇයි යන්න හේතු ගණනාවකි. පෙරදී දියවැඩියාවට ගොදුරු වූ ළමා රෝගීන් වාර්තා නොවුණද දැන් වසරකට දියවැඩියා ළමා රෝගීන් 100ට ආසන්නව වාර්තා වේ. පිළිකා ළමා රෝගීන්ද වසරකට 1000ට ආසන්නව වාර්තා වේ. මේ තත්ත්වයට වුවුද වැඩි කල් නොයවාම පිළියම් දෙය යුතු වන්නේය. මුල් මාස 06 මවුකිරි පමණක් දීමේ අවශ්‍යතාව සහ වැදගත්කම මතු වනුයේ මෙතැනදීය. මවුකිරි මගින් දියවැඩියා,පිළිකා,හතිය වැනි රෝගාබාධ ගණනාවක් මෙන්ම බොහෝ අසාත්මිකතා පවා වලක්වා ගැනීමට හැකිය.

ප්‍රතිශක්තිකරණ එන්නත්වල අවශ්‍යතාව

පසුගිය කොවිඩ් සමයේදී බොහෝ දෙනාට සායන මඟ හැරිණි. ලබා ගත යුතු බෙහෙත් පවා අතපසු විණි. ගැබිණි මවුවරුන් හටද සායන සඳහා සහභාගී වීමේ ගැටලු පැන නැගිණි. ඔවුන් ෆෝලික් ඇසිඩ් ඖෂධය අඛණ්ඩව ලබා නොගැනීමෙන් ඉපදෙන දරුවන්හට අවදානමක් මතු විය හැකිය. ඒ මොළයේ කුහර ඇති දරුවන් ,සුෂුම්නාව සම්බන්ධ විවිධ රෝගාබාධවලින් පෙළෙන දරුවන් ඉපදීමේ වැඩි සම්භාවිතාවයි. පසුගිය වසරේ සිට මන්දපෝෂණ තත්ත්වයේ වුවද යම් වැඩි වීමක් දක්නට ඇති නිසා පෝෂණීය ආහාර වේලක් ලබා දීම මවුපිය වගකීම විය යුතුය.

ප්‍රතිශක්තිය වැඩි කරන ආහාර සහ හොඳ පුරුදු

දරුවකු ඉපදී මුල් මාස 06න් පසු එළැඹෙන්නේ ඝන ආහාර හඳුන්වා දීමේ කාලයයි. එවිට කොස්, පොළොස්,බතල, අල, කහ පැහැති එළවළු, පළා වර්ග, හාල්මැස්සො ,ඇට වර්ග(ධාන්‍ය),බිත්තර,රට කජු වැනි දෑ දේශීයත්වයට මුල් තැන දෙමින් දරුවාට ලබා දිය හැකිය. ඇපල් ,මිදි දෑ පසුපස හඹා යන සමාජයක ඉහත ආහාර වට්ටෝරුව හීනයකි.

දරුවාට වසරක් ගත වන තරු ලුණුත් වසර දෙකක් ගත වන තෙක් සීනිද ලබා නොදිය යුතුය.

කෙටි ආහාර ගැනීම ලෙඩ විමට මඟකි. ඉක්මන සහ පහසුව කෙසේ වෙතත් එවැනි ආහාරවලින් දරුවාගේ කුස පිරවීම ප්‍රතිඵල රහිතය. මේ අතර අපේ දරු පරපුර අතුරින් පිරිසක් අධි පෝෂණය, අධි බර,ස්ථුලතාවෙන් යුතුය. දරුවන්ට ලැබෙන විවේකය මඳකම,ව්‍යායාම අඩුවීම ,සීනි පැණි රස ආහාර බහුල පරිභෝජනයද ඊට හේතු වේ. කතන වර්ධනය අඩු වීම-ඔටිසම් වැනි තත්ත්වාදිය ගැනත් නිතරම අසන්නට ලැබේ. විභාග මානසිකත්වය, තරගකාරීත්වය වැනි කාරණා නිසා ළමයින්ගේ මානසික සෞඛ්‍යය පවා පිරිහීමට පත්ව තිබේ. වත්මන වන විට ළමා අපචාර පවා වැඩි වී ඇත.කලට වෙලාවට කෑම ටික සපයා දීම පමණක්ම මවුපිය යුතුකම නොවන අතර දරුවාට අවශ්‍ය ආදරය,කරුණාව සහ රැකවරණය ලබා දීමද ඒ අතර වන බව මතක තබා ගත යුතුය.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

ළමයින් නිතරම ලෙඩ වෙන්නේ ඇයි?

sisil Friday, 03 March 2023 04:34 AM

ළමයින් නිතරම ලෙඩ වෙන්නේ ඇයි? ඉන්දියාවෙන් කුඩා දරුවන්ට ලබාදීමට ගෙන්වනා වූ කැස්ස සිරප් ඇතුළු ඉන්දියාවෙන් සියලු සිරප් වර්ග පිලිබදව සොයා බැලීමක් කරන්න. මුදල් ලබාදී එම සිරප් වර්ග අනුමත කරගැනීමට හැකියාවක් පවතී

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 99 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 644 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site