IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දරුවන්ගේ පෝෂණයේ නිවැරැදි පියවර

පෝෂණය කියන සාධකය අපේ මුළු ජීවිත කාලය පුරාම එකසේ බලපානු ලැබේ.  බිළිඳා මවු කුසෙහි සිටින කාලය, දරුවා ඉපදී ගෙවන මුල් අවුරුදු දෙක, පෙර පාසල් විය, ළමා විය, යෞවන විය, වැඩිහිටි සහ වැඩිමහලු විය යනාදී ලෙස මේ කවර අවදියක් ගැන කතා කළද ඒ විවිධ කාල වකවානුවලදී ලබන පෝෂණය මුළු ජීවිත කාලය පුරාම රඳා  පවතී.

එයිනුත් ළමා වියේ පෝෂණය ගැන කතා කිරීම ප්‍රධානය. දරුවකුගේ දිවියෙහි මුල් පස් වසර ඉතා ශීඝ්‍ර වර්ධනයක් සිදුවන කාලයයි. සැබැවින්ම  ළමා කාලය දිවි සුරැකුමට ,වර්ධනයට හා සංවර්ධනයට වැඩිම අවදානමක් ඇති කාලයකි. 

ඒ අනුව  ඉපදී මුල් මාස 6තුළ මවු කිරෙන් පමණක් පෝෂණය ලබන දරුවාට ජීවිතයේ කායික, මානසික, සමාජයීය වශයෙන් මෙන්ම රෝගවලින් තොර වීමේ ශක්තියද එමඟින් සැලසේ. විද්‍යාත්මක පර්යේෂණවලට අනුව අවුරුදු තුන සම්පූර්ණ වනවිට මොළයේ සංවර්ධනයෙන් සියයට අසූවක් සම්පූර්ණ වේ.  

මාස හයෙන් පසු මවුකිරි සමඟ ලබන අමතර ආහාර වේල් තුළින් දරුවා ආහාර වර්ගවල විවධත්වයක් දැකීමට උත්සාහ දරයි. ඒ අනුව විවිධත්වයෙන් යුත් ආහාර වර්ග නිසි ප්‍රමාණයෙන් ,හරි ප්‍රමිතිය මත නියමිත වාර ගණනක් ලබා දීම අත්‍යවශ්‍යය. 

පෙර පාසල් විය එනම් අවුරුදු තුන සහ පහ දක්වා වන කාලයේදී දරුවන්ගේ වර්ධනය සහ සංවර්ධනය සිදු වන අතර නව ආහාර සඳහා හුරු වීමත් ආහාර පුරුදු ඇති කර ගැනීමත් මේ අවදියේදී සිදුවේ. ඉන්පසු ක්‍රමයෙන් වැඩිහිටි ආහාරයට යොමු වන දරුවාට සමබල ආහාර වේලක තිබිය යුතු කොටස් ගැන දැනුම්වත් කිරීම අත්‍යවශ්‍යය.

දරුවන් ශක්තිය ලබා දෙන ආහාර ගත යුතු ඇයි?

දැන් අපේ කෑම පිඟාන වෙත අවධානය යොමු කරමු. පිඟානෙන් භාගයක් බත්, බඩ ඉරිඟු, කුරක්කන් වැනි ධාන්‍ය වර්ගයක්, අල,බතල, කොස් ,දෙල් මෙන්ම තෙල් හා මේද වැනි ශක්තිය ලබා දෙන ආහාර අඩංගු විය යුතුය. ශරීරය අභ්‍යන්තරයේ සිදුවන සියලු ක්‍රියාවලි සඳහා අවශ්‍ය ශක්තිය සැපයීම මේවායින් සිදු කෙරේ. එසේ නොවුව හොත් ශරීරයේ මාංශ පේශි බිඳ වැටී හෝ ශරීරය පවත්වා ගැනීමට අවැසි ශක්තිය ලබා දේ. එවිට ශරීර බර අඩු වේ. එනිසා අවශ්‍ය පමණට ශක්තිය ලබා දෙන ආහාර දරුවන්ගේ කෑම වේලට ඇතුළත් විය යුතුය. ඒවගේම අධික වශයෙන් පිටි,තෙල් සහිත ආහාර ගැනීම නිසා නුදුරු දිනෙකදීම දරුවා රෝගියකු වීමද වැළැක්විය නොහැකිය. එබැවින් දරුවාට කුඩා අවදියේ සිටම අධික පිටි, තෙල් සහ සීනි ආහාර සඳහා උත්තේජනයක් සපයා දිය යුතු නැත.

ලුණු රසැති බයිට් වර්ග, සීනි අධික බිස්කට් වර්ග මෙන්ම පිරිපහදු කළ පිටිවලින් තැනූ ආහාරවලින්ද දරුවා ඈත් කළ යුතුය. එය දියවැඩියාව , හෘදයාබාධ , අධික රුධිර පීඩනය සහ සමහර පිළිකාවලට  ගොදුරු වීම වැළැක්වීමේ අනාගත ආයෝජනයක් වනු ඇත. 

ආහාර පිඟානේ දෙවැනි ප්‍රධාන කාණ්ඩය වනුයේ වර්ධක ආහාරය. එය පිඟානේ ඉතිරි භාගයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් විය යුතුය. ඊට අයත් වන්නේ සත්ව ආහාර වන මාළු, මස්, හාල්මැස්සන් , කරවල ,බිත්තර , කිරි හා කිරි ආහාර මෙන්ම ශාකමය ප්‍රෝටීනවන පරිප්පු,කඩල , කව්පි ,සෝයා යනාදියයි. ශරීරයේ වර්ධනයට මෙන්ම ගෙවී යන කොටස් අලුත්වැඩියාවටද මෙම ආහාර වර්ගවලින්ද ආහාර පිඟාන සමන්විත වීම  අනිවාර්යය. විශේෂයෙන්ම අවුරුදු 20වනතුරුම දරුවන්ගේ වර්ධනය සිදු වන නිසා එම ආහාර කාණ්ඩය වැදගත් මෙහෙයක් ඉටු කරනු ලැබේ. 

ආරක්ෂක ආහාර ලෙස සැලකෙන එළවළු, පලතුරු පලා වර්ගත් කෑම පිඟානේ භාගයෙන් තුනෙන් දෙකක් විය යුතුය. විටමින් ,ඛනිජ, කෙඳි , ප්‍රතිඔක්සිකාරක සපයන මෙම ආහාර ශරීරය ආරක්ෂා කර ලෙඩ රෝගවලට එරෙහිව සටන් කිරීමට අවැසි ශක්තිය ලබා දේ. මෙකී කාණ්ඩය පිළිකා අවදානම අඩු කිරීම උදෙසාද හේතු වේ. ඉහත තොරතුරු විශ්ලේෂණයේදී කුඩා කල සිටම දරුවාට සමබල ආහාර වේලක් ලබා දීමේ අවශ්‍යතාව හා වැදගත්කම අවබෝධ වනු ඇත.

මේ අතර දිනපතාම හොඳින් පිරිසුදු ජලය පානය කිරීමේ හොඳ පුරුද්දට  දරුවන් අනුගතව තබා ගැනීමද කළ හැකිය. මිලි ලීටර් 200ක වීදුරුවකින් දවසට වීදුරු පහක් හෝ හයක් අතර ප්‍රමාණයක් දරුවකු පානය කළ යුතු වේ. පිපාසය සන්සිඳුවා ගැනීමට වතුර හැරුණුකොට පැණි බීම, කෝලා බීම, ශක්ති ජනක පාන භාවිත කිරීම දරුවකු කුඩා අවදියේ සිටම බෝ නොවන රෝගවලට ගොදුරු කරවීමකි. ඒ වෙනුවට ස්වාභාවික පාන වර්ග කොතෙක් නම් ඇත්ද? තැඹිලි, කුරුම්බා, බෙලි මල්, රණවරා තැම්බූ පාන , සීනි නොයෙදූ පලතුරු යුෂ ආදිය නිවසේ පිළියෙල කොට දරුවාට ලබා දිය හැකිය. 

එමෙන්ම උදේ ආහාරය උදෑසනින්ම දරුවාට ලබා දීමත් අත්‍යවශ්‍යය. ඒ සඳහා දරුවා හුරු කරවීමත් මවුපිය වගකීමකි. උදෑසනට දරුවාගේ කුස කිරි කහට කෝප්පයකින් පිරවීමේ වැරැදි පුරුදු වහා වෙනස් කර ගත යුතුය. ඒ වෙනුවට බත් සහ එළවළු හෝ ඇට වර්ගයක්, එළවළු හෝ බිත්තර මිශ්‍ර සැන්විචස් වැනි ඝන ආහාරයක් උදෑසන කෑම සඳහා සුදුසු වේ. උදෑසනින් කිරි පානය කළ යුතු බවට නියමයක් කොහේවත් නැති අතර කිරි හෝ කිරි ආහාරයක් දවසේ ඕනෑම වෙලාවක ගැනීම සෑහේ. රාත්‍රී ආහාරයෙන් පසු දිගු වේලාවක් නිරාහාරව සිටින නිසා උදෑසන අවදි වනවිට රුධිරයේ පෝෂණ මට්ටම අඩු වේ.  උදේ ආහාර වේල නිසිපරිදි ප්‍රමාණවත්ව ලබා ගැනීම තුළ රුධිරයේ අඩු පෝෂක මට්ට්ටම යථා තත්ත්වයට පත් කිරීම සිදු වේ. එය වර්ධන අවස්ථාවේ පසුවන දරුවන්හට ඉතා වැදගත් වේ. මොළයේ මනා ක්‍රියාකාරීත්වයට මෙන්ම බුද්ධි වර්ධනයටද , ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රිය පද්ධතිවල වර්ධනයටද මෙය උපකාරී වේ. 

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

දරුවන්ගේ පෝෂණයේ නිවැරැදි පියවර

vidya Monday, 12 December 2022 12:44 AM

ඉතාමත් හොඳ ලිපියක්. කරුණාකර පොඩි දරුවන්ට ෆ්‍රයිඩ් රයිස්, පිසා, හොට් ඩෝග්, වැනි කෑම දෙනවානම් ඉතාම කලාතුරකින් දෙන්න.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site