IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


දරු පරපුර විනාශයට කැන්දන ‘අයිස්‘

'Methamphetamine' හෙවත් ‘අයිස් ‘ යනු උත්තේජකයකි. එය අද වනවිට තරුණ පිරිස් වැඩි වශයෙන් මරු කටට ගොදුරු කර ගන්නා මත්ද්‍රව්‍යයක් වී අවසන්ය. ඒවාට ගොදුරු වූවන් අතර කුඩා දරුවන් සේම පාසල් සිසුන්ද සිටින බවට වාර්තා වේ.

ඉගෙනුම ලබන වයසේ පසුවන ළමයින් හට පාඩම් කරුණු ලෙහෙසියෙන් මතක තබා ගැනීමටත්, රාත්‍රියට නිදි වර්ජිතව බොහෝ වේලාවක් රැඳී සිටීමටත් හැකි යැයි කතා ගොතමින් මේවා අලෙවි කරනු ලැබේ. මේ වනවිට තත්ත්වය වඩාත් අයහපත් අතට හැරෙමින් ගම් මට්ටමින් පමණක් නොව රට පුරාම පාසල් දරුවන් අයිස් මත්ද්‍රව්‍යයට ගොදුරු වී ඇති බවට ආරංචි ලැබෙමින් පවතී.

මෙහි ඉතිහාසය ගෙන බැලීමේදී ඈත අතීතයේ පැවැති යුද්ධවලදී සෙබළුන්හට නින්ද යාම වැලැක්වීමට 'Amphetamine' කාණ්ඩය භාවිත කොට ඇත. නිර්වින්දනය සඳහාද මේවා භාවිතයට ගෙන ඇති බව පෙනේ. ඒ අනුව 'Amphetamine' මෙන්ම ' Methamphetamine ' යනු එකම කාණ්ඩයට අයත් ඖෂධ වේ. මෙහි ඇති සුවිශේෂී ලක්ෂණය නම් ඉතා ඉක්මන් ඇබ්බැහිකාරකයක් වීමයි. එනිසාම නිදිමත ස්වභාවයකින් තොරව මුළු රැයක්ම ගත කිරීමේ හැකියාව ඇත්තේ එබැවිනි. මේ අනුව අවුරුදු හත, අට වැනි වියේ පසුවන දරුවන් මෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් මෙකී ඇබ්බැහිකාරකයට ඉක්මනින් ගොදුරු වීමට පටන් ගෙන ඇත.

තවද පාසලේදී , පන්තියේදී පමණක් නොව පාසල් උත්සව, ක්‍රීඩා උළෙල,ප්‍රිය සම්භාෂණ ආදියෙහිදී පවා අයිස් මත්ද්‍රව්‍යයට ළමයින් ලෙහෙසියෙන්ම ගොදුරු වෙති. තරුණ වයසේ පසුවන දරුවන් අතර ඉතා කෙටි කලකදීම ඇබ්බැහිකාරක ප්‍රචලිත වීම ඊට හේතුවයි.

අයිස් මත්ද්‍රව්‍යය ලබා ගන්නා දරුවන් අතර පහත විශේෂිත ලක්ෂණ දැකිය හැකිය.

♦ හොඳින් ආහාර අනුභව කළ දරුවකු නම් හිටි හැටියේම ආහාර රුචිය අඩු කරයි. දරුවාට කුසගින්නක් සේම ආහාරවලට ඇති තැමැත්ත ඉතා කෙටිකලකදීම අඩුවී යයි. මේ නිසාම සිරුර දුර්වල වීමට පටන් ගැනේ. හැදෙන වැඩෙන ක්‍රියාශීලී වයසේ දරුවන් පසුවන නිසා අවැසි පෝෂණය නොලැබී යාමෙන් සිරුර වැහැරීමට පටන් ගැනේ.

♦ ආහාර නොගැනීමේ ක්‍රියාවලිය දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමෙන් මෙම දරුවන් ඉතාම පහසුවෙන් මන්දපෝෂණ තත්ත්වයට ගොදුරු වේ.

♦ අඩු වයසේදීම සිරුරේ අභ්‍යන්තරය දිරා යාම ආරම්භ වේ.

♦මෙම දරුවන් බෝ වන රෝගවලටද පහසුවෙන්ම නිරාවරණය වේ.

සිරුරට අවශ්‍ය මනා පෝෂණයත්, ප්‍රතිශක්තියත් ක්‍රම ක්‍රමයෙන් හීන වූ පසු බෝවන රෝගවලට දරුවා පහසුවෙන්ම භාජන වේ.

♦ අඩු වයසේදීම මරණයට පත් වේ.

අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ දරුවකුගේ බාහිර ගති සොබා

♦ රාත්‍රිය පුරාම නිදි මරමින් නිකරුණේ කාලය ගත කිරීම

මෙම දරුවන් අධ්‍යයන කටයුතුවල නිරතවනවාට වඩා බොහෝ විට ජංගම දුරකතනය භාවිත කරමින් නිකරුණේ කාලය කා දමයි.

♦ හොඳින් අධ්‍යාපනය ලැබූවකු නම් ප්‍රගතිය ඉතා අඩුය.

කිසිඳු බාහිර හේතුවක් නැතිව අධ්‍යාපන කටයුතු මන්දගාමී වන්නේ නම් එසේ වීමට හේතු මොනවාද යන්න අනාවරණය කර ගත යුතු වේ.

♦ දරුවාට පෙරට වඩා බාහිර සබඳතා වැඩි වීම

තම දරුවා ඇසුරු කරන පිටස්තර පිරිස කවුරුන්ද කුමන හේතු මත ඇසුරු කරනවාද යන්න මවුපියන් දැනුම්වත්ව හිඳීම අනිවාර්ය වේ.

♦ කෑම ප්‍රතික්ෂේප කරන වාර ගණන වැඩි වීම

මෙවැනි සැක සහිත ලක්ෂණ ඇත්නම් දරුවන්ව නොපමාව ළඟම පිහිටි රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥවරයකු වෙතට යොමු කළ යුතුය. එසේම මේ වනවිටත් අයිස් මත්ද්‍රව්‍යයට ගොදුරු වූ දරුවන්ව ඉන් මුදවා ගැනීමට නම් හැකි ඉක්මනින් පුනරුත්ථාපනය කළ යුතුවේ.

අනාගත දියුණුවට අවැසිම සම්පත් මෙයාකාරයට අකාලයේ මිලින වී යාම රටේ අනාගතයට කෙතරම් බලපෑමක්ද? එබැවින් මේ ගෙවී යන්නේ පෙරටත් වඩා බුද්ධිය මෙහෙයවා තීන්දු , තීරණ ගත යුතු කාලයකි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

දරු පරපුර විනාශයට කැන්දන ‘අයිස්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1450 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site