(හෝමාගම මූලික රෝහල, මුල්ලේරියාව රෝහල සහ කොළඹ වසංගත රෝග විද්‍යායතනයේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය චතුරිකා බෙලිගස්වත්ත)

වකුගඩු රෝගීන්ට කොරෝනා අවදානම් ඇයි?

මේ වනවිට කොරෝනා වයිරසයේ ප්‍රභේද ගණනාවකි. ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට එන්නත්කරණ වැඩසටහනද සාර්ථක මට්ටමින් දිවයින පුරා දියත් කොට ඇත. සාමාන්‍ය පුද්ගලයකුට කොවිඩ් වැළඳීම මෙන් නොව වකුගඩු බොහෝ සෙයින් අකර්මණ්‍යව රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාරය ලබන රෝගීන් සේම වකුගඩු බද්ධ කළ රෝගීන් ආසාධිතයෝ වුවහොත් බොහෝ සංකූලතා ඇති වීමත් මිය යාම දක්වා එය දුර දිග යාමත් සිදු විය හැකියි. මන්ද මෙවැනි රෝගීන් අධි අවදානම් තත්ත්වයක පසු වන නිසාය. සාමාන්‍ය පුද්ගලයකු මෙන් නොව වකුගඩු රෝගීන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල බැවින් කොරෝනා ආසාදනය වුවහොත් ඔවුන්ගේ ප්‍රතිශක්තිය තවත් අඩු වේ.

වකුගඩුවක් බද්ධ කළ රෝගීන්ට වකුගඩුව ප්‍රතික්ෂේප නොවී පවත්වා ගෙන යාම සඳහා ලබා දෙන ඖෂධවලින් පවා ප්‍රතිශක්තිය අඩු කරයි. එබැවින් මෙවන් රෝගීන් රටේ පවතින වාතාවරණය මත මේ ගෙවෙන්නේ ඉතා පරෙස්සම් විය යුතු කාලයකි. වකුගඩු රෝගීන්ට පිළිපැදිය යුතු උපදෙස් විශේෂයෙන් වගු ගත කර නැත.

උපදෙස් පිළිපදින්න...

සබන් යොදා තත්පර 20ක් දෑත් සේදීම,විසබීජ නාශක දියර භාවිතය, නිවැරැදිව මුව ආවරණ දෙකක් දැමීම, නිතරම තම ඇස්- නහය- මුඛය ස්පර්ශයෙන් වැලකීම, ජනාකීර්ණ තැන් මග හැරීම, මෙවන් රෝගීන් රාජකාරි කරනවානම් නිවසේ සිට කාර්යය සිදු කිරීම, පිටස්තර පුද්ගලයන් සඳහා අවම වශයෙන් මීටරයක දුරක්වත් පවත්වා ගෙන යාම යනාදී වශයෙන් පොදු ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ හැකියි. වඩා වැදගත් වන්නේ තම සෞඛ්‍ය තත්ත්වය හොඳින් තේරුම් ගෙන මේ මොහොතේදී තමා, තමන්වම ආරක්ෂා කර ගැනීමයි.

පහත ලක්ෂණ ඇත්නම්...

උණ, උගුරේ අමාරුව, ගඳ සුවඳ නොදැනීම, වමනය, ඇඟපත වේදනාව, කැස්ස, පාචනය, ශ්වසන අපහසුතාවක් දැනේ නම් හැකි ඉක්මනින් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු වීම ඉතා වැදගත්ය. එමගින් වැඩිකල් නොයවා මුල් අවස්ථාවේදී ප්‍රතිකාර ලබා ගැනීම සිදුවෙන අතර බැරෑරුම් අවස්ථා මග හරවා ගැනීමටද හැකිවනු ඇත. තම නිවසේ සාමාජිකයකු කොරෝනා ආසාධිතයකු නම් වකුගඩු රෝගී පුද්ගලයා මුලින්ම සාමාජිකයන්ගෙන් ඈත්ව කටයුතු කළ යුතුයි.

නිවෙස්වල නිරෝධායනය නොකෙරේ....

ආසාධිතයන්ගේ ධාරිතාව ඉක්මවා යමින් පැවතීම නිසා නිරෝධායන මධ්‍යස්ථානවලට ඇතුළු කර ගැනීම ප්‍රමාද වන බවක් අපට දක්නට ලැබේ. එමනිසා තම වෛද්‍යවරයාට මේ බව දන්වා වකුගඩු රෝගී පුද්ගලයාද පී.සී.ආර්. පරීක්ෂණයක් කර ගැනීම අනිවාර්ය වේ.

වකුගඩු රෝගී පුද්ගලයන් අධික අවදානම් තත්ත්වයක පසුවන බැවින් නිවෙස්වල නිරෝධායනය නොකෙරෙන අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා ගෙන යයි. රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර ගැනීමේ වාර ගණන වෛද්‍ය උපදෙස් මත රෝගීන්ගෙන් රෝගීන්ට වෙනස් වේ.

එවගේම සාමාන්‍ය රෝහල්වලදී රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාරය ලබා නොදෙන අතර විශේෂ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලදී ලබා දේ. මේ වනවිට ඒ සඳහා ඇති ප්‍රධානම ප්‍රතිකාර මධ්‍යස්ථානය හෝමාගම මූලික රෝහලයි. නේවාසික රෝගීන් 150ට පමණ පහසුකම් ඇති මෙහි දිනකට රෝගීන් 40කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාරය ලබා ගැනීම සඳහා පැමිණේ. ඒ අනුව පිඹුර, රාගම, මීගමුව, කළුතර, බලංගොඩ යන රජයේ රෝහල්වලත්, පුද්ගලික රෝහල්වලත් වකුගඩු රෝගීන්ට රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාරය හෝමාගම රෝහල මගින් ලබා දේ. වාර්තා වෙන රෝගීන්ගේ වැඩි වීමත් සමග ප්‍රතිකාර යන්ත්‍ර 03ක් පමණක් පවතින බැවින් සීමිත පහසුකම් මධ්‍යයේ රෝගීන්ගේ අවශ්‍යතා සැපිරීම රෝහල් කාර්ය මණ්ඩලයේ මූලික අභිලාසයයි.

නිසි බෙහෙත් භාවිතය ගැන සැලකිලිමත් වන්න....

කොරෝනා ආසාදිත වකුගඩු රෝගීන් රෝහලකට ඇතුළු වන තෙක් වෛද්‍ය උපදෙස් මත තමාට ලබා දුන් ඖෂධ නියමිත පරිදි ලබා ගත යුතුමයි. බොහෝ රෝගීහු තමා කොරෝනා ආසාධිතයැයි දැනගත් මොහොතේ පටන්ම බෙහෙත් මුළුමනින්ම නතර කිරීම, මාත්‍රාව අඩුවෙන් ගැනීම සිදු කරති. ඒ අනුව රෝහලකට ඇතූළු වී වෛද්‍යවරයකු පරීක්ෂා කරන තෙක් තමාට නියමිත ඖෂධ එයාකාරයෙන් ලබා ගැනීමට වගබලා ගන්න. වකුගඩු බද්ධ කළ රෝගීන් පවා තමන්ට වෛද්‍ය උපදෙස් අනුව නිර්දේශ කළ බෙහෙත් එයාකාරයෙන්ම ලබා ගත යුතුයි. යම් හෙයකින් වකුගඩු බද්ධ කළ රෝගියකු නියමිත පරිදි ඖෂධ ලබා නොගත හොත් වකුගඩුව ප්‍රතික්ෂේප වී යා හැකියි. ඇතැම් විටෙක වෛද්‍ය පරීක්ෂාවකින් අනතුරුව ඖෂධ වෛද්‍ය උපදෙස් මත වෙනස් විය හැකියි. රටේ පවතින වාතාවරණයේ ඉදිරිය ගැන නිශ්චිත යමක් පැවසීමට නොහැකි නිසාවෙන් රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාරය ලබා ගන්නා රෝගීන්, වකුගඩුවක් බද්ධ කළ රෝගීන් තමන්ගේ බෙහෙත් සති දෙක තුනකටම ඇති වනසේ අතිරික්තයක් වන පරිදි අසුරා ළඟ තබා ගත යුතුයි.

ආහාර පාන...

මොවුන්ගේ ආහාර පාන ගැන කතා කරනවානම් වෛද්‍ය උපදෙස් ලබා දී ඇති පරිදිම පාන වර්ග ලබා ගත යුතුයි. එනම් දිගු කලක් පුරාවටම ඩයලසිස් කරන රෝගීන්ගේ මුත්‍ර පිටවීමක් නොමැති කරමටම අඩු විය හැකියි. තමාට පිටවන මුත්‍ර ප්‍රමාණය මත දියර වර්ග පානය කළ යුතු වන්නේද නිසි වෛද්‍ය උපදේශයට අනුකූලවයි.

මේ දවස්වල වැඩිපුර ජලය පානය කිරීම සුදුසු බවට පොදු වෛද්‍ය මතය වුවද වකුගඩු රෝගීන් කිසිම කෙනෙක් තම අභිමතය පරිදි කටයුතු කිරීමට යාමෙන් වලකින්න. වෛද්‍ය උපදෙස් ගරු කරන්න. වෛද්‍ය නිර්දේශයට පිටින් ජලය පානය කළහොත් ඒ වැඩිපුර ජලය පෙනහලුවල එකතු වී ස්වසන අපහසුතා මතුවිය හැකියි. එවිට රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාරය ලබා දීමේ වාර ගණනද වැඩි විය හැකියි.

තවද විටමින් සී, ඩී, ඊ, සේම සින්ක් ලබා ගැනීමත් මේ දිනවලදී බහුලව දකින සිදුවීමකි. එහෙත් මේ වනතෙක් ඒ පිළිබඳ කිසිදු සායනික තහවුරු කිරීමක් සිදු කර නැත. අධිකව ලබා ගන්නා විටමින් ‘සී‘ නිසා වකුගඩු අකර්මණ්‍යතාද මතු විය හැකියි. ප්‍රතිශක්තිය වඩවන නව පාන වර්ග, ආයුර්වේද පාන වර්ග ගැන වුවත් කීමට ඇත්තේ තවමත් මේ දේවල් සායනිකව තහවුරු කර නැති නිසා නිකරුණේ මුදල් හා කාලය නාස්ති කර නොගන්නා ලෙසයි.

විශේෂයෙන් වකුගඩු රෝගීන්ට පොටෑසියම්, පොස්පරස් අධික ආහාර නොගන්නා ලෙස වෛද්‍ය නිර්දේශයයි. වෛද්‍ය නිර්දේශවලට පටහැනිව කටයුතු කිරීමට යාමෙන් වලකින්න.

ඒ අනුව තම වෛද්‍යවරයාගේ නිසි මාර්ගෝපදේශකත්වය යටතේ පෝෂ්‍යදායී ආහර වේලක් සහ දිනපතා ව්‍යායාම කිරීම මගින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය නගා සිටුවිය හැකියි. ඒ අනුව වෛද්‍යවරයාගේ නිර්දේශවලට අනුකූල වෙමින් නිවැරැදි ආහාර පාන නිසි ප්‍රමාණයෙන් ලබා ගැනීම රෝගියා සතු වගකීමකි.

- සටහන- මාධවී ධර්මරත්න