(කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍ය දිනුකා ගුරුගේ)

රැපිඩ් ඇන්ටිජන් හෝ පී.සී.ආර්. පරීක්ෂණයක් මගින් කොවිඩ් ආසාධිත බවට තහවුරු කර ගත් පුද්ගලයන් හට ගෘහාශ්‍රිතව ප්‍රතිකාර ලබා දීමේ ක්‍රියාවලිය පසුගියදා සිට ඇරැඹිණි.

ගෘහාශ්‍රිතව ප්‍රතිකාර ලබන්නෝ....

ගෘහාශ්‍රිත ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රියාවලියේදී කොවිඩ් ආසාදිත රෝගීන් අතුරින් කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වන හා සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්වන අවුරුදු 2ත් 65ත් අතර වියේ පසුවන්නන් තෝරා ගැනේ. වයස අවුරුදු 65ට වැඩි ආසාදිතයන් රෝහල් වලට යොමු කෙරේ. යම් පුද්ගලයකුට විවේකීව සිටියදී හෝ කෙටි ව්‍යායාමයකින් අනතුරුව හතිය ගතියක්, ස්වසන අපහසුවක් දැනේ නම් ඔවුන්ද රෝහල් ගතව ප්‍රතිකාර ලැබිය යුතුයි. එසේම පහත කරුණුද සැලකිල්ලට ගනිමින් ආසාදිතයා පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් ගෘහාශ්‍රිත ප්‍රතිකාර ක්‍රමයට සුදුසුද නැද්ද යන්න තීරණය කෙරේ.

කොවිඩ් ආසාදිත පුද්ගලයා නිසි ලෙස පාලනය නොවූ දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, වකුගඩු රෝග හා පෙණහලු ආශ්‍රිත කිසියම් නිදන්ගත රෝගයකින් පෙළෙයිනම් හෝ ප්‍රතිශක්තිය හීන වන රෝගයකින් පෙළෙන්නකු වීම,

ප්‍රතිශක්තිය අඩු කරන ඖෂධයක් දීර්ඝ කාලයක් තිස්සේ ලබා ගන්නා අයකු වීම,

ශරීර ස්කන්ධ දර්ශකය 30ට වැඩි ස්ථුල පුද්ගලයන් ආදී වශයෙන් ඔවුන්ට ඇති වන සංකූලතා සැලකිල්ලට ගනිමින් නිවසේදී ප්‍රතිකාර ලැබීමේ ක්‍රියාවලියට සුදුසු නොවන බවට තීරණය කෙරේ,

ගෘහාශ්‍රිත ප්‍රතිකාරය සඳහා සුදුසුකම්...

ආසාදිතයන් ඉහත සඳහන් කරුණුවලින් තොර වීමත් නිවසේ අන් සාමාජිකයන්ගෙන් වෙන්ව වෙනත් කාමරයක් සහ ක්‍රමවත් සනීපාරක්ෂක පහසුකම් ඇති නම් ඔහුව ගෘහාශ්‍රිත ප්‍රතිකාරයට නිර්දේශ කෙරේ.

එමෙන්ම අවශ්‍ය අවස්ථාවන්හිදී වෛද්‍ය සහාය සහ ප්‍රතිකාර ලබා ගැනීමට හැකි පරිදි සන්නිවේදන පහසුකම්ද පැවතිය යුතුයි.

තවද සති 24ට වැඩි ගර්භණී කාන්තාවන්ද සංකූලතා සැලකිල්ලට ගනිමින් නිවසේදී ප්‍රතිකාර ලබා ගැනීමට නිර්දේශ කෙරේ.

එමෙන්ම රෝගියාට උවටැන් කිරීම සඳහා ඉදිරිපත් වන පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වයත්, කාර්යය සියල්ලම රෝගියාටම ඉටු කර ගැනීමට ඇති හැකියාව ගැනත් සැලකිල්ලට ගනී.

ඒ අනුව ගෘහාශ්‍රිත ප්‍රතිකාර සඳහා යොමු කෙරුණු රෝගීන්ගේ විස්තර ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවෙස්ගත ප්‍රතිකාර සැපයීමේ පද්ධතියට ඇතුළත් කෙරේ.

මෙහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් රෝගියාගේ සිරුරේ ඔක්සිජන් ප්‍රතිශතයද මැන සටහන් කර ගනී. එම අගය 96ට වඩා වැඩි නම් ගෘහාශ්‍රිත ප්‍රතිකාර ලබා දෙන අතර 96ට වඩා අඩු නම් රෝහල් ගත කෙරේ.

කොළඹ නගරයේ ආසාදිතයන්ට ගෘහාශ්‍රිත ප්‍රතිකාර ක්‍රමය අදාල නොවේ....

කොළඹ 1 සහ 15 දක්වා වන නගරාශ්‍රිත ආසාදිතයන් හට මෙතෙක් නිවෙස් ආශ්‍රිත ප්‍රතිකාර ක්‍රමය හඳුන්වා දී නැත. ඊට හේතුව නම් ජනාකීර්ණ වීමත් වෙනම කාමර සහ සනීපාරක්ෂක පහසුකම් විධිමත් නොවීමත්ය. ඒ අනුව ඔවුන්ට රෝහල් ගත වීමට උපදෙස් ලබා දෙන අතර පිට පළාත්වලින් වාර්තා වෙන පහසුකම් සැපිරිය හැකි ආසාදිතයන්ට නිවෙස් ආශ්‍රිත ප්‍රතිකාර ලබා දේ.

සෑම රෝගියකුටම වෛද්‍ය සහාය.....

ගෘහාශ්‍රිත කොවිඩ් ප්‍රතිකාරය සඳහා විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍ය කණ්ඩායමක් මගින් විශේෂඥ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ දුරකතනය හා සම්බන්ධ වෙමින් දෛනිකව ආසාධිත පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර බලනු ලැබේ.

මෙම ක්‍රමයේදී ආසාදිතයා ප්‍රතිකාර ලබන කාලසීමාව ඇතුළත රෝග ලක්ෂණ කල් පවතින බවක් හෝ තීව්‍ර වන බවක් දක්නට ලැබේ නම් අදාල වෛද්‍ය කණ්ඩායම විසින් විශේෂඥ වෛද්‍ය උපදෙස් මත රෝගියා හැකි ඉක්මනින් රෝහල් ගත කිරීමට අදාල පියවර ගනු ඇත.

අවදානම් රෝගී ලක්ෂණ

කොවිඩ් නියුමෝනියා තත්ත්වය, ස්වසන අපහසුතාවේ වර්ධනයක්, එක දිගට ඇවිදීමට නොහැකි වීම, කතා කිරීමේ අපහසුව, පපුවේ මහන්සිය ආදී ලක්ෂණවල අඩු වැඩි වීම් ගැන සැලකිලිමත් විය යුතුයි. කොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන් ප්‍රතිශතය දැන ගැනීම සඳහා ඔක්සිජන් ප්‍රමාණය මැන බැලීමේ උපකරණයක් සෑම රෝගියකු සතුවම නොමැති අතර එය අත්‍යවශ්‍යම නොවේ. නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගියකුගේ ඔක්සිජන් ප්‍රතිශතය දුර්වල වීම, ස්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණ තීව්‍ර වනවිට ඔහු සම්බන්ධව කටයුතු කරන වෛද්‍යවරයා එය දැනගනු ඇත. දිනපතාම වෛද්‍යවරයා රෝගියාට කතා කොට වාර්තාවක් ලබා ගන්නා බැවින් රෝගියාගේ රෝග ලක්ෂණවල වෙනස් වීම් ගැන ඔවුන්ට නිසි අවබෝධයක් ඇත.

නිවෙස්ගත රෝගීන්ට උපදෙස්

හොඳ නින්දක් සේම හැකි පමණ විවේක ගන්න

හොඳින් ජලය සේම වෙනත් දියර වර්ග උණුවෙන් පානය කරන්න.

සමබර ආහාර වේලක් ලබා ගන්න.

මනාව පාලනය වී ඇති නිදන්ගත බෝ නොවන රෝගයක් ඇත්නම් එ සඳහා වෛද්‍ය නිර්දේශ යටතේ ලබා ගන්නා ඖෂධ සහ ප්‍රතිකාර නිසිකලට නිවැරැදි අයුරින් ලබා ගනිමින් තව දුරටත් රෝග පාලනය සිදු කරන්න.

කිසිදු අවස්ථාවක නිදන්ගත රෝග සඳහා ලබා ගන්නා ඖෂධ තමාට කොවිඩ් ආසාදනය වී ඇතැයි දැනගත් පමණින් නතර නොකොට රෝහල් ගත වන තෙක්ම භාවිත කරන්න.

​ආවතේවකරුගේ ආරක්ෂාව

රෝගියාගේ ආවතේව කරන පුද්ගලයාද පිළිපැදිය යුතු සෞඛ්‍ය නීති ඇත. නිවැරැදිව මුව ආවරණ පැළඳීම, රෝගියාගේ කාර්යය කිරීමට පෙර සහ පසුව හොඳින් දෑත් පිරිසුදු කිරීම, රෝගියා සමග කටයුතු කිරමේදී දුරස්ථභාවය රැක ගැනීම ආදිය සිදු කළ යුතුයි.

ප්‍රතිකාර අවසන් කිරීම

තමන්ට කොවිඩ් ආසාදිත බව තහවුරු කළ පරීක්ෂණය සිදු කර දින 14ක් ගත වූ පසුත් රෝගියා වෙතින් කිසිඳු රෝග ලක්ෂණයක් නොමැති නම් එදින සිට ගෘහාශ්‍රිත ප්‍රතිකාර කාලය අවසන් වේ.

රෝහල් ගතව ප්‍රතිකාර ලැබූවකුට නම් දින 10ක් ගතවූ පසු රෝහල් නේවාසික ප්‍රතිකාර අවසන් කර නිවසට පැමිණිය හැකි අතර තව දින 04ක් නිවසේ නිරෝධායනය විය යුතු වේ.

ආශ්‍රිතයන්ගේ නිරෝධායන කාල සීමාව.....

රෝගියා නිවෙස්ගත ප්‍රතිකාරය ලබන කාල සීමාව ඇතුළත පවුලේ වෙනත් කෙනකු රෝගියාට සැලකිය යුතු අන්දමින් නිරාවරණය වූවා නම් හෝ තමන්ටත් කොවිඩ් වැළදී ඇතැයි යන්න සැක සහිත නම් : පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල නෙගටිව් වුවද හෙතෙමද පළමු පෙළ ආශ්‍රිතයකු වන බැවින් දින 14ක් නිරෝධායනය විය යුතු වේ.

- සටහන- මාධවී ධර්මරත්න