දේශපාලන පක්ෂ, සිවිල් හා වෘත්තිකයන්ගේ සංවිධාන රැසකින් ඒකාබද්ධ වූ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකය. ජනාධිපතිවරණයට තවත් දින පහකි. ජාතික ජනබලවේගයේ අධ්‍යාපන, සෞඛ්‍ය හා ආරක්ෂක ප්‍රතිපත්ති, ණය නැවත ගෙවන හැටි, ජනාධිපති .වරප්‍රසාදවලට වෙන දේ, රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු, දෙමළ දේශපාලන නියෝජිත සහාය, අගමැති කවුද, විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවාද හා ජනපති අපේක්ෂක විවාදය යන්න ගැන ඔහු සමඟ කළ දේශපාලන සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය:- ජාතික ජනබලවේගය පවසන්නේ තමන්ගේ ආණ්ඩුවක වැඩිම පිරිවැය අධ්‍යාපනයට කියලයි. ඔබට මේ ගැන පැහැදිලි කළ හැකි ද?

පිළිතුර:- අපේ රට ගොඩනැගීම සඳහා දියුණු මානව සම්පතක් ගොඩනැගිය යුතුයි. එහිදී වැදගත්ම ක්‍ෂේත්‍ර දෙකක් වන්නේ අධ්‍යාපනය හා සෞඛ්‍යයයි. අධ්‍යාපනය යනු අපේ සංවර්ධනයේ උපායමාර්ගයයි. සාමාන්‍යයෙන් පාසලේ පළමු වසරට දරුවන් තුන්ලක්ෂ තිස්දහසක් පමණ ඇතුළත් වෙනවා. ඒ කිසිදු දරුවෙකු අධ්‍යාපන දොරටුවෙන් අත්හැරලා යන්න දෙන්නේ නෑ. ඒ හැම දරුවෙකුම උපාධිධාරියෙක්, ඩිප්ලෝමාධාරියෙක්, නිපුණතාවයක් සහිත කෙනෙකු බවට අධ්‍යාපන දොරටුවෙන් පිටත් කර හැරීම අපේ වගකීමයි. ඒ වගකීම අපි බාරගන්නවා. මේ වනවිට පාසල් අතර විශාල පරතරයක් නිර්මාණය වී තිබෙනවා. 2017 වසරේ එක දරුවකුවත් ඇතුළත් නොවූ පාසල් 433ක් තිබෙනවා. එක දරුවකු ඇතුළත් වූ පාසල් 137ක් වෙද්දී දරුවන් දෙදෙනකු පමණක් ඇතුළත් වූ පාසල් 138ක් තිබෙනවා. ඒ අතරේ පාසල් 36කට ඉල්ලුම් පත්‍ර ලක්ෂයක් එනවා. සෑම දරුවකුටම කිලෝමීටර් හතරක දුරක් තමයි උපරිම ලෙස තමන්ගෙ පාසල වෙත යා යුතු වන්නේ. ඒ අනුව පාසල් පද්ධතිය යළි ස්ථානගත කිරීමට අපි කටයුතු කරනවා. ඒ වගේම ගුරු වෘත්තිය අපේ රටේ ප්‍රධානතම වෘත්තිය දහයෙන් එකක් බවට පත් කරනවා. අද අධ්‍යාපනය කියල තිබෙන්නේ පහේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ කේන්ද්‍ර කරගත් එකක්. ඒ විභාග කේන්ද්‍ර කරගත් අධ්‍යාපන රටාව අපි වෙනස් කරනවා. යළි පාසල වෙත අපි අධ්‍යාපනය කැටුව එනවා. පෙර පාසල් අධ්‍යාපනය රජයේ වගකීමක් බවට පරිවර්තනය කරනවා. අපේ ආණ්ඩුවක වැඩිම වැය බර හා වගකීම යොදන්නේ අධ්‍යාපනයටයි. ඉටුකරන්න බැරි පොරොන්දු අපි දෙන්නේ නෑ.

ප්‍රශ්නය:- සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැනත් කිව්වොත්?

පිළිතුර:- සෞඛ්‍ය සේවය පිහිටුවා තිබෙන්නේම රෝගීන් වෙනුවෙන්. එහෙත් සෞඛ්‍ය සේවයේ අයිතීන් පිළිබඳ වැඩිම සටන් තිබෙන්නේ කාර්යමණ්ඩලය පැත්තෙන්. මා එය ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. එහෙත් අප පළමු කොටම කරන්නේ රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රඥප්තියක් හඳුන්වාදීමයි.

ප්‍රශ්නය:- ජාතික ආරක්ෂාව ගැන වූ සමාජ සාකච්ඡාව විශාල වශයෙන් ඉස්මතු වූ තත්ත්වයක් දැන් තිබෙන්නේ. ජාතික ආරක්ෂාව දැන් තහවුරුද? නැද්ද? නැත්නම් ජා.ජ.බලවේගය යෝජනාව මොකද්ද?

පිළිතුර:- රටකට ආරක්ෂාව එල්ල විය හැකි ආකාර දෙකක් තිබෙනවා. එකක් විදේශීය ආක්‍රමණයක්. අනෙක අභ්‍යන්තර ගැටුමක්. අප හමුවේ තිබෙන්නේ අභ්‍යන්තර ගැටුමක්. එල්.ටී.ටී.ඊ. සංවිධානයට අභ්‍යන්තර ගැටුමක් තිබිය දී බර අවි තිබුණා. ක්‍රමානුකූලව පෙළගස්වන ලද හමුදා යාන්ත්‍රණයක් තිබුණා. ඔවුන්ගේ පාලන පෙදෙස් තිබුණා. සුළුවට හෝ මුහුදු හා ගුවන් බලයක් සමග සංවිධිත ත්‍රස්ත ව්‍යාපාරයක් බවට පත් වී තිබුණා. ඒ යුද්ධයයි අද අපි අතර තිබෙන ගැටුම් අතර වෙනසක් තිබෙනවා. එවැනි සිවිල් යුද්ධයක් සඳහා අපට ජනරාල්ලා අවශ්‍ය වෙනවා. එහෙත් අද තිබෙන්නේ එක් ජන කොට්ඨාසයක් අතර ගොඩනැගුණු අන්තවාදයකින් අනෙක් ජන කොට්ඨාසය ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරාවිද කියන සැකයයි. අපේ අභිප්‍රාය වන්නේ අන්තවාදය පෝෂණය කරන මේ මූලය පරාජයට පත්කිරීමයි. ඒ සඳහා කරුණු තුනක් තිබෙනවා. ආගම්වාදය හා ජාතිවාදය වපුරන්නේ දේශපාලන ව්‍යාපාරයි. එනිසා අපි ජාතිවාදය අන්තවාදය අපේ දේශපාලන න්‍යායපත්‍රයට කිසිසේත් ඇතුළත් කරගන්නේ නෑ. දෙක මේ අන්තවාදය පරාජයට පත්කිරීමට එම ජනතාවට විශාල කාර්යභාරයක් තිබෙනවා. තුන්වනුව ගත්විට සිවිල් සමාජය සමඟ සිටින්නේ පොලිසියයි. එවැනි අන්තවාදී කණ්ඩායම් පැන නගින ඕනෑම වේලාවක ඊට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා පොලිසියට ඉඩකඩ සැලැසිය යුතුයි. ඒ සඳහා බලය ප්‍රමාණවත් නැත්නම් නීති සකස්කරන්නට අපි සූදානම්. අපේ අභිප්‍රාය මිලිටරිමය ආරක්ෂාවකට වඩා මේ අන්තවාදය පරාජය කිරීමයි. එනිසා මේ ගැටුමට ජෙනරාල්ලා අවශ්‍ය නෑ. ජනරාල්ලා මේ ගැටුමට කැඳවීම ජනරාල්ලාටත් කරන අපහාසයක්.

ප්‍රශ්නය:- ණය ගෙවීම සම්බන්ධයෙන් ප්‍රධාන අපේක්ෂකයන්ගේ අවධානය යොමුවීම අවම යැයි ඇතැම් ආර්ථික විද්‍යාඥයන් පවසා තිබුණා. ජා.ජ.බ. උපායමාර්ගය කුමක් ද?

පිළිතුර:- මේ ණය උගුලෙන් නිදහස් වෙන්න අපි ජාතික ණය කළමනාකරණ සැලැස්මක් සකස් කරනවා. අපට ණය බරක් අපරාධයක් වුණේ ණයවලින් අවශ්‍ය වත්කම් නිර්මාණය නොවීමෙන්. අපට මේ අර්බුදයෙන් ගොඩඑන්න නැවත ණය ගත යුතුයි. කුමක් වෙනුවෙන් ද? අපට අවශ්‍ය වන ප්‍රාග්ධන හා තාක්ෂණ අවශ්‍යතාව කැඳවාගැනීම වෙනුවෙන්. ඵලදායිතාව සහිත ආයෝජනයන්හි යෙදවීමෙන් ආර්ථික ප්‍රතිලාභ ලබා පරණ ණයත් අලුත් ණයත් ගෙවා ක්‍රමානුකූලව මේ අර්බුදයෙන් ගොඩඑන්නට අපට පුළුවන්. ණය අර්බුදයට ඊළඟ හේතුව නම් අධික පොලී අනුපාතිකයකට වාණිජ වෙළෙඳපොලෙන් ණය ගැනීමයි. ඒ වෙනුවට විධිමත් ආයතන හරහා අඩු පොලී අනුපාතයකට ණය ගැනීමකට අපි වැඩි අවධානය යොමුකරනවා.  

ප්‍රශ්නය:- පාර්ලිමේන්තු වරප්‍රසාද ජනාධිපති මන්දිර සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ අදහස රැඩිකල් ප්‍රවේශයක්. ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?

පිළිතුර:- අද ලංකාවේ වැඩිම වරප්‍රසාදලත් වෘත්තිය බවට දේශපාලනය පත්වී තිබෙනවා. අන්න ඒ නිසා තමයි මහජන ධනය, මහජන බදු මුදල් වියදම් කරමින් විශාල වරප්‍රසාද ලත් පෙලැන්තියක් බිහිවී තිබෙන්නේ. මේ රට ගොඩනගන්න නම් දේශපාලනය වරප්‍රසාද ලත් වෘතියෙන් මුදාලන්න ඕනෑ. එහිදී පළමුකොටම දේශපාලකයා නීතියට යටත් කරන්න ඕනෑ. අපේ රටේ දේශපාලකයන් නීතියට උඩින් ඉන්නේ. විවිධ වරදාන දෙමින්, කාර් පර්මිට්, අවුරුදු පහකින් පෙන්ෂන් ලබාදෙන මේ ක්‍රමය අහෝසි කරන්න ඕනෑ. සමහර ඇමැතිවරුන්ගේ ලයිට් බිල රුපියල් ලක්ෂ විසි එකට ආවා. ඒවා නැතිකරලම දාන්න ඕනෑ. රට වටේ තිබෙන ජනාධිපති මන්දිර සංස්කෘතික හා සංචාරක මධ්‍යස්ථාන බවට පත්කරන්න ඕනෑ. ඒ වගේම හිටපු ජනාධිපතිවරු ආණ්ඩුවේ සල්ලිවලින් නඩත්තු කිරීම නතර කරන්න ඕනෑ. ඉතින් දේශපාලනය වරප්‍රසාද ලත් වෘත්තියක සිට මහජන සේවාවක් බවට පත්කළ යුතුයි.

ප්‍රශ්නය:- පුරවැසිභාවයේ වටිනාකම හා ජාත්‍යන්තර බලවතුන්ගේ මැදිහත්වීම ගැන මෙම ජනාධිපතිවරණයේ වැඩි වශයෙන් සාකච්ඡා වෙනවා. ජාතික ජනබලවේගය ඇමෙරිකාව, ඉන්දියාව හා චීනය යන බලවතුන් සමග යෝජනා කරන්නේ කවර ආකාරයේ රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවක්ද?

පිළිතුර:- අද තිබෙන්නේ අනූව දශකයට කලින් තිබුණු ලෝකය හෝ අනූව දශකයට පසුව තිබුණු ලෝකය නෙවෙයි. අද ලෝකය පුරා ආර්ථිකමය හා යුදමය ලෙස වෙළෙඳ ආධිපත්‍ය සහිත විවිධ බලකඳවුරු නිර්මාණය වී තිබෙනවා. ලංකාව වැනි පරිධියේ පිහිටි රාජ්‍යක් කිසිදු බලකඳවුරකට නැති විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි.

ප්‍රශ්නය:- දෙමළ ජාතික සන්ධානය සිය සහාය එක් අපේක්ෂකයකු වෙත ලබාදෙන බව කෙළින්ම කිව්වා. ජවිපෙ හැටියට දෙමළ ජාතික සන්ධානය සමග සහයෝගී දේශපාලනයකට කළ සාකච්ඡාවක් තිබුණා. ඇයි ජා.ජ.බ.ට බැරි දෙමළ ජන නියෝජිතයන්ගේ විශ්වාසය දිනාගන්න?

පිළිතුර:- මැතිවරණයක දී දායකත්වය ගැනීම කියන්නේ දීර්ඝ ගමනක් හා බැඳුණු දෙයක්. අපි විවිධ ක්‍රියාකාරකම්වලදීත් එක්ව සංවාදයක නියැලුණත් මැතිවරණයේ දී සහාය ගන්න සඳහා වූ සාකච්ඡාවක නිරත වුණේ නෑ. ඒ වගේම ඔවුන් මුහුණ දෙන කෙටිකාලීන අභියෝග ගැන ඔවුන් කල්පනා කරනවා. ඒ කෙටිකාලීන අභියෝග ජයගැනීමට කෙටිකාලීන ආණ්ඩුවක් හදාගන්න ඕනෑ කියන අභිප්‍රාය ඔවුන්ට ඇති. අපි ඔවුන් සමග ඉතාම ගැඹුරු ශක්තිමත් දේශපාලන සංවාදයක යෙදුණත් අපි මැතිවරණ පෙරමුණක් හැටියට එකට තරග වදිනවාදැයි එකඟතාවයකට ඇවිත් තිබුණේ නෑ.
ප්‍රශ්නය:- අනුර කුමාර දිසානායකට දෙන ඡන්දයක් කියන්නේ ගෝඨාභය රාජපක්ෂට දෙන ඡන්දයක් යැයි කතාවක් නිර්මාණය වී තිබෙනවා. රාජපක්ෂ විරෝධී මෙන්ම ජ.වි.පෙ හිතෛශී කඳවුර නියෝජනය කළ පිරිස් පවා මේ තර්කය ගේන ආකාරය දකින්න පුළුවන්. වාමාංශික අර්ථයෙන් ප්‍රධාන ප්‍රතිවිරෝධය ගෝඨාභය කියා සිතන්නැයි ඔවුන් ජා.ජ. බලවේගයට කරන ආරාධනය පිළිගන්නවද?

ප්‍රශ්නය:- අනුර කුමාර දිසානායකට දෙන ඡන්දයක් කියන්නේ ගෝඨාභය රාජපක්ෂට දෙන ඡන්දයක් යැයි කතාවක් නිර්මාණය වී තිබෙනවා. රාජපක්ෂ විරෝධී මෙන්ම ජ.වි.පෙ හිතෛශී කඳවුර නියෝජනය කළ පිරිස් පවා මේ තර්කය ගේන ආකාරය දකින්න පුළුවන්. වාමාංශික අර්ථයෙන් ප්‍රධාන ප්‍රතිවිරෝධය ගෝඨාභය කියා සිතන්නැයි ඔවුන් ජා.ජ. බලවේගයට කරන ආරාධනය පිළිගන්නවද?

පිළිතුර:- ඒ තරම් මුග්ධ ක්‍රියාවක් තවත් නෑ. මේ රටේ හැට දෙලක්ෂයකට අධික ජනතාවක් ඡන්දය දීලා රාජපක්ෂලාව 2015 පරාද කළා. අපි ඒ අයගෙන් අහන්නේ 2015 පරාජය කළේ අප්පුහාමිලා ද කියලයි. පරාද කළ රාජපක්ෂලාට යළිත් ඔක්සිජන් දීලා නැගිට්ටවලා ගත්තේ මේ තක්කඩි ආණ්ඩුව. ගෝඨාභය සිය ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයා බවට පත්කරගැනීම මේ ආණ්ඩුවේ උපක්‍රමයක් බවට පත් වී තිබුණා. ගෝඨාභය තමන්ගේ ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයාගේ වුණොත් විතරයි මේ හොරකම්, අසාර්ථකකම්, ණය උගුල්, අපරාධ ආදී සියල්ල ගෝඨාභය කියන සළුවෙන් වැසිය හැක්කේ. ගෝඨාභයව අපේක්ෂකයෙක් කළේ ඒ මුග්ධ වුවමනාව වෙනුවෙන්. ගෑස් සමාගම්වලින් ලොතරැයි බෝඩ් එකෙන් පඩි ගත්ත අයට යම් පුද්ගලික බියක් ඇතිවීමත් සාධාරණයි.

ප්‍රශ්නය:- සජිත් ප්‍රේමදාස හා ගෝඨාභය රාජපක්ෂ තමන් හදන ආණ්ඩුවක අගමැති ගැන කියනවා. ජාතික ජනබලවේගයේ අපේක්ෂකයාටත් එවැනි අදහස් දැක්වීමක් කළ හැකි ද?

පිළිතුර:- පළමුකොටම ගත්තොත් අපට පාර්ලිමේන්තුවේ ඉන්නේ හය දෙනයි. ජනාධිපති වෙලා මේ හය දෙනෙකුගෙන් අගමැති පත්කරනවාය කියන එක මනෝරාජික අදහසක්. ජනාධිපතිවරණයක් සහ පාර්ලිමේන්තු මැතිවරණයක් අතර කුඩා සංක්‍රාන්ති කාලයක් තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ලැබෙන පළමු අවස්ථාවේම අපි පාර්ලිමේන්තුව විසුරුවනවා. අන්න ඒ පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්නා අපේ නියෝජිතයන්ගෙන් කෙනෙකුව අපි අගමැති ධුරයට පත්කරනවා.

ප්‍රශ්නය:- ජවිපෙ 20 වැනි සංශෝධනයක් ගෙනාවේ ජනාධිපති ධුරය අහෝසි කිරීමටයි. එතකොට ඔබ ජයගතහොත් එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැගෙනවාද?

පිළිතුර:- අපේ තිබෙන සම්ප්‍රදාය නම් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන කෙනාම බොහෝදුරට මහ මැතිවරණය ජයගැනීමයි. එතකොට විධායකයත් ව්‍යවස්ථාදායකයත් එකට පෙළගැසුණු පාලන ක්‍රමයේ වෙනසක් ඇතිවෙනවා. අන්න ඒ නව පාලනයක ආර්ථිකය සංවර්ධනය පිළිබඳව, වංචා දූෂණය නැති කිරීම පිළිබඳව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා නව වැඩසටහනක් තිබෙනවා. අන්න ඒ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස අපි විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා.

ප්‍රශ්නය:- මැතිවරණ ප්‍රචාරණයේ දී සති දෙකක කාලයක දී ජනාධිපති අපේක්ෂකයන් කෝටි 100ක් වැය කර ඇති බවට අවම ඇස්තමේන්තුවක් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වාර්තාවක් පළ කළා. මැතිවරණ වියදම් පාලනය සඳහා සකස් කළ පනත් කෙටුම්පත මේ වනවිට තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ. මෙය නීතියක් කිරීම සඳහා දේශපාලන පක්ෂවල සහාය ප්‍රමාණවත් නැතැයි ඔවුන් චෝදනා කරනවා. ප්‍රචාරණ වියදම් නීතියෙන් පාලනය කළ යුතු ද?

පිළිතුර:- මුදල් බලය, මාධ්‍ය බලය, රාජ්‍ය බලය මැතිවරණ ප්‍රතිඵලයකට යම් තීරණාත්මක බලපෑමක් කරන බව ඇත්ත. ඒ වගේම මුදල් පරිහරණය, යෙදවීම ගැන පාලනයක් හැදෙන එකත් වැදගත්. ඒත් මේ මුදල් යොදන්නේ කවුදැයි පරීක්ෂා කිරීමට බලයක් තිබීම ඊට වඩා වැදගත්. ඔය මුදල් යොදන බොහෝ අයට තිබෙන්නේ කළු ආර්ථිකයක්. දැනට ඉදිරිපත් කර තිබෙන ඔය වාර්තා අනුව අපි ඔය අපේක්ෂකයන් දෙදෙනාටම තමන්ගෙ ගනුදෙනු නිශ්චිත බැංකු ගිණුමක් හරහා වුණාදැයි රටට කියන්න කියලා අභියෝග කරනවා. අපේ පක්ෂයේ ගිණුම හරහා වියදම් කළ මුදල් පෙන්වන්න අපි ලෑස්තියි.

ප්‍රශ්නය:- ප්‍රතිපත්තිමය කාරණා ගැන විවාදයකට එන්නැයි ඔබ ප්‍රධාන අපේක්ෂකයන්ට විවෘත ආරාධනාවක් කළා. ජනාධිපතිවරණයට තව දින පහයි. ඒ අභියෝගය තවමත් වලංගු ද?

පිළිතුර:- තවමත් වලංගුයි. හැබැයි මා දන්නා මේ අපේක්ෂකයන් දෙදෙනාම මේ අභියෝගය බාරනොගන්නා බව මම දන්නවා. ඇත්තටම මට තව යෝජනාවක් තිබෙනවා. මාත් එක්ක නම් බැරි ස්වාධීන මාධ්‍යවේදියකු සමග සජීවී විවාදයක් කර පෙන්වන්නැයි මම ඔවුන්ට කියනවා. ඒ කියන්නේ හැබැයි නාට්‍ය හා රංග කලාව ප්‍රගුණ කළ ප්‍රෝග්‍රෑම් නෙවෙයි. ඒ වගේම තමන් සහභාගි වන රැස්වීමක දී තමන්ගෙන් ප්‍රශ්න ඇසීමට සාමාන්‍ය ජනතාවට පැයක අවස්ථාවක් දෙන්න. මම හිතන්නේ නම් නෑ. මොකද මේ අය දැක්මක් නැති කවුරු හරි ලියලා දුන් දෙයක් ඔහේ කියවන අපේක්ෂකයන් බව ජනතාව දැන් හොඳින්ම දන්නවා.

ප්‍රශ්නය:- අවසාන වශයෙන් ජනතාවට ඔබ දෙන පණිවුඩය මොකද්ද?

පිළිතුර:- සාමාන්‍යයෙන් ජනතාව මැතිවරණයක දී ජයග්‍රහණය කළ හැකි යැයි යන උපකල්පන මත දෝලනය වෙනවා. හැබැයි ඒ ප්‍රවණතාවයෙන් අපේක්ෂකයා දිනනවා. ජනතාව පරදිනවා. එනිසා ජනතාවට සැබෑවටම ජයගැනීමට වුවමනාවක් තිබේ නම් නොවැම්බර් 16 වැනිදා මාළිමාවට කතිරය ගසන්න.

සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ
ඡායාරූප - ලහිරු හර්ෂණ සහ ජයමාල් චන්ද්‍රසිරි