ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන CIC Holdings” ජාතික හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ සිය නිල පෝෂණ හා සුවතා සහකරු ලෙස කටයුතු කිරීම සඳහා නිල වශයෙන් අත්වැල් බැඳගෙන තිබේ. මෙම සහයෝගීතාවේ ප්‍රධාන අරමුණ වන්නේ 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින්, ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු ඔලිම්පික් රන් පදක්කම මව්බිමට දිනා දීම සඳහා වන ඔහුගේ දැඩි කැපවීමට සහ ගමනට පූර්ණ ශක්තියක් සැපයීමයි.

මෙය හුදෙක් ක්‍රීඩා අනුග්‍රාහකත්වයකට පමණක් සීමා නොවූ, සුවිශේෂී හවුල්කාරීත්වයකි. ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළම තලයේ ජයග්‍රහණ අත්කර ගැනීම වෙනුවෙන් රුමේෂ් හට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන දැඩි පුහුණුවීම්, විනය සහ අභියෝගාත්මක කාලසීමාව පුරාවටම ඔහුට ශක්තියක් වීමට CIC පෙරදැරිව සිටී. ඒ අනුව, නිල පෝෂණ හා සුවතා සහකරු ලෙස, 2028 ඔලිම්පික් උළෙලේදී රුමේෂ් හට ශක්තියක් වෙමින් සහ මුළු මහත් ජාතියේම සිහිනය සැබෑ කරවීමට ඔහුගේ පෝෂණය මෙන්ම සමස්ත යහපැවැත්ම වෙනුවෙන් CIC සිය දායකත්වය ලබා දීමට නියමිතය. 

2026 තරග වාරය ඉතා සාර්ථකව අරඹමින් රුමේෂ් තරංග ලොව විශිෂ්ටතම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන් අතරට එක්වීමට සමත්ව ඇත. රෝමයේදී මීටර් 92.62ක දුරක වාර්තාගත හෙල්ලය විසි කිරීමක් සනිටුහන් කරමින් නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වූ ඔහු, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම මෙන්ම ශ්‍රී ලංකාවට හිමිවූ පළමු ඩයමන්ඩ් ලීග් ශූරතාව ද රටට දිනා දුන්නේය. පසුගියදා බුඩාපෙස්ට් නුවරදී පැවති සමාරම්භක ලෝක මළල ක්‍රීඩා Ultimate ශූරතාවලියේදී අවසන් වටයේදී මීටර් 91.09ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගත් ඔහු, ලොව අංක 1 හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා ලෙස තම ස්ථානය තවදුරටත් තහවුරු කර ගත්තේය. මීට අමතරව පසුගියදා ජපානයේ පැවති 2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 88.55ක කැපී පෙනෙන දුරක් හෙල්ලය විසි කරමින් රුමේෂ් රන් පදක්කම තමන් සතු කර ගත්තේය. මෙය ආසියානු ක්‍රීඩා උළෙලක පිටියේ ඉසව්වකදී ශ්‍රී ලාංකිකයකු විසින් දිනාගත් පළමු රන් පදක්කම ලෙස ඉතිහාසයට එක් විය. 

වසර හැටකට අධික කාලයක සිට CIC කෘෂි, සුව සේවා හා සුවතාව මෙන්ම පෞද්ගලික සත්කාර සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ශ්‍රී ලාංකික ජන ජීවිත සමග සමීපව කටයුතු කර තිබේ. දේශීය ජන ජීවිත නංවාලීම වෙනුවෙන් සමාගම ඉටුකරන මෙම දිගුකාලීන කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යමින්, සමස්ත ජාතියටම ගෞරවයක් දිනා දීම වෙනුවෙන් කැපවී සිටින ක්‍රීඩකයකුගේ ඓතිහාසික ගමනට ශක්තියක් වීමට CIC මෙලෙස එක්ව සිටී.