
- චීනය සහ ශ්රී ලංකාව අතර මූල්ය සබඳතා තවදුරටත් පහසු කිරීම අරමුණයි
- මෙමගින් විනිමය පරිවර්තන පිරිවැය සහ විනිමය අනුපාත වෙනස්වීම් නිසා ඇතිවන අවදානම් අඩු කළ හැකියි
ශ්රී ලංකාව සහ චීනය අතර මූල්ය සබඳතා පහසු කරමින් සහ දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්රී ලංකාවේ “චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව (RMB Clearing Bank) නිල වශයෙන් විවෘත කිරීම පසුගියදා කොළඹදී සිදුවිය.
චීනයේ මහජන බැංකුව (People’s Bank of China) විසින් බලය පවරන ලද චීන බැංකුවේ (Bank of China) කොළඹ ශාඛාව මෙම පියවීම් බැංකුව ලෙස කටයුතු කරයි.
ඒ අනුව, ශ්රී ලංකාවේ බැංකු පද්ධතිය සහ චීනයේ මූල්ය පද්ධතිය අතර ඍජු සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරමින් චීන යුවාන් මුදලින් සිදු කරන දේශසීමා හරහා ගෙවීම් සහ දේශීය බැංකු අතර ගනුදෙනු වඩාත් පහසු කර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙන බව පැවසෙයි.
මෙම පහසුකම ආරම්භ කිරීමේ ප්රධානතම වැදගත්කම වන්නේ චීනය සමග සිදු කරන වෙළෙඳ ගනුදෙනුවලදී ශ්රී ලංකා රුපියල් ඇමෙරිකානු ඩොලර් බවටත්, අනතුරුව චීන යුවාන් බවටත් පරිවර්තනය කිරීමේ අවශ්යතාව අවම කර ගැනීමට හැකි වීමයි.
ඒ වෙනුවට සුදුසු ගනුදෙනු ඍජුවම යුවාන් මුදලින් පියවීමේ හැකියාව ලැබීමෙන් විනිමය පරිවර්තන පිරිවැය සහ විනිමය අනුපාත වෙනස්වීම් හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් අඩු කර ගැනීමට හැකිවනු ඇත.
මීට අමතරව, මෙතෙක් ශ්රී ලංකාවේ බැංකු අතර යුවාන් ගනුදෙනු කිරීමේදී චීනයේ බැංකු හරහා ගෙවීම් යොමු කිරීමට සිදුවීම නිසා ඇතිවිය හැකි අමතර අතරමැදි ක්රියාවලි සහ කාලය වැයවීම අවම කිරීමට ද මෙම නව පහසුකම උපකාරී වේ. ඒ අනුව, ගෙවීම් පියවීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, ගනුදෙනු පිරිවැය අඩු කිරීමටත්, ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට වඩාත් පහසු මූල්ය සේවා ලබා ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇත.
මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම අවස්ථාව සඳහා ශ්රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියාන් (Wei Huaxiang), චීන බැංකුවේ උප සභාපති සහ ප්රධාන විධායක අධ්යක්ෂ Zhang Hui, ශ්රී ලංකා මහ බැංකුවේ නියෝජ්ය අධිපති කේ.ජී.පී. සිරිකුමාර යන මහත්වරුන් ඇතුළුව චීන සහ ශ්රී ලංකා ව්යාපාරික ප්රජාව නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිට ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd