- රට මුහුණ දෙන විදේශ විනිමය අර්බුදය මූලිකම හේතුව බවට අදහසක්
- ඩොලර් ආදායම්වලට වඩා ඩොලර් වියදම් ඉහළ යාම විනිමය අර්බුදයට බලපාලා
- වසර දෙකක ඩො.බි. 2.9ක IMF වැඩසටහනෙන් ඉතිරිව ඇත්තේ ඩො.මි 500 යි
- ADB ඉදිරිපත් කළ අලුත්ම ඩොලර් බිලියන 4ක ණය පහසුකමට අයැදුම් කළ රටවල් 15 අතර ශ්‍රී ලංකාවත්
භානුක අමරසිංහ
ශ්‍රී ලංකාව යළිත් වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය පැතීමේ අවස්ථාවක් බොහෝ දුරට උදා වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් විදේශ විනිමය අර්බුදයත් සමගින්ම රජය මෙම පියවර ගනු ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව 18 වැනි වරටත් IMF හා එකඟතාවකට පිවිසීමේ අවස්ථාවක් දැකගත හැකි වනු ඇති බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.
මේ අතර එම අරමුදලේ නියෝජිත පිරිසක් මෙම සතියේදී මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර, දැනට ශ්‍රී ලංකාව සහ එම අරමුදල අතර වසර දෙකක් සඳහා වන එක්සත් ජනපද ඩොලර් මිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමට (EFF) අදාළ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ එහි ඉදිරිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම අරමුණ වී තිබේ.
2023 වසරේදී අත්සන් කළ මෙම ණය මුදලින් දැනටමත් ශ්‍රී ලංකාව වෙත වාරික හයකදී ඩොලර් මිලියන 2.4 කට ආසන්න මුදලක් හිමිව තිබේ. ඒ අනුව තවත් ලැබීමට ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 500ක පමණ මුදලක් වන අතර, එම ණය පහසුකමට අදාළ කාලසීමාවද අවසන්වීමට නියමිතව තිබේ.
“මෙම විස්තීරණ ණය පහසුකමට අදාළව පැවැති කොන්දේසි යටතේ රජය සිය රුපියල් ආදායම් වැඩි කරගැනීමට සහ වියදම් අඩු කිරීමට සමත්ව තිබුණත්, ඩොලර් ආදායම් අඩු වී, ඩොලර් වියදම් වැඩි වී තිබෙනවා. මැදපෙරදිග යුද ගැටුම් නිසා ඇති වූ තත්වයත් සමගින් සංචාරක ආදායම් කැපී පෙනෙන ලෙස අඩුවී තිබෙනවා.
ඒ වගේම ප්‍රේෂණ ආදායම් අඩු නොවුණත් දිට්වා සුළි කුණාටුව නිසා ලැබෙන විදේශ ආධාරත් ඊට ඇතුළත්. මැදපෙරදිග යුද ගැටුම් නිසා ඉන්ධන මිල ඉහළ යෑම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමණය විම නිසා ඉන්ධන ඇතුළු ආනයන වියදම් ඉහළ ගිහින්.
අපනයනයෙන් වුණත් ප්‍රමාණවත් ඩොලර් ආදායමක් ලැබිලා නැහැ. ඒ නිසා විදේශ මුදල් සංචිතය තවමත් අඩු අගයක තිබෙන්නේ. මේ අතරතුරදීම ශ්‍රී ලංකාවට විදෙස් ණය ආපසු ගෙවීමටත් සිදු වේවි.“ ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති.
මෙම තත්වයත් සමගින්ම ඉදිරි විදේශ විනිමය අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මෙලෙස ශ්‍රී ලංකාව යළිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් සාකච්ඡාව පවත්වනු ඇති බවත්, එහි මුල පිරීමක් මෙම සතියේ සිදු කරන එම අරමුදලේ නියෝජිත පිරිසගේ සංචාරය අතරතුරදී සිදුවීමට බොහෝ දුරට ඉඩක් පවතින බවත් මෙම පිරිස් පවසා සිටිති.
“ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු අවසන් ඒකාබද්ධ වාරික දෙකෙන් ඩොලර් මිලියන 700ක් ලැබුණා. ඒ වගේම තවත් ඩොලර් මිලියන 200ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් බලාපොරොත්තුව සිටිනවා. ඒ අනුව වසර තුළ ඩොලර් මිලියන 900ක මුදලක් හිමි කරගැනීම රජයේ අරමුණ වී තිබුණා .ඒත් පවතින තත්ත්වයත් සමගින් එය ප්‍රමාණවත් නැහැ.“
මේ අතර මැදපෙරදිග යුද ගැටුම් නිසා ආසියානු කලාපය වෙත හට ගෙන ඇති බලපෑම මගහැරවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් පසුගියදා යෝජනා කළ එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක කඩිනම් මූල්‍ය පහසුකම සඳහා අයැදුම් කළ රටවල් 15 අතරද ශ්‍රී ලංකාව සිටින බව එම බැංකුව පවසයි. කෙසේ වෙතත් ඒ වනවිටත් ශ්‍රී ලංකාව වෙත අදාළ කරුණ සම්බන්ධයෙන් පසුගිය මාර්තුවේදී ඉල්ලා සිටි ඩොලර් මිලියන 100ක මුදලක් ලබාදීමට ඔවුන් සූදානම් බවට සහතික වී තිබූ බවත් සඳහන් කර තිබේ.
“2026 වසරේ පළමු කාර්තුවේදී සියයට 5.1 ක ආර්ථික වර්ධනයක් තිබුණත්, පවතින තත්වයත් සමගින් ඉදිරි කාර්තුවලදී එවැන්නක් බලාපොරොත්තු වෙන්න බැහැ. ලෝක බැංකුවේ පුරෝකථනය අනුව වුණත් 2026 ආර්ථික වර්ධනය සියයට 3.6 ක අගයක් ගන්නවා.
මැදපෙරදිග යුද්ධය ඊට මූලිකම හේතුවයි. සාම ගිවිසුම් අත්සන් කළත්, බොරතෙල් නැව් ආවත්, මිල අඩු වුණත්, මැදපෙරදිග යුද ගැටුම් තවදුරටත් පවතින නිසා ලෝක ආර්ථිකය යහපත් අතට හැරේවි කියන අදහසක් තවම නැහැ.“ ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd