• ජනවාරි - අගෝස්තු තේ අපනයනය කිලෝ මිලියන 166.32ක් 
  • ක්ෂණික තේ හැර අනෙක් සියලු‍ම වර්ග අපනයනය පහළට 

මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගත වූ මුල් මාස අටේදී මෙරට තේ අපනයනය කිලෝ මිලියන 166.32ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 වසරේ එම කාලසීමාවේදී අපනයනය කළ තේ කිලෝ මිලියන 174.55 හා සැසඳීමේදී කිලෝ මිලියන 8.23 ක පහත වැටීමක් බව තේ වෙන්දේසි ආයතනයක් වන Forbes and Walker පවසයි. 

මෙහිදී ක්ෂණික තේ හැර අනෙක් සියලු‍ම වර්ගවල තේ අපනයනයේ කැපී පෙනෙන පහත වැටීමක් සිදුව තිබීම විශේෂත්වයකි. ඒ අනුව තේ තොග අපනයනය කිලෝ මිලියන 72.89 ක සිට 69.74 ක් දක්වා කිලෝ මිලියන 3.15 කින්ද, තේ පැකට්ටු අපනයනය කිලෝ මිලියන 78.87 ක සිට 74.20 ක් දක්වා කිලෝ මිලියන 4.67කින්ද, තේ බෑග් කිලෝ මිලියන 17.25 ක සිට 16.56ක් දක්වා 686,090කින්ද, ග්‍රීන් තේ අපනයනය කිලෝ මිලියන 3.2 ක සිට 3.0 ක් දක්වා 201,998 කින්ද පහත වැටී තිබේ. 

මුල් මාස අටේ ක්ෂණික තේ අපනයනය කිලෝ මිලියන 2.24 ක සිට 2.73ක් දක්වා 489,625කින් ඉහළ නැග තිබේ. 
මේ අතර වසරේ මුල් මාස අට තුළ වැඩිම සිලෝන් තේ ආනයනයක් සිදු කළ රට වන්නේ තුර්කියයි. එරට තේ ආනයනය කිලෝ මිලියන 30.42ක් ලෙස සටහන්ව ඇති අතර, එය පසුගිය වසරේ මුල් මාස අටේ වාර්තා වූ කිලෝ මිලියන 12.49 හා සැසඳීමේදී සියයට 143 ක වර්ධනයකි. 

කිලෝ මිලියන 16.42 ක් සමගින් ඉරාකය දෙවැනි තැන පසු වෙන අතර, එය පසුගිය වසරේ එම කාලසීමාවේ වාර්තා වූ කිලෝ මිලියන 26 හා සැසඳීමේදී සියයට 37ක පසුබැසීමකි. කිලෝ මිලියන 15.39ක ආනයනයක් සමගින් රුසියාව තෙවැනි තැන පසුවෙයි. මීට අමතරව අසර්බයිජානය, චීනය, ලිබියාව, ජෝර්දානය, සිරියාව, සෞදි අරාබිය සහ චිලිය මෙම කාලසීමාව තුළ වැඩියෙන්ම සිලෝන් තේ ආනයනය කළ රටවල් වන බවත් Forbes and Walker පවසයි.