• ඩොලර් මිලියන 506.8 ඩොලර් මිලියන 464.27ක් දක්වා අඩුවෙලා
  • එක්සත් රාජධානියෙන් ලැබුණු ඇඟලු‍ම් අපනයන ආදායම ඩොලර් මිලියන 53.6ක් දක්වාත් පහළ ගිහින් 
  • සමස්ත අපනයන ආදායම මේ වසරේ මුල් මාස අටේදී පළමු වරට ඩොලර් බිලියන 12 සීමාව ඉක්මවලා

විමුක්ති එස්. රුද්‍රිගු

ගෝලීය වෙළෙඳපොළේ ඇඟලු‍ම් සඳහා ඇති ඉල්ලු‍ම අඩුවීම සහ වෙළෙඳපොළ තත්වය වෙනස්වීම හේතුවෙන් ඉකුත් අගෝස්තු මාසයේදී මෙරට ඇඟලු‍ම් හා රෙදිපිළි අපනයන ආදායම සියයට 8.4කින් පහළ ගොස් ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසීය.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 506.8කට ආසන්නව පැවැති ඇඟලු‍ම් හා රෙදිපිළි අපනයන ආදායම මේ වසරේ අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 464.27ක් දක්වා අඩුවී තිබේ.

ඇමෙරිකාවට සහ එක්සත් රාජධානියට කරන ඇඟලු‍ම් අපනයනද මෙම තත්වය හේතුවෙන් පහළ ගොස් ඇති අතර, අගෝස්තු මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයට සිදුකළ ඇඟලු‍ම් අපනයන සියයට 15.96කින්ද, එක්සත් රාජධානියට කළ ඇඟලු‍ම් අපනයන සියයට 11.79කින්ද අඩුවී තිබේ. එම මාසයේදී ඇමෙරිකාවට කළ ඇඟලු‍ම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 177.6ක් පමණ දක්වාත්, එක්සත් රාජධානියෙන් ලැබුණු ඇඟලු‍ම් අපනයන ආදායම ඩොලර් මිලියන 53.6ක් පමණ දක්වාත් පහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ ඇඟලු‍ම් අපනයන ආදායම අඩුවීම මෙරටට පමණක් බලපෑ තත්වයක් නොවන බවත්, ගෝලීය වෙළෙඳපොළේ ඇඟලු‍ම් සඳහා තිබෙන ඉල්ලු‍ම අඩුවීම එයට හේතුව බවත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය. ලොව පුරා රටවල් මෙම තත්වයට මුහුණ දෙමින් සිටින බවද ඔහු පැවැසුවේය. පසුගිය අගෝස්තු මාසයේ අපනයන කාර්ය සාධනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

මේ අතර, මෙරට සමස්ත අපනයන ආදායම මේ වසරේ මුල් මාස අට තුළදී පළමු වරට ඇමෙරිකානු ඩොලර් බිලියන 12 සීමාව ඉක්මවා ඇති අතර, ජනවාරි සිට අගෝස්තු දක්වා වූ කාලයේදී සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12.01ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය පසුගිය වසරේ එම කාලයේ වාර්තා වූ අපනයන ආදායමට සාපේක්ෂව සියයට 4.26ක වර්ධනයක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත පෙන්වා දෙයි. මාස 8ක් සඳහා මෙරට අපනයන ආදායම ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 12 සීමාව පසුකර තිබෙන බවද එම මණ්ඩලය ප්‍රකාශ කළේය.

පසුගිය අගෝස්තු මාසයේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,601.36ක් වී ඇති අතර, එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 1.77ක වර්ධනයකි. එම මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,269.49ක් වූ අතර, සේවා අංශයේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 331.87ක් වී තිබේ.

මේ වසරේ මුල් මාස අට තුළ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9.41ක්ද, සේවා අංශයේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.60ක්ද වී තිබේ. අගෝස්තු මාසයේදී ඇඟළුම් හා රෙදිපිළිවලට අමතරව තේ සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම්ද පහළ ගොස් තිබේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 142කට ආසන්නව පැවැති අතර, මේ වසරේ අගෝස්තු මාසයේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 130.92ක් දක්වා සියයට 7.76කින් පහළ ගොස් ඇත. ශ්‍රී ලංකාවේ සමස්ත තේ අපනයනවලින් සියයට 35ක් පමණ මැදපෙරදිග කලාපයේ රටවල් නියෝජනය කරන බවත්, එම කලාපයේ ඉල්ලු‍ම අඩුවීම සහ ප්‍රවාහන වියදම් ඉහළ යාම තේ අපනයන ආදායම පහළ යාමට බලපා ඇති බවත් විජේසිංහ මහතා පැවසීය.

පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායමද පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේදී සියයට 17.28කින් අඩුවී ඇමෙරිකානු ඩොලර් මිලියන 104.27ක් වී තිබේ. කෙසේ වෙතත්, මේ වසරේ මුල් මාස අට තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 5.63කින් වර්ධනය වී ඇමෙරිකානු ඩොලර් මිලියන 830.92ක් වී තිබේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේදී දියමන්ති, මැණික් හා ස්වර්ණාභරණ, එළවළු, පලතුරු, වෙනත් අපනයන බෝග, විසිතුරු මසුන්, මල් හා ශාක පත්‍ර ඇතුළු ඇතැම් අපනයන අංශවල ආදායම්ද අඩුවී තිබේ. කෙසේ වෙතත්, රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන, සැකසූ ආහාර හා පාන වර්ග, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග ඇතුළු අපනයන අංශ කිහිපයක් අගෝස්තු මාසයේදී වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

මෙරට භාණ්ඩ අපනයනය කරන ප්‍රධාන වෙළෙඳපොළ අතර ඉන්දියාව, චීනය, තුර්කිය, බෙල්ජියම සහ මෙක්සිකෝව ඇතුළු රටවල් කිහිපයකට සිදුකරන අපනයනද වර්ධනය වී තිබේ.

මේ අතර, ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ විශාලතම තනි අපනයන වෙළෙඳපොළ වන අතර, මෙරට සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනයනවලින් සියයට 20.7ක් පමණ එරටට සිදුකරනු ලබයි.

ඇමෙරිකාවට කරන අපනයනවලින් වැඩි ප්‍රමාණයක් ඇඟලු‍ම් බවත්, එරට වෙළෙඳපොළේ ඇඟලු‍ම් සඳහා ඇති ඉල්ලු‍ම අඩුවීම ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට බලපා ඇති බවත් විජේසිංහ මහතා පැවසීය.

එමෙන්ම, එක්සත් රාජධානියට සිදුකරන අපනයනවලින් සියයට 70කට ආසන්න ප්‍රමාණයක් ඇඟලු‍ම් බවත්, එරටටද ගෝලීය ඉල්ලු‍මේ අඩුවීම බලපා ඇති බවත් ඔහු පැවසීය.