
- ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් සහිත නිෂ්පාදන අනෙකුත් ආදේශකවලින් වෙන්කර හඳුනා ගැනීම අරමුණයි
- 2025 වර්ෂයේ දී කුරුඳු අපනයෙන් ලංකාව ඩොලර් මිලියන 250 ආදායමක් උපයලා
- භූගෝලීය දර්ශකය ලබා ගැනීමෙන් 2030 වන විට ඩොලර් බිලියනයක අපනයන කර්මාන්තයක් දක්වා වර්ධනය කර ගැනීමට අපේක්ෂා
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය දශකයකට ආසන්න කාලයක් පුරා රාජ්‍ය හා පෞද්ගලික හා කුරුඳු පාර්ශ්වකරුවන් සමග කරනු ලැබූ ව්‍යාපෘතියක් සාර්ථක භාවයට පත් කරමින් ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය (NIPO) විසින් අපනයන සංවර්ධන මණ්ඩලය වෙත ලංකා කුරුඳු (Ceylon Cinnamon) සඳහා ශ්‍රී ලංකාවේ පළමු භූගෝලීය දර්ශක සහතිකය ප්රදානය කිරීම සිදු විය.
භූගෝලීය දර්ශකයක් යනු යම් නිෂ්පාදනයක් හෝ සේවාවක් භූගෝලීය ප්‍රදේශයකින් ආරම්භ වී ඉහළ ගුණාත්මභාවයකින් වෙළෙඳපොළට සැපයෙන බව හඳුනා ගන්නා ලකුණකි. මෙය ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් සඳහා යුරෝපා සංගමය තුළ ලියාපදිංචි කළ ප්‍රථම භූගෝලීය දර්ශකය වන අතර, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ භෝගයක් වන කුරුඳු සඳහා මෙය ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයකි. එසේම මුළු ශ්‍රී ලංකාවම නියෝජනය කරමින් කුරුඳු සඳහා “Ceylon Cinnamon GI” ලබා ගැනීම සුවිශාල ජයග්‍රහණයකි.
ලංකා කුරුඳු සදහා මෙම GI තත්වය ලියාපදිංචියේ අරමුණ වන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ අලෙවි කෙරෙන ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් සහිත නිෂ්පාදන අනෙකුත් ආදේශකවලින් වෙන්කර හඳුනා ගැනීමයි. මෙය ශ්‍රී ලංකාවට තරගකාරී සහ වාසිදායක ලෙස ක්‍රියා කරන අතර, එමගින් වෙළෙඳපොළ විවිධත්වය, නිෂ්පාදන ප්‍රමාණය වැඩි කිරීමට සහ පාරිභෝගිකයාගෙන් වැඩි මිලක් ලබාගැන්මට ඉඩ සැලසේ. ඊට අමතරව යුරෝපා සංගම් වැනි සුවිශේෂී වෙළෙඳපොළේ ලාංකික නිෂ්පාදන සඳහා පවතින තරගකාරී තත්වය ඉහළ නැංවීම, ශ්‍රී ලංකාව සඳහා අපනයන ඉහළ නැංවීම, අගය දාම සංවර්ධනය හරහා ඉහළ ආදායම් සහ රැකියා උත්පාදනය යන කරුණු සම්බන්ධයෙන් සාධනීය බලපෑමක් ඇති කරයි.
මෙම තත්වය ලබා ගැන්ම සඳහා ශ්‍රී ලංකාවේ යුරෝපිය සංගම් නියෝජිත කාර්යාලය, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNDO) සහ ලෝක වෙළෙඳ සංවිධානය (WTO) විසින් තාක්ෂණික සහාය ලබා දුන් අතර නෙදර්ලන්තය පදනම් කරගත් වෙළෙඳ භාණ්ඩ සඳහා වන පොදු අරමුදල විසින් මුල්‍ය ආධාර ප්රදානය කරන ලදී. තවද ජාත්‍යන්තර මූල්‍ය සමිතිය (IFC) විසින් කුරුඳු, ක්ෂ්‍රේත්‍රයේ ප්‍රවර්ධන කටයුතු සහ පුහුණු කිරීම් වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහය දක්වයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂි අපනයන භෝගයක් වන කුරුඳුවල අනන්‍යතාව යුරෝපා වෙළෙඳපොළේ තහවුරු කිරීම සඳහා ලංකා කුරුඳු භූගෝලීය දර්ශකය යුරෝපා සංගමයේ ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කළ අතර මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික පාර්ශ්වකරුවන් වන විදේශ කටයුතු අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික බුද්ධිමය දේපල කාර්යාලය, කුළු බඩු සංගමය, කුළුබඩු හා ආශ්රිත නිෂ්පාදන අලෙවි කරුවන්ගේ සංගමය යන පාර්ශ්ව සියල්ල ඒකාබද්ධව කටයුතු කරන ලදී.
GI තත්වය ලබා ගැනීමේ පියවරක් ලෙස, දිවයිනේ කුරුඳු කර්මාන්තයේ සියලුම පාර්ශවකරුවන් නියෝජනය කරමින් ලංකා කුරුඳු සඳහා වන ආරක්ෂිත භූගෝලීය දර්ශක සංගමය (ACCPGI) පිහිටුවන ලදී. ලංකා කුරුඳු භූගෝලීය දර්ශක සංගමය (CCGIA) හි වගකීම වන්නේ GI පිරිවිතර ලේඛනයේ දක්වා ඇති පිරිවිතරයන් සපුරාලීම සඳහා ඔවුන්ගේ සාමාජිකයන් නිරීක්ෂණය කිරීම සඳහා අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමයි. “Ceylon Cinnamon” නමින් යුරෝපා කලාපයට (EU) ලංකා කුරුඳු අපනයනය කිරීම සඳහා කුරුඳු සැපයුම් දාමයේ සහභාගිවන්නන් ලංකා කුරුඳු ආරක්ෂිත භූගෝලීය දර්ශක සංගමය (ACCPGI) හි ලියාපදිංචි වීම/සාමාජිකත්වය ලබා ගැනීම අවශ්‍ය වේ. ලංකාවේ කුරුඳු කර්මාන්තයට අනුබද්ධිත ඕනෑම අයකුට මෙම සංගමයේ සාමාජිකත්වය ලබා ගත හැකි අතර වගාකරුවන්, සැකසුම්කරුවන්, අලෙවිකරුවන් හා අපනයනකරුවන් ඇතුළු සැපයුම් දාමයේ සියලු නියෝජිතයන්ට ප්‍රදේශීය සංගම් හරහා ප්‍රධාන සංගමයට අනුබද්ධ වීමට පහසුකම් සලසා ඇත.
2025 වර්ෂය තුළ දී කුරුඳු අපනයෙන් ශ්‍රී ලංකාව ඇ. ඩොලර් මිලියන 250 ආදායමක් උපයා ඇති අතර, භූගෝලීය දර්ශකය ලබා ගැනීමෙන් 2030 පමණ වන විට ඇ. ඩොලර් බිලියනයක අපනයන කර්මාන්තයක් දක්වා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරේ. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ අගය එකතු කිරිමේ නිෂ්පාදන වැඩි දියුණු කිරීමේ අභිලාෂයෙන් ශ්‍රී ලාංකීය තේ, ගම්මිරිස්, කිතුල්, අන්නාසි, තැඹිලි, නිල් මැණික්, දුම්බර පැදුරු වැනි අපනයන ඉල්ලුමක් සහිත අපනයන නිෂ්පාදන සඳහා ඉදිරියේදී ජාතික භූගෝලිය දර්ශක සන්නාමය පිරිනැමීමට කටයුතු කරමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd