• අදියර 1 ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය (Tier I)  සියයට 8.60 යි 
  • සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය සියයට 12.85 යි 

බැංකු නොවන මූල්‍ය සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති අවම නියාමන ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාත අවශ්‍යතා මේ වන විට සම්පූර්ණයෙන්ම සපුරාලමින් සිටින බව එම සමාගම පවසයි. 

පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් නිල වශයෙන් දැනුම් දෙමින් එම සමාගම මෙම කරුණු සඳහන් කර තිබේ. 

ඒ අනුව 2026 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ කාලපරිච්ඡේදය සඳහා වූ විගණනය නොකළ අතරමැදි මූල්‍ය ප්‍රකාශනවල සඳහන්ව තිබූ ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාත ඌනතාව මගහරවා ගැනීම සඳහා සමාගම ගත් ප්‍රධාන පියවර දෙකක් හේතුවෙන් මෙම සාර්ථකත්වය අත්කර ගැනීමට හැකි වී ඇතැයිද සමාගම පවසයි. 

මෙම පියවරවලින් පසුව, 2026 නොවැම්බර් 15 වන දිනට සමාගමේ නියාමන ප්‍රාග්ධන ප්‍රමාණත්ව තත්ත්වය මෙලෙස වන බව සමාගම පවසයි. ඒ අනුව අදියර 1 ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය (Tier I)  සියයට 8.60ක් වන අතර, මහ බැංකුවේ නිර්දේශය අනුව එය සියයට 8.50ක් විය යුතුය. 

එසේම සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය (Total Capital)  සියයට 12.85ක් වන අතර, මහ බැංකුවේ නිර්දේශ අනුව එය සියයට 12.50 ක් විය යුතුය. මීට අමතරව, 2026 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස හයක කාලය තුළ සමාගම උපයා ඇති ආසන්න වශයෙන් රුපියල් මිලියන 198ක අතුරු ලාභය සඳහා බාහිර විගණකවරුන්ගේ අවශ්‍ය සහතිකය ලබා ගැනීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවත් ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී වැඩිදුරටත් පවසයි.