- පුනර්ජනනීය බලශක්තිය සහ යටිතල පහසුකම් සඳහා ආයෝජන අවස්ථා සැලසීම අරමුණයි
- ආසියාවේ දේශීය මුදල් ණය පහසුකම් පුළුල් කිරීමේ එක් අවස්ථාවක්
ලෝක බැංකු සමූහය විසින් වැඩි කාලසීමාවකට යටත් ශ්‍රී ලංකා රුපියල් (LKR) මූල්‍ය පහසුකම් සඳහා වූ ප්‍රවේශය පුළුල් කරමින් සිටින බව පවසයි. මේ හරහා දේශිය ව්‍යාපාර සතු විදේශ විනිමය අවදානම අවම කර ගනිමින් පුනර්ජනනීය බලශක්තිය සහ යටිතල පහසුකම් ක්ෂේත්රවල නව පෞද්ගලික ආයෝජන සඳහා අවස්ථා සලසා දීම අරමුණ වී තිබේ.
ඊයේ (26) නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව මෙම කරුණු සඳහන් කර තිබේ. ඒ අනුව ආසියානු කලාපයේ සිදු වූ මෙවැනි ආකාරයේ ප්‍රථම ගනුදෙනුව ලෙසත් මෙය සැලකෙන බව ලෝක බැංකුව පවසයි.
මෙහිදී ලෝක බැංකු සමූහ භාණ්ඩාගාරය මඟින් පෞද්ගලික අංශය කේන්ද්‍ර කරගත් ලෝක බැංකු සමූහයේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ එච්එස්බීසී ශ්‍රී ලංකා (HSBC Sri Lanka) අතර වසර හයක ශ්‍රී ලංකා රුපියල් ණය පහසුකමක් සකස් කර ඇතැයි සඳහන් වෙයි.
ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 5කට සමාන මෙම ස්ථාවර පොලී ණය පහසුකම, ශ්‍රී ලංකාව තුළ IFC ආයතනය ලබා ගත් ප්‍රථම ණය පහසුකම ලෙසද සටහන්ව තිබේ.
මෙම ණය පහසුකම මේ වන විටත් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය සඳහා දිගුකාලීන මූල්‍යකරණය ශක්තිමත් කිරීමට සහාය වෙමින් පවතී. ලෝක බැංකු සමූහ භාණ්ඩාගාරය මගින් සකස් කරන ලද අතිරේක දේශීය මුදල් අරමුදල් ද සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමකට IFC ආයතනය ලබා දෙන ඇමරිකානු ඩොලර් මිලියන 10ක, වසර 10ක රුපියල් ණය පහසුකමට මෙමගින් සහාය ලැබේ.
මෙම ආයෝජනය IFC ආයතනය මෙතෙක් ලබා දී ඇති දීර්ඝතම කාලසීමාවකින් යුත් රුපියල් ණය පහසුකම වන අතර, එහි ප්‍රථම රුපියල් යටිතල පහසුකම් ණය සහ මෑතකදී ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු කරන ප්‍රථම යටිතල පහසුකම් ආයෝජනය ද වේ.
මෙහිදී විශේෂයෙන්ම දේශීයව රුපියල් රැස් කිරීම මගින් ව්‍යාපාරවලට ආදායම් උපයන මුදල් ඒකකයෙන්ම ණය ලබා දීමට ලෝක බැංකු සමූහයට හැකි වන අතර, එමඟින් විනිමය අනුපාත අවදානම්වලට මුහුණ දීමට ඇති ඉඩකඩ අඩු වේ.
මෙම ප්‍රථම පහසුකම පදනම් කරගනිමින්, පෞද්ගලික ආයෝජන සහ වර්ධනයට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය මුදල් මූල්‍යකරණය පුළුල් කිරීමට ලෝක බැංකු සමූහය අපේක්ෂා කරන බවත් පවසයි
මෙහිදී අදහස් දැක් වූ ලෝක බැංකු සමූහයේ භාණ්ඩාගාර සේවාලාභී විසඳුම් සහ ව්‍යුහකරණය පිළිබඳ අධ්යක්ෂ කේෂව් ගෞර් මහතා, ”දිගුකාලීන දේශීය මුදල් මූල්‍යකරණයට ප්‍රවේශ වීමෙන්, ව්‍යාපාරවලට තමන්ට කළමනාකරණය කර ගත නොහැකි විදේශ විනිමය අවදානම් භාර නොගෙන ආයෝජනය කිරීමට, වර්ධනය වීමට සහ රැකියා උත්පාදනය කිරීමට හැකි වෙනවා,” යනුවෙන් පැවසීය.
මෙම ශ්‍රී ලංකා පහසුකම, 2024 දී කෙන්යාවේ සහ 2026 දී දකුණු අප්‍රිකාවේ Citi සහ IFC ආයතන එක්ව ස්ථාපිත කළ ණය පහසුකම් මත පදනම්ව ගොඩනැඟී ඇතැයිද ලෝක බැංකුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd