- ඉහළ පිරිවැය, දේශගුණික අවදානම් සහ වෙළෙඳාමේ පවතින බාධා හේතුවෙලා
- ආහාර මිල 2026 දී සියයට 10.3 කින් සහ 2027 දී සියයට 7.2කින් ඉහළ යාවි
- රටවල් අතරින් සියයට 33 කම ආහාර මිල උද්ධමනය සියයට 5ක අගයක
- ඔක්තෝබරයේ ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 7.2ක්
- රටේ දරිද්‍රතා අනුපාතය සියයට 16.9ක් නිසා අඩු ආදායම්ලාභී පවුල්වල ආහාර සුරක්ෂිතතාවයට දැඩි පීඩනයක්
භානුක අමරසිංහ
ශ්‍රී ලංකාවද ඇතුළුව දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය තුළ ආහාර මිල ඉහළ යෑමේ පීඩනය තවදුරටත් තීව්ර මට්ටමකින් පවතින බව ලෝක බැංකුව පවසයි. ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝක බැංකුව නොවැම්බර් මාසය සඳහාම්බර් මාසය සඳහා නිකුත් කළ නවතම වාර්තවේ (Global food and nutrition security update) මෙම කරුණු ඇතුළත්ව තිබේ.
විශේෂයෙන්ම ඉහළ පිරිවැය, දේශගුණික අවදානම් සහ වෙළෙඳාමේ පවතින බාධා හේතුවෙන් මෙම තත්වය උද්ගතව පවතින බවත්, යුදමය ගැටුම් නිසා සැපයුම් සේවා තවදුරටත් අඩාලවීම හේතුවෙන් මතුව තිබෙන ප්‍රවාහන පිරිවැයේ බලපෑමෙන් මෙම ආහාර මිල ගණන් ඉහළ ගොස් තිබෙන බවත් ලෝක බැංකුව පෙන්වා දෙයි.
“මෙම වාර්තාව සඳහා යොදා ගත් රටවල් අතරින් සියයට 33 කම ආහාර මිල උද්ධමනය තවදුරටත් සියයට 5ක අගය ඉක්මවා පවතින්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවද ඇතුළුව දකුණු සහ මධ්‍යම ආසියානු කලාපයේ ආහාර මිල පීඩනය තවදුරටත් තීව්ර මට්ටමකට පවතීවි.’’
මේ අතර ලෝක බැංකුව විසින් පසුගිය ඔක්තෝබර් මාසයේදී නිකුත් කළ Commodity Markets Outlook වාර්තාවේද 2026 වසරේදී ආහාර මිල ගණන් සියයට 10.3කින් ඉහළ යනු ඇති බවත්, 2027 වසරේදී එය සියයට 7.2කින් ඉහළ යනු ඇති බවත් පුරෝකථනය කර තිබේ.
මේ අතර ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝක බැංකුව නිකුත් කළ මෙම වාර්තාව තුළ සඳහන් වන ආකාරයට දත්ත වාර්තා කෙරුණු රටවල් 153ක් අතරින් සියයට 27ක සමස්ත උද්ධමනයට වඩා වැඩි වේගයකින් මූර්ත ආහාර මිල උද්ධමනය ඉහළ ගොස් තිබේ.
“මීට පෙර වාර්තාවේ මෙය පැවතියේ සියයට 12ක් ලෙසයි. ඒ කියන්නේ පවතින තත්වය අනුව ආහාර මිලදී ගැනීමේ හැකියාව ඇති ජනතාව තවදුරටත් ඉහළ ගිහින්.” ලෝක බැංකුව පෙන්වා දෙයි.
මේ අතර 2026 ඔක්තෝබර් මාසයේ උද්ධමන දත්ත අනුවද ජාතික පාරිභෝගික මිල දර්ශකය යටතේ වන ආහාර උද්ධමනය සියයට 7.2ක් දක්වාත්, කොළඹ පාරිභෝගික මිල දර්ශකය යටතේ වන ආහාර උද්ධමනය සියයට 8.8ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.
මෙහිදී ගෝලීයව ආහාර මිල ගණන් ඉහළ යෑමට මූලිකවම හේතු වී ඇත්තේ සැපයුම් සේවා වෙත එල්ල වූ බාධා සහ ඒ හරහා ඇති වූ ඉහළ ප්‍රවාහන පිරිවැයයි.
“විශේෂයෙන්ම සමස්ත ආහාර හිඟයකට වඩා, ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය අඩුවීම, දේශගුණික කම්පන, ප්‍රවාහන හා බලශක්ති පිරිවැය ඉහළ යාම සහ අසමාන සමාජ ආරක්ෂණ වැඩසටහන් හේතුවෙන් දකුණු ආසියාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අභියෝගය තවදුරටත් තීව්ර වෙමින් පවතී” ලෝක බැංකුව සඳහන් කරයි.
එහිදී මූලිකම බලපෑම කාලගුණික අවදානම් ඔස්සේ පවතින අතර, ඉතා ප්‍රබල ‘එල් නිනෝ‘ El Niño) තත්වයක් ප්‍රධාන අවධානයට ලක්ව තිබේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවද ඇතුළුව බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව සහ නේපාලය රටවල සාමාන්‍ය මට්ටමට වඩා අඩු වර්ෂාපතනයක් සහ ඉහළ උෂ්ණත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී. මෙය භෝග වගාවට සහ ආහාර නිෂ්පාදනය වෙත දරුණු ලෙස බලපායි.
“ශ්‍රී ලංකාව තුළ මෙම එල් නිනෝ බලපෑම හේතුවෙන් කෘෂිකාර්මික ඵලදායීතාවට සහ ජල සම්පත් කළමනාකරණයට එල්ල විය හැකි අවදානම් පිළිබඳව ලෝක බැංකුව සහ ලෝක ආහාර වැඩසටහන (WFP) විශේෂ අවධානය යොමු කර තිබෙනවා.”
මේ අතර ලෝක බැංකුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් මාසය මුලදී නිකුත් කළ වාර්තාවකද රට තුළ පවතින අසමාන ආර්ථික ප්‍රකෘතිය සම්බන්ධයෙන් කරුණු දක්වා තිබුණි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකය, අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වුවද, කුටුම්භ ආදායම් සහ ශ්‍රම වෙළෙඳපොළ තවමත් පසුගාමී මට්ටමක පවතින බව ලෝක බැංකුව එහිදී සඳහන් කර තිබුණි.
මෙම තත්වයත් සමගින්ම ඉහළ යන ආහාර මිල පීඩනය ශ්‍රී ලංකාවේ ජනතාවට වඩා වැඩියෙන් දැනෙනු ඇතැයි ලෝක බැංකුව පවසයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය තවමත් සියයට 16.9ක් වැනි ඉහළ මට්ටමක පැවතීම නිසා, ඉහළ යන ආහාර සහ බලශක්ති මිල ගණන් අඩු ආදායම්ලාභී පවුල්වල ආහාර සුරක්ෂිතතාවට දැඩි පීඩනයක් එල්ල කරනු ඇතැයි යන්න අදහස වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd