මම පෙර ලිපියක “ආර්ථික වර්ධනය ඇති කරන්නේ කුමක්ද? - ආර්ථික වර්ධනයෙන් සිදුවන්නේ කුමක්ද?” යන්න කියවීමෙන් පසු, මගේ මිතුරකු වන පාලි මට පණිවුඩයක් එවා තිබුණි. “චන්ද්‍රේ, ඔබේ ඊළඟ ලිපියෙන් ආර්ථික වර්ධනයේ තියෙන මෙන්න මේ පරස්පරතා සම්බන්ධයෙන් අප කුමක් කළ යුතු ද යන්න ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?” යැයි එම පණිවුඩයේ සඳහන් විය.

මම ඊට එකඟ වුණෙමි. ඒත්, පාලි ඔහුගේ ඒ නම්‍යශීලී වචන භාවිතයෙන් මට ඒ ගැන පැහැදිලි කිරීමක් කළේ මෙම ලිපිය ලියන්නට පටන් ගත් පසුවය. ඔහුගේ අදහස මට වැටහුණේ එවිටය. “යහපත් දෙයක් ගොඩනැගීමට යෝජනා ඉදිරිපත් කිරීම, විවේචනය කරන තරම් ලේසි නැහැ යාළුවා.” ඔහු පැවැසීය.

පෙර ලිපියෙන් මම සංඛ්‍යාලේඛන හයක් ඉදිරිපත් කළෙමි.
2025 ජාතික නිෂ්පාදිතයේ (GDP) වර්ධනය - සියයට 5
ලෝක බැංකු දුප්පත්කමේ අගය - සියයට 24.5
GDP සඳහා බස්නාහිර පළාතේ දායකත්වය - සියයට 42.4
ඉහළම සියයට 10 ධනවතුන්ගේ ආදායම් පංගුව - සියයට 36.2
පහළම සියයට 10 දුප්පතුන්ගේ ආදායම් පංගුව - සියයට 1.5
මාසික ගෘහස්ථ ආදායම - නාගරික: රු. 116,670; ග්‍රාමීය: රු. 69,517; වතු: රු. 46,865

මෙම සංඛ්‍යාලේඛනවලින් ඉහත කී පරස්පරතාව පැහැදිලිවම පෙන්නුම් කරයි. එනම්, ආර්ථිකය වර්ධනය වෙමින් පැවතුණ ද, ඒ වර්ධනයේ ප්‍රතිලාභ සියලු‍ම ගෘහස්ථ වෙත සාධාරණව ගලා යන්නේ නැත. එසේ නම්, ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සෑමදෙනා අතරම පුළුල්ව සහ සාධාරණව බෙදී යන බව තහවුරු කිරීමට අප කුමක් කළ යුතුද?

මාලිමාවේ දර්ශනය

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනය වන “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන්නය. “නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමේ සිට එහි ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදා හැරීම තහවුරු කිරීම දක්වා වූ සමස්ත ක්‍රියාවලියටම සියලු‍ ජනගහනය සහභාගී කරවා ගැනීම අපගේ ඉලක්කයයි.” යන්න එහි අන්තර්ගතයයි.

2024 නොවැම්බර් 23 වැනි දින, දහවැනි පාර්ලිමේන්තුව සමාරම්භ කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ, වර්ධන ආකෘතිය මගින්, “නිෂ්පාදනය මුල් කරගත්, ප්‍රාදේශීය වශයෙන් සමතුලිත වූ ආර්ථිකයක්” පිළිඹිබු වන බවය. 

ඉකුත් 2025වසරේ සිය ප්‍රථම අයවැය කතාවේද ජනාධිපතිතුමා පැහැදිලි කළේ මෙම දර්ශනයයි. “වර්ධනය උදෙසාම පමණක් සිදුවන වර්ධනයකින් සමාජයට ඇති පලක් නැත; එය සමාජයේ සියලු‍ සාමාජිකයන්ගේ ජීවිත ඉහළ නැංවීමේ මගක් බවට පත් විය යුතුය.” ජනපතිවරයා අවධාරණය කළේය.

‘වර්ධනය’ යනු සියලු‍ දෙනාම අන්තර්ග්‍රහණය කරගන්නා එකක් විය යුතු බවත්, එමගින් වැඩිදියුණු කළ ආර්ථික අවස්ථා ලබා දෙමින් එහි ප්‍රතිලාභ සමාජයේ සියලු‍ තරාතිරම් අතර සාධාරණව බෙදී යෑම තහවුරු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශවලින් ද යළි යළිත් තහවුරු වන්නේ ආර්ථික වර්ධනයේ ඇති, ඉහත සඳහන් කළ පරස්පරතාවයි. දැන් මතුවන ගැටලු‍ව වන්නේ, මෙම පරස්පරතාවට විසඳුම් සෙවීම සඳහා ආණ්ඩුවේ මෙම දර්ශනය ක්‍රියාවට නංවන්නේ කවුරුන්ද සහ එය කරන්නේ කෙසේද යන්නය.

අරමුණු සහ ක්‍රියාත්මක කිරීම අතර පරතරය

අභිප්‍රාය කොතරම් උතුම් වුවත්, ඒවා මල්ඵල ගැන්වීම රඳා පවතින්නේ ක්‍රියාත්මක කිරීම සහ නිරීක්ෂණය මතය. එම වගකීම විශාල වශයෙන් පැවරෙන්නේ රජයේ ක්‍රියාකාරී හස්තය වන රාජ්‍ය සේවයටය.

රජයේ අරමුණු සහ එහි ක්‍රියාත්මක කිරීමේ හස්තය අතර පරතරයක් පවතින බව ජනාධිපතිවරයා හඳුනාගෙන ඇත. සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මෙසේ නිරීක්ෂණය කළේය. “දේශපාලන නායකයන්ගේ ඉලක්ක සහ අපේක්ෂා කොතෙක් විශාල වුවත්, ඒවා සාක්ෂාත් කරගත හැක්කේ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා මනා ලෙස සංවිධානය වූ සහ ප්‍රතිචාරාත්මක රාජ්‍ය සේවයක් පවතින්නේ නම් පමණි.”
2024 දෙසැම්බර් මාසයේ පැවැති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ, රාජ්‍ය සේවය එහි අපේක්ෂිත අරමුණුවලින් බැහැර වී ඇති අතර එහි කාර්යක්ෂමතාව නැවත ඇති කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවය.

එමෙන්ම, 2025 පෙබරවාරි මාසයේදී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරන ලද ආර්ථික සමුළුවේදී, කාර්යයන් ඉටුකර ගැනීමට ගතවන කාලය කෙටි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති, රෙගුලාසි, නීති රීති, ක්‍රියාපටිපාටි සහ ක්‍රියාවලි හඳුන්වා දෙන බවට ද ඔහු පොරොන්දු විය.

ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ විශාල ප්‍රතිපත්තිමය ඉලක්ක ජය ගැනීමට නම්, ඒවා ඉටුකර දීමට තරම් සමත් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් තිබිය යුතු බවය.

රාජ්‍ය අංශයට ප්‍රතිඵල ලබා දීමට නොහැකිද?

රාජ්‍ය සේවය පිළිබඳ මහජන මතය ද ජනාධිපතිවරයාගේ අදහසට වඩා වෙනස් නොවේ. එය බොහෝ විට විවේචනයට ලක්වන්නේ අධික ලෙස විශාල වූ, නිලධාරීවාදී, අනවශ්‍ය රෙගුලාසිවලින් පිරුණු, අකාර්යක්ෂම, තීරණ ගැනීමට අපොහොසත් සහ ප්‍රමාණවත් ලෙස ජනතාවට ප්‍රතිචාර නොදක්වන පද්ධතියක් ලෙසය. එමෙන්ම, සිතීමේ හැකියාව, නිර්මාණශීලිත්වය සහ අනාගතය පිළිබඳ ඉදිරිගාමී ආකල්ප සඳහා මෙම පද්ධතිය තුළ ඉඩකඩක් නැති තරම් යැයි මතයක්ද පවතී. මෙම සෑම විවේචනයක්ම මුළුමනින්ම සාධාරණ නොවිය හැකිය. එහෙත්, එමගින් ලබා දෙන පණිවිඩය එකහෙළා නොසලකා හැරිය නොහැක.

අප රටේ වර්තමාන රාජ්‍ය සේවයේ ආරම්භය 19 වැනි සියවස දක්වා ඈතට දිව යයි. බ්‍රිතාන්‍ය පාලනය යටතේ 1833 දී මධ්‍යගත සිවිල් සේවයක් පිහිටුවන ලදී. 1963 වසරේ දී එය අහෝසි කර ‘ලංකා පරිපාලන සේවය’ ලෙස ප්‍රතිස්ථාපනය කරන ලද අතර, 1972 දී එය ‘ශ්‍රී ලංකා පරිපාලන සේවය’ ලෙස යළිත් වරක් නම් කෙරිණි.

අපගේ රාජ්‍ය සේවය නිර්මාණය කරන ලද්දේ වෙනස්ම යුගයක වෙනස්ම රටක අවශ්‍යතාවලට සපිරීම සඳහාය. එතැන් සිට රාජ්‍ය අංශය එහි ප්‍රමාණය, ස්ථර, වගකීම්, කාර්යභාරයන් සහ වැඩභාරය අතින් අතිවිශාල ලෙස ප්‍රසාරණය වී ඇත. එසේ වුවද, එහි බොහෝ ආයතනික රාමුව තවමත් ක්‍රියාත්මක වන්නේ පැරණි පනත්, ආඥා පනත්, රෙගුලාසි සහ භාවිත යටතේය.

ප්‍රශ්නය මිනිසුන්ගේද, නැතහොත් පද්ධතියේද?

ප්‍රශ්නය තිබෙන්නේ, පද්ධතිය (සිස්ටම්) තුළ වැඩ කරන මිනිසුන්ගේ පමණක් නොවේ. ප්‍රශ්නය තිබෙන්නේ පද්ධතියේමය. අධික ලෙස ශ්‍රේණිගත වුණු නිලධාරීවාදී මතවාදය රාජ්‍ය අංශයේ සංස්කෘතිය තුළ තදින්ම කා වැදී ඇති අතර, එමගින් කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමට සහ සම්බන්ධීකරණයට ඉඩක් නැත.

ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස රාජකාරි කළ, කෙන් බාලේන්ද්‍රන් මහතා වරක් මට රසවත් කතාවක් කීවේය. කෙන් බාලේන්ද්‍රන් ජීවතුන් අතර නැත. එදා ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස රාජකාරි කරද්දී, ඔහුගේ කාර්යාලය පිහිටා තිබුණේ එදා කොළඹ උසම ගොඩනැගිල්ල වූ ‘පිට්ටු බම්බුව’ ලෙස ද ජනප්‍රිය ලංකා බැංකු මූලස්ථානයේ ඉහළම මහලේය.

දිනක් ඔහු සාමාන්‍යාධිකාරීවරයා (ජී.එම්.) සමග යමක් සාකච්ඡා කිරීම සඳහා පඩිපෙළ බැස පහළ මහලට ගියේය. ඔහු ආපසු පැමිණි විට, ඔහුගේ පෞද්ගලික සහකාරවරයා පුදුමයට පත්වී ඔහු වෙතට පැමිණ, “සර්, ඔබතුමා ජී.එම්. මහතා හමුවෙන්න පහළට ගියේ ඇයි? කවදාවත් එහෙම වෙන්නේ නැහැනේ. ජී.එම්. එක්ක මොනවා හරි සාකච්ඡා කරන්න ඕනෑ නම්, ඔබට පුළුවන්නේ ඔබේ කාර්යාලයට එන්න කියලා ඔහුට දැනුම් දෙන්න” යැයි පෞද්ගලික සහකාරවරයා පැහැදිලි කළේය.

එම කුඩා සිදුවීමෙන් පද්ධතිය තුළ ගොඩනැගී ඇති අධික ශ්‍රේණිගත රාමුව පැහැදිලිවම නිරූපණය වේ. කෙසේ වෙතත්, ප්‍රශ්නය මෙම නිලධාරීවාදී ස්ථරවලට පමණක් සීමා නොවේ. ප්‍රමාද සහ අතපසුවීම් සඳහා රාජ්‍ය අංශය සතුව සැමවිටම සූදානම් කරගත් හේතු ලැයිස්තුවක් ඇත. අයහපත් කාලගුණය, මැතිවරණ, වසංගත, ප්‍රතිපාදන ලැබීමේ ප්‍රමාද, මැද පෙරදිග හෝ වෙනත් තැනක ඇතිවන යුද්ධ ආදිය ඒ එම ලැයිස්තුවට අයත් වෙයි. නිලධාරීන් බොහෝ විට උත්සාහ කරන්නේ ප්‍රතිඵල ලබා ගැනීමට වඩා හදිසියේ මතුවන සිදුවීම් පස්සේ හඹා යාමටය..

වසර ගණනාවක් පුරා රජයේ සේවකයන්ගේ තනතුරු නාම වෙනස් වී ඇත. අධ්‍යක්ෂ, කොමසාරිස් සහ පාලක වැනි තනතුරු සඳහා ‘ජනරාල්’ යන කොටස එකතු විය. පියන් යනු කේ.කේ.එස් (කාර්යාල කාර්ය සහායක) ය; ලිපිකරු (ක්ලාක්) යනු කළමනාකරණ සහකාර ය; මුරකාරයා යනු ආරක්ෂක නිලධාරියාය. කෙසේ වෙතත්, මෙම තනතුරු නාම සමග ඔවුන්ගේ ආකල්ප, නිරීක්ෂණ සහ කාර්යක්ෂමතාව වෙනස් වී ඇත්ද යන්න ගැටලු‍ සහගතය. රාජ්‍ය සේවය සඳහා අධ්‍යාපනයේ ඉහළම දක්ෂතාවලින් හෙබි, සැලකිය යුතු මට්ටමේ කුසලතාවක්, නිපුණතාවක් සහ හැකියාවක් ඇති පිරිසක් ආකර්ෂණය වෙති. ඒත්, එම හැකියාවන්ගෙන් උපරිම පල නෙළා ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබේද යන්න ගැටලු‍ සහගතය.

පැහැදිලි ඉලක්ක ලබා දීමකින් තොරව, පුද්ගලයන්ට, ඒකකවලට හෝ අංශවලට සිරස් අතට රාජකාරි පැවරීම නිතර සිදුවෙයි. පද්ධතිය වඩාත් උනන්දු වන්නේ ප්‍රතිඵල අත්කර ගැනීමට වඩා නීති රීති අකුරටම අනුගමනය කිරීමටය.

රාජ්‍ය අංශය ආයතන සංග්‍රහයට  (AR) සහ මුදල් රෙගුලාසිවලට (FR) තදින්ම බැඳී ඇති බව ප්‍රකට කරුණකි. පසුව ජනමාධ්‍ය රෙගුලාසි (JR) පැමිණි අතර, ඉන්පසු ජෙනරාල් රෙගුලාසි (GR) ද එකතු විය. මෑතකදී දූෂණ විරෝධී රෙගුලාසි (ACR) ද ඊට එක් විය.

මෙම සියලු‍ම නීති රීතිවලට සාධාරණ සහ නීත්‍යනුකූල අරමුණු ඇත. එහෙත් ඊට අනුරූපී නම්‍යශීලීභාවයකින් තොරව නීති රීති පමණක් වැඩි වන විට, තමන්ගේ තීරණාත්මක බලය භාවිත කිරීම පවා වරදක් ලෙස පෙනෙන්නට පටන් ගනී.

1964 දී මා ලිපිකරුවකු ලෙස රාජ්‍ය සේවයට එක්වන විට, මට ලැබුණු මුල්ම ලේඛනය වූයේ ‘රාජකාරි ලැයිස්තුව’ (ඩියුටි ලිස්ට්) ය. මගේ විශ්‍රාම යෑම දක්වාම මගේ මුළු වෘත්තීය ජීවිතය පුරාම මම ඩියුටි ලිස්ට් නිකුත් කළෙමි. එමගින් මතුවන ප්‍රශ්නය නම්, රාජ්‍ය අංශය කළමනාකරණය කරන්නේ රාජකාරිද, නැතහොත් ප්‍රතිඵලද යන්නය.

දුර්වල වූ ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් තබාගෙන, කිසිදු ආණ්ඩුවකට ආර්ථික වර්ධනයේ ඇති පරස්පරතාවලින් ගොඩ ඒමට නොහැකිය. එබැවින් පළමු පියවර විය යුත්තේ මෙම ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය අලු‍ත්වැඩියා කර නැවත පණ ගැන්වීමයි.

ජනතාව කේන්ද්‍ර කරගත් රාජ්‍ය සේවයක් කරා

ආර්ථික වර්ධනයේ ඇති පරස්පරතා, ඉහළ දළ දේශීය නිෂ්පාදිතය (GDP) වර්ධන වේගයක් ලබා ගැනීමෙන් පමණක් විසඳිය නොහැක. ආර්ථික වර්ධනය යන්න සැබෑ ප්‍රතිලාභ බවට පරිවර්තනය විය යුතුය. එනම් රැකියා, ආදායම්, නිෂ්පාදනශීලීභාවය, ආයෝජන, ප්‍රාදේශීය සංවර්ධනය, යහපත් සේවා සහ ගෘහස්ථ සුබසාධනය ඉහළ නැංවීම ලෙසය. අප රටට අවශ්‍ය වන්නේ නිෂ්පාදනය මුල් කරගත්, ප්‍රාදේශීයව සමතුලිත වූ සහ සියලු‍ දෙනා අන්තර්ග්‍රහණය කරගන්නා ආර්ථිකයකි. ඒ සඳහා ප්‍රතිපත්ති සඵලදායී ලෙස ක්‍රියාත්මක විය යුතුය. රජයේ ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය එම ප්‍රතිඵල ලබා දීමට සමත් විය යුතුය. එබැවින් රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණය යනු හුදෙක් පරිපාලනමය ගැටලු‍වක් පමණක් නොවේ; එය සමස්ත ආර්ථික වර්ධනයටම අදාළ මූලික කරුණකි.

අප ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ මනා ලෙස සංවිධානය වූ, ප්‍රතිචාරාත්මක, නිපුණ, සම්බන්ධීකරණයෙන් යුත් සහ ජනතාව කේන්ද්‍ර කරගත් රාජ්‍ය සේවයකි. රජයක් රටවැසියාට දෙන පොරොන්දු ඉටු කරන්නේ මෙම රාජ්‍ය සේවා යාන්ත්‍රණය හරහාය.

1. හුදෙකලා රාමු වෙනුවට ඒකාබද්ධ පද්ධති 

රාජ්‍ය ආයතන බොහෝ විට සිය වාර්ෂික සැලසුම් සකස් කරන්නේ අයවැය ප්‍රතිපාදන සහ ක්ෂණිකව මතුවන ගැටලු‍ මත පදනම්වය. කෘෂිකර්මාන්තය ඊට හොඳ උදාහරණයකි. වගා කාලයේදී බීජ, රෝපණ ද්‍රව්‍ය, පොහොර සහ අනෙකුත් යෙදවුම් කෙරෙහි අවධානය යොමු කෙරේ. අස්වැන්න නෙළන කාලයේදී අවධානය යොමු වන්නේ අස්වැන්න අලෙවි කිරීමට සහ වෙළෙඳපොළට නිකුත් කිරීමටය. ඒත් කෘෂිකර්මාන්තය යනු සමස්ත අගය එකතු කිරීමේ දාමයකි. එනම් නිෂ්පාදනය, යෙදවුම්, මූල්‍ය පහසුකම්, තාක්ෂණය, ගබඩා කිරීම, ප්‍රවාහනය, සකස් කිරීම, වෙළෙඳපොළ සහ අපනයනය යන මේ සියල්ලම ඊට ඇතුළත් වේ. මෙහි එක එක අදියර සඳහා විවිධ ආයතන සම්බන්ධ වේ. එබැවින් මෙහි වගකීම කෘෂිකර්ම අමාත්‍යාංශයට පමණක් සීමා නොවේ.

අවශ්‍ය වන්නේ කොටස් වශයෙන් විසඳුම් සෙවීම වෙනුවට සමස්ත අගය එකතු කිරීමේ දාමය කෙරෙහිම අවධානය යොමු කරන පරිපූර්ණ, සම්බන්ධීකරණය වූ සහ අවශ්‍යතා ප්‍රවේශයකි. රාජ්‍ය සේවය හුදෙකලා රාමුවලින් මිදී සමස්ත පද්ධතියක් ලෙස වැඩ කළ යුතුය. රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, වාණිජ මණ්ඩල, විශ්වවිද්‍යාල සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමග එක්ව කටයුතු කළ යුතුය. ප්‍රමාද පමණක් නොව, ඊට හේතු සහ ඊට අදාළ පිළියම් හඳුනා ගැනීම සඳහා විධිමත් අධීක්ෂණ ක්‍රමවේදයක් තිබිය යුතුය.

පැහැදිලි ඉලක්ක සහ ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPIs) සහිතව, ප්‍රධාන කාර්යයන්හි වගකීම පුද්ගලයන්ට වඩා කණ්ඩායම් වෙත පැවරිය යුතුය. සම්පූර්ණ කරන ලද දේවල්, ප්‍රමාද වූ දේවල්, මුහුණ දුන් දුෂ්කරතා සහ යෝජිත විසඳුම් පිළිබඳව කණ්ඩායම් වරින් වර වාර්තා කළ යුතුය. කාර්යසාධනය මත පදනම් වූ පද්ධති, අනුමැති, ලේඛන කටයුතු, ඩිජිටල් පද්ධති සහ ආයතන අතර සම්බන්ධීකරණ යාන්ත්‍රණ අවශ්‍ය වේ.

2. කල් ඉකුත් වූ නීති සහ රෙගුලාසි යළි පරීක්ෂා කිරීම

රාජ්‍ය අංශයේ කාර්යභාරය සහ වගකීම් නාටකාකාර ලෙස වෙනස් වී ඇතත්, බොහෝ ආයතන තවමත් ක්‍රියාත්මක වන්නේ වෙනත් යුගයක් සඳහා සකස් කරන ලද නීති සම්පූර්ණයෙන් යටතේය. 1902 දුම්රිය ආඥා පනත, 1907 වනාන්තර ආරක්ෂණ ආඥා පනත සහ 1937 සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ඊට උදාහරණ වේ. අනෙකුත් ප්‍රධාන නීති 1970 ගණන්වලට අයත් වන අතර, නිදහස් අධ්‍යාපනය පවා හඳුන්වා දෙන ලද්දේ 1940 ගණන්වලදීය. 

පැරණි නීති පැනවීම අනිවාර්යයෙන්ම නරක යැයි ඉන් අදහස් නොවේ. ප්‍රශ්නය වන්නේ ඒවා තවමත් වත්මන් අරමුණු සඳහා සුදුසුද යන්නයි. ශ්‍රී ලංකාවේ ආර්ථික, තාක්ෂණික, සමාජීය සහ ජාත්‍යන්තර පරිසරය තදින්ම වෙනස් වී ඇත. පැරණි පනත් සහ ආඥා පනත මත හිඳිමින් රාජ්‍ය අංශයට මේ වෙනස්කම් සමග ඉදිරියට යා නොහැක. එබැවින් සැබෑ පරිවර්තනයක් සඳහා පනත්, ආඥා පනත් සහ රෙගුලාසි පිළිබඳ ක්‍රමානුකූල සමාලෝචනයක් සහ අවශ්‍ය තැන්වලදී ඒවා යාවත්කාලීන කිරීම අවශ්‍ය වෙයි.

3. ක්‍රියාපටිපාටි සරල කිරීම

විදේශීය ආයෝජන, අපනයන, බදුකරණය, දේශීය ආයෝජන සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ සහභාගීත්වය වැනි ක්ෂේත්‍රවල ප්‍රමාදයන්ට ප්‍රධානතම හේතුවක් වන්නේ සංකීර්ණ හා කාලය කා දමන ක්‍රියා පටිපාටීන්ය. සංකීර්ණ පද්ධති හරහා කටයුතු කිරීමට නීතිඥයන්, ගණකාධිකාරීවරුන් සහ පරිපාලන කාර්ය මණ්ඩල නොමැති සාමාන්‍ය ජනතාවට සහ සුළු ව්‍යාපාරවලට මෙහි බරපතළම බලපෑම එල්ල වෙයි.
මෙම සංකීර්ණතාවයම විශාල බාධාවක් බවට පත්ව ඇත. එමගින් අධික නිලධාරීවාදය, ප්‍රමාදය, අල්ලස් සහ දූෂණයට අවස්ථා නිර්මාණය විය හැක. ඊට ඇති විසඳුම වන්නේ ‘හැකි තරම් සරලව’ කටයුතු කිරීමය. පිරිවැය, ප්‍රමාදය, පීඩනය අවම කරමින්, නිෂ්පාදනශීලීතාව ඉහළ නැංවීමට සහ තීරණ ගැනීම වේගවත් කිරීමට හැකි සෑම තැනකදීම ක්‍රියා පටිපාටි, අනුමැති සහ ලේඛන කටයුතු සරල කළ යුතුය.

4. සේවා විමධ්‍යගත කිරීම

හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර, රියැදුරු බලපත්‍ර, EPF/ETF ප්‍රතිලාභ සහ විශ්‍රාම වැටුප් ලබා ගැනීම ඇතුළු බොහෝ රාජ්‍ය සේවා තවමත් මධ්‍යගත වී ඇත්තේ කොළඹ සහ ඒ ආශ්‍රිතවය. මෙයින් ජනතාවට අනවශ්‍ය ගමන් බිමන්, පිරිවැයක් සහ අපහසුතාවක් ඇතිවන අතරම, මාර්ග තදබදය, පරිසර දූෂණය සහ ඉන්ධන පරිභෝජනය වැඩිවීමටද හේතු වෙයි.

ඩිජිටල්කරණය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන තෙක්, සාධාරණ ලෙස විමධ්‍යගත කළ හැකි කාර්යයන් ජනතාවට සමීපව සිදු කළ යුතුය. උදාහරණයක් ලෙස, අයැදුම්පත් ලබා ගැනීම, ලේඛන පරීක්ෂා කිරීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම වැනි දේ සුදුසු පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා සිදු කළ හැක. එමගින් සිදුවන්නේ ජනතාව රජය සොයා ඒම වෙනුවට රජය ජනතාව වෙතට යෑමය.

තනතුරේ සිට ක්‍රියාකාරීත්වය දක්වා

වසර ගණනාවක් පුරා රජයේ සේවකයන්ගේ තනතුරු නාම වෙනස් වී ඇත. අධ්‍යක්ෂ, කොමසාරිස් සහ පාලක වැනි තනතුරු සඳහා ‘ජනරාල්’ යන කොටස එකතු විය. පියන් යනු කේ.කේ.එස් (කාර්යාල කාර්ය සහායක) ය; ලිපිකරු (ක්ලාක්) යනු කළමනාකරණ සහකාර ය; මුරකාරයා යනු ආරක්ෂක නිලධාරියාය. කෙසේ වෙතත්, මෙම තනතුරු නාම සමග ඔවුන්ගේ ආකල්ප, නිරීක්ෂණ සහ කාර්යක්ෂමතාව වෙනස් වී ඇත්ද යන්න ගැටලු‍ සහගතය. රාජ්‍ය සේවය සඳහා අධ්‍යාපනයේ ඉහළම දක්ෂතාවලින් හෙබි, සැලකිය යුතු මට්ටමේ කුසලතාවක්, නිපුණතාවක් සහ හැකියාවක් ඇති පිරිසක් ආකර්ෂණය වෙති. ඒත්, එම හැකියාවන්ගෙන් උපරිම පල නෙළා ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබේද යන්න ගැටලු‍ සහගතය.

රාජ්‍ය සේවකයන්ට පැහැදිලි අරමුණු, මාර්ගෝපදේශනය සහ සේවා ලබා දීමට අවශ්‍ය නිදහස සහිත රාමුවක් අවශ්‍යය. අද වන විට ජ්‍යෙෂ්ඨතාවට මූලිකත්වය හිමි වේ. ඒත්, මූලික විය යුත්තේ කාර්යසාධනයයි, එනම් වැඩ කිරීමේ දක්ෂතාවයි. පැහැදිලි කාලරාමු සහිතව නිශ්චිත කාර්යයන් පවරා දිය යුතු අතර, එම කාලරාමුවලට අනුව කාර්යසාධනය ඇගයීමට ලක් කළ යුතුය. රාජ්‍ය සේවකයකු පහත කරුණු දැන සිටිය යුතුය: මා වෙතින් අපේක්ෂා කරන්නේ කුමක්ද? ඒ කවදා වන විටද? මගේ සාර්ථකත්වය මැන බලන්නේ කෙසේද? මගේ කාර්යසාධනය අගය කිරීමට ලක්වේද? අරමුණ විය යුත්තේ ජයග්‍රහණ අගය කිරීමට ලක්වන, වගකීම් දැරීම තුළින් ප්‍රතිඵල සහ වගවීම නිර්මාණය වන සංස්කෘතියක් ගොඩනැගීමය. එමගින් කැපවීම ශක්තිමත් වන අතර, සේවා සැපයීම වැඩිදියුණු වී මහජන විශ්වාසය නැවත ගොඩනැගෙනු ඇත.

නිගමනය

‘වර්ධනයේ’ පරස්පරතා සම්බන්ධයෙන් අප කළ යුත්තේ කුමක්දැයි පැහැදිලි කිරීමේ දීර්ඝ ගමනක පළමු පියවර මෙය යැයි කිව යුතුය. මා මෙම අදහස් ඉදිරිපත් කළේ එකක්, මගේ රාජ්‍ය සේවා අත්දැකීම් ඇසුරිනි. අනෙක, වර්තමාන අභියෝගවලට මුහුණ දීම සඳහා අවශ්‍ය වේ යැයි මා විශ්වාස කරන කරුණු පදනම් කරගෙනය. මා මෙහිදී සියලු‍ කරුණු සම්පූර්ණයෙන්ම ආවරණය කර නොතිබෙන්නට පුළුවනි. මගහැරුණු තැන් තිබිය හැකිය. මා අරමුණු කළේ තනතුරෙන් පමණක් නොව, ක්‍රියාකාරීත්වයෙන්ම රාජ්‍ය සේවකයන් වන පිරිසක් සහිත රාජ්‍ය සේවයක් නිර්මාණය කරමින්, ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය යළි පණගැන්වීම සඳහා සංවාදයක් ගොඩනැගීමට පෙලඹවීමය.

ඩේලි එෆ්ටී පුවත්පතේ පළවූ Growth paradox – Numbers vs. benefits: Part I 
– Reforming public sector -  
ලිපියේ පරිවර්තනය 
ලුසිත ජයමාන්න