
ඇමරිකා එක්සත් ජනපද සබ්මැරීන ප්‍රහාරයක් හේතු කරගෙන ශ්‍රී ලංකා වෙරළට ආසන්නව, ඉරාන යුද නෞකාවක් මුහුදුබත් කර ඇත. එහිදී ඉරාන නාවිකයන්ගේ ජීවිත සම්බන්ධයෙන් සමාජ සහ සම්ප්‍රදායික මාධ්‍ය අතර තියුණු විවාදයක් පවතී. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආසන්න සාගරයේ නතරකර තිබෙන අනෙකුත් ඉරාන නාවික නැව්, ඒවායේ නාවිකයන් සම්බන්ධයෙන් ඉදිරියේ දී උද්ගත විය හැකි තත්වය ගැන නොයෙක් අදහස් හා අනුමාන මෙම උණුසුම තවත් වැඩි කර තිබේ.
මෙම අදහස්වලින් පැන නැගෙන කොටස් ෂේක්ස්පියර්ගේ zMuch Ado About Nothing” නාට්‍යානුරූපි සේ සැලකිය හැකිය. නාට්‍යය දක්වන පරිදි “අවබෝධය සහ යථාර්ථය අතර එකිනෙකට වෙනස්ය.”. ඉරාන නෞකාවට එල්ල වූ ප්‍රහාරය සමග ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඉතිහාසයේ මෙතෙක් අත් නොවිඳි තත්වයක පසුවේ. කෙසේ වෙතත් යථාර්ථවාදී සහ උපායමාර්ගිකව ප්‍රතිචාර දක්වා ඇත. ඉදිරියේ දී තවදුරටත් අස්ථාවර විය හැකි ජාත්‍යන්තර පසුබිමක් තුළ මෙවැනි තීරණ සහිත පරෙස්සම්වීම අනාගතයේ දී වඩාත් දැනෙන අවශ්‍යතාවක් වනු ඇත.
මෙවැනි පසුබිමක් තුළ ජීවිත අහිමි වීම සැබවින්ම ඉතා ඛේදජනකය. මෙම සිද්ධිය දෙස මානුෂීය ස්වභාවයකින් සැලකිය යුතුය. යුද පරිසරයක් තුළ ගත් තීරණය ගැන සලකා බලන විට, මෙම සංකීර්ණ හා සංවේදී අභියෝගයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් ඉතා සැලකිලිමත්ව හා විචක්ෂණශීලීව ක්‍රියාකර ඇත. ඇතැම් විවේචකයන්ට අනුව, කලාපයේ ප්‍රධාන ආරක්ෂක සැපයුම්කරුවා ලෙස පිළිගැනෙන ඉන්දියාව වෙනත් තීරණයක් ගත යුතුව තිබුණි. ඉරානය සමග ඇති ගැටුම ඉන්දියන් සාගරය පුරා විහිදුවමින් ඇමරිකා එක්සත් ජනපදය ගෙන යන මෙහෙයුම් වලට වඩාත් දැඩි ප්‍රතිචාරයක් දැක්විය යුතුව තිබුණි. තවත් සමහරු, ‘ඉන්දියන් සාගරය සාම කලාපයක්’ යන පැරණි මතය පදනම්ව, මෙවැනි ගැටුම් මෙම සාගර කලාපයේ තිබිය යුතු නැති බව තරයේ ප්‍රකාශ කරමින් සිටිති. කලාපය තුළ දිගුකාලීනව හැඩගැසී ඇති ආරක්ෂක උපාය සම්බන්ධ යථාර්ථය මෙම තර්කවලින් නොසලකා හැර ඇත. ඉන්දියන් සාගරය කිසිදා භූ - දේශපාලනික ගැටුම්වලින් තොර කලාපයක් වූයේ නැත. බලවත් රටවල් කිහිපයක අභිලාශයන්ට අනුව හැඩ ගැසුණු සාගර කලාපයක් බව ඉතිහාසය සාක්ෂි දරයි.
දියාගෝ ගාර්සියා දූපතේ දැවැන්ත හමුදා මධ්‍යස්ථානයක් ඇමරිකා එක්සත් ජනපදය පවත්වාගෙන යන අතර, එය වසර පනහකට වඩා වැඩි කාලයක් තිස්සේ පවතී. ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ජපානය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය සහ ස්පාඤ්ඤය ඇතුළු රටවල් කිහිපයක් භාවිත කරන හමුදා කඳවුරු ජිබුර්ටි හි පවතින බව උදාහරණ වශයෙන් සඳහන් කළ හැකි වේ. මෙවැනි පසුබිමක් තුළ ඉන්දියන් සාගරය භූ-දේශපාලනික බලපෑම්වලින් සම්පූර්ණයෙන්ම වෙන්ව පැවැතීමක් බලාපොරොත්තු විය යුතු නැත. මෙම යථාර්ථය ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා ද දක්වා තිබුණි. ඉන්දියන් සාගරය යනු බලය ඇති පාර්ශව ගණනාවක අභිලාෂ සහ ඔවුන්ගේ ශක්තිය අනුව හැඩගැස්වෙන සංකීර්ණ ප්‍රදේශයක් බව අමතක කළ යුතු නැත. කෙසේ වෙතත් කලාපයේ බලවත් රටක් වශයෙන් ඉන්දියන් සාගර කලාපයේ අනාගතය හැඩගැස්වීමේ ප්‍රධාන භූමිකාවක් ඉන්දියාව සතුව ඇත. ආදර්ශයක් වෙනුවට යථාර්ථවාදී රාමුවක් තුළ එම වගකීම ඉටුවිය යුතු ය.
ඉරාන නෞකාවට එල්ල වූ ප්‍රහාරය සමග ඉන්දියාව නිතර සඳහන් කරන ‘කලාපයේ ආරක්ෂක භූමිකාව’, සම්බන්ධ අභියෝග ද මෙහි දී මතුවේ. සංකීර්ණ යුද පරිසරයක් තුළ පැන නැගෙන නායකත්වය මහත් ඝෝෂාවකින් හෝ සෘජු ගැටුම් ඇති කරගැනීම නොවේ. නිහතමානී රාජ්‍යතාන්ත්‍රික ස්වභාවය, අර්බුද කළමනාකරණය කළ හැකි සූක්ෂම ක්‍රියාකාරීත්වය සහ ප්‍රධාන බලවතුන් අතර පවතින තරගකාරී අභිලාෂ තුලනය කිරීමට ඇති හැකියාව වැනි සුදුසුකම් අවශ්‍යය. මෙවැනි අවස්ථාවක අනන්‍ය සීමා තුළ ක්‍රියාකිරීමෙන් බලය පෙන්වීමකට වඩා ශක්තියක් මැනැවින් අඟවන බව ද සඳහන් කළ හැකිය.
කෙසේ වෙතත් පවතින ගෝලීය දේශපාලනය තුළ සිදුවන ගැඹුරු වෙනස්කම් පිළිගැනීමට ඇතැම් විදේශ ප්‍රතිපත්ති විචාරකයන් ගේ කැමැත්තක් නැත. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගුණු ජාත්‍යන්තර පද්ධතිය අද වන විට දැඩි පීඩනයක පවතී. එය තව දුරටත් වෙනස් වෙමින් තිබේ. නීති සහ ආයතන මත පදනම්ව ලෝකය පාලනය වනු ඇතැයි තිබූ අදහස පරිවර්තනය වී ඇත. ඉතා තරගකාරී හා අවිනිශ්චිත ජාත්‍යන්තර පැවැත්මකට මාරු වෙමින් තිබේ. පැන නැගෙමින් පවතින ගෝලීය පරිසරය අවුල් සහගත, තරගකාරී සහ සමහර අවස්ථාවල ඉතා භයානක තැනකට තල්ලු විය හැක. එය 1945 පසු කාලයේ සම්බන්ධයෙන් තිබූ සෘජු සහ සංවිධානාත්මක ජාත්‍යන්තර පද්ධතියට වඩා, 19 වන ශතවර්ෂයේ ඉතා තියුණු බලඅරගලකාරී තරගයක් ලෙස හඳුන්වන භූ දේශපාලනික ව්‍යුහයකි.
ජර්මනියේ විසූ යථාර්ථවාදී දේශපාලන විද්වතෙකු වූ හාන්ස් මොර්ගෙන්තෝ ප්‍රකාශ කළේ ජාත්‍යන්තර දේශපාලනය මෙහෙයවනු ලබන ප්‍රධාන සංකල්පය ‘බලය අනුව නිර්වචනය වන කැමැත්ත’ බවයි. එම අදහස බල අරගලකාරී රටවල්වල හැසිරීම් තුළ පැහැදිලිව පෙනී යයි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකම තීරණ ගත යුතු යථාර්ථවාදී ස්වභාවය මැනැවින් පෙන්වා දී ඇත. අනවශ්‍ය ගැටුම් උත්සන්නවීම වළක්වන අතර, මානුෂික සලකා බැලීම් සහ යුද නීතික තත්වය අතර සමතුලිතතාවක් තබාගැනීමට උත්සාහ කර ඇත.
ගෝලීය පීඩනය තව දුරටත් තීව්‍රවන සහ භූ - දේශපාලනික තරගය ගොඩබිම අභිබවා සාගරය තෙක් පැතිර යන විට, යථාර්ථවාදීව ගන්නා මෙවැනි තීරණ ඉතා වැදගත්ය. සිද්ධි බුද්ධිමත්ව පාලනය කිරීම ඉන්දියන් සාගර කලාපයේ රටවල් මුහුණ පා ඇති සැබෑ අභියෝගයකි. පැහැදිලිව පෙනෙන ආකාරයට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් අනාගතය විසින් ඉල්ලා සිටින දිශාව වෙත පියවරක් තබා තිබේ. කලාපයේ අනෙක් රටවල් සමග එක්ව, ඉතා සංකීර්ණ භූ-දේශපාලන පරිසරයක් තුළ ඉන්දිය සාගර කලාපයේ කටයුතු සාර්ථකව මෙහෙයවීමට මෙම කලාපයේ නායකයන්ට අනාගතයේ දී හැකිවනු ඇතැයි බලාපොරොත්තු තැබිය යුතුය.
(මිලින්ද මොරගොඩ - ශ්‍රී ලංකාවේ හිටපු කැබිනට් අමාත්‍යවරයකු, රාජ්‍යතාන්ත්‍රිකයකු සහ උපාය මාර්ගික කටයුතු පිළිබඳ චින්තන මධ්‍යස්ථානයක් වන පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘවරයාය. එන්.ඩී.ටී.වී වෙබ් අඩවියේ 2026.03.10 දින පළ වූ අතර, එහි සිංහල පරිවර්තනය වේ. [email protected] මගින් ප්‍රතිචාර දැක්විය හැකිය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd