
වෙළෙඳ භාණ්ඩ අපනයනය ඩො.මිලියන 1,066 ක් දක්වා සියයට 1.32 කින් ඉහළට
ඇගලුම්, තේ සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම් පහළට
සේවා අපනයන ආදායමේ සියයට 14.68ක කැපී පෙනෙන වර්ධනයක්
අපනයන ගමනාන්ත 15න් ගමනාන්ත 09 ක ආදායම් පහළට
භානුක අමරසිංහ
2026 පෙබරවාරි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ හා සේවා ඇතුළු මුළු අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,401.78 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 පෙබරවාරි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 1,344.97 ක මුළු අපනයන ආදායම හා සැසඳීමේදී සියයට 4.22 ක වර්ධනයක් බව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.
ශ්‍රී ලංකා රේගුව මගින් නිකුත් කළ දත්ත අනුව පෙබරවාරි මාසය සඳහා වන අපනයන කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරමින් එම මණ්ඩලය මෙම කරුණු සඳහන් කරයි.
මෙහිදී පෙබරවාරි මාසයේ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයනය ඩොලර් මිලියන 1,066.88 ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2025 පෙබරවාරි මාසයේ වාර්තා කළ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,052.93 හා සැසඳීමේදී සියයට 1.32 ක වර්ධනයකි.
ඒ යටතේ පොල් ආශ්‍රිත නිෂ්පාදන ඩොලර් මිලියන 83.23 ක සිට ඩොලර් මිලියන 104.22 ක් දක්වා සියයට 25.22 කින්ද, දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ ඩොලර් මිලියන 27.68 ක සිට 28.86 ක් දක්වා සියයට 4.26 කින්ද, විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපාංග ඩොලර් මිලියන 31.32 ක සිට 48.35ක් දක්වා සියයට 54.37 කින්ද, ආහාර සහ පාන වර්ග ඩොලර් මිලියන 41.23 ක සිට 56.22 ක් දක්වා සියයට 36.36 කින්ද, ඛනිජ තෙල් නිෂ්පාදන ඩොලර් මිලියන 81.11 ක සිට 85.15ක් දක්වා සියයට 4.98 කින්ද ඉහළගොස් තිබේ.
මෙම අපනයන කාර්යසාධනය සම්බන්ධයෙන් ඊයේ (26) මාධ්‍ය වෙත අදහස් දැක් වූ (EDB) සභාපති සහ මංගල විජේසිංහ මහතා, ප්‍රධාන වෙෙළඳපොළවල් යථා තත්වයට පත්වීම, තිරසාර නිෂ්පාදන ධාරිතාව සහ අපනයන සංවර්ධන උපාය මාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම හරහා ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිමත්භාවය සහ තරඟකාරිත්වය අවධාරණය කරන බව පවසා සිටියේය.
කෙසේ වෙතත් 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ පෙබරවාරියේදී ඇගලුම් සහ රෙදිපිළි අපනයන ආදායම ඩොලර් මිලියන 427.28 ක සිට 384.44 ක් දක්වා සියයට 10.03 කින්ද, තේ අපනයන ආදායම ඩොලර් මිලියන 119.41 ක සිට 114.98 ක් දක්වා සියයට 3.71 කින්ද, රබර් ආශ්‍රිත නිෂ්පාදන ඩොලර් මිලියන 83.11 ක සිට 78.41 ක් දක්වා සියයට 5.66 කින්ද පහත වැටී තිබේ.
මේ අතර සේවා අපනයන ආදායම පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී වාර්තා කළ ඩොලර් මිලියන 292.04 ට සාපේක්ෂව මේ වසරේදී ඩොලර් මිලියන 334.9 ක් දක්වා සියයට 14.68 ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කිරීමක් සුවිශේෂී අවස්ථාවක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
මේ අතර 2026 වසරේ ජනවාරි - පෙබරවාරි මුල් මාස දෙකේදී භාණ්ඩ හා සේවා ඇතුළු මුළු අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,896.31ක් ලෙස සටහන්ව තිබේ. එය 2025 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ ඩොලර් මිලියන 2,692.76 හා සැසඳීමේදී සියයට 7.56 ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ.
“2026 වසර තුළ අපි අපනයන ආදායමේ සියයට 10ක වර්ධනයක් අපේක්ෂා කරනවා. ඒ සඳහා මුලපිරිමක් ලෙස වසරේ මුල් මාස දෙකේදී සියයට 7.5ක අපනයන ආදායම් වර්ධනයක් හිමි කරගැනීමට ශ්‍රීලංකාව සමත්ව තිබෙනවා.” යනුවෙන්ද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
කෙසේ වෙතත් අපනයන ආදායම් වැඩි කරගැනීම සදහා අපනයන විවිධාංගීකරණය සහ වෙළෙද පොළ විවිධාංගීකරණය අවශ්‍ය බව පෙන්වාදුන් සභාපතිවරයා, ඒ සඳහා දැනට පවතින ඉන්දියානු, පාකිස්තාන සහ සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට අමතරව නව නිදහස් වෙළෙඳ ගිවිසුම් වෙත යාමට කටයුතු කරන බව පවසා සිටියේය.
මෙම දත්ත වාර්තා අනුව 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2026 පෙබරවාරියේදී මෙරට ප්‍රධානතම අපනයන ගමනාන්ත 15න් ගමනාන්ත 09 කම අපනයන ආදායම් යම් ප්‍රමාණයකින් අඩු වී තිබේ. ඒ අනුව මේ අතරින් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබුණු ආදායම ඩොලර් මිලියන 240.53 ක සිට 239.80 ක් දක්වා සියයට 0.30 කින්ද, ඉන්දියාවෙන් ලැබුණු ආදායම ඩොලර් මිලියන 83.32 ක සිට 78.44 ක් දක්වා සියයට 5.86 කින්ද. එක්සත් රාජධානියෙන් ලැබුණු ආදායම ඩොලර් මිලියන 72.73 ක සිට 67.36 ක් දක්වා සියයට 7.38 කින්ද, ජර්මනියෙන් ලැබුණු ආදායම ඩොලර් මිලියන 56.98 ක සිට 46.24 ක් දක්වා සියයට 18.85 කින්ද, නෙදර්ලන්තයෙන් ලැබුණු ආදායම ඩොලර් මිලියන 33.46 ක සිට 27.8 ක් දක්වා සියයට 16.92 කින්ද අඩුවී තිබේ.
කෙසේ වෙතත් එක්සත් අරාබි එමීරයෙන් ලැබුණු ආදායම ඩොලර් මිලියන 26.16 ක සිට 36.69 ක් දක්වා සියයට 51.72 කින්ද, චීනයෙන් ඩොලර් මිලියන 23.16ක සිට 27.21 ක් දක්වා සියයට 17.43 කින්ද, ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 19.22 ක සිට 20.89 ක් දක්වා සියයට 8.69 කින්ද, මෙක්සිකෝවෙන් ඩොලර් මිලියන 16.38 ක සිට 21.19 ක් දක්වා සියයට 29.37 කින්ද පෙබරවාරි මාසයේදී අපනයන ආදායම් ඉහළ නැග තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd