සිංගප්පූරුවේ ස්ථාපිත සමාගමක් හරහා ජාත්‍යන්තර ව්‍යාපාර වෙත පිවිසීමට යයි


සාගර අභ්‍යන්තර කේබල් පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීමටත් පියවර


භානුක අමරසිංහ


ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම ඉදිරියේදී ඩොලර් ආදායම් ඉපැයීම් ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර ව්‍යාපාර වෙත පිවිසීමට සැලසුම් කර ඇතැයි පවසයි. ඒ සඳහා වන ආයෝජන රැසක් මේ වන විටත් සිදු කරමින් පවතින බවත්, ඒ හරහා වැඩි වශයෙන් විදේශ විනිමය මෙරට වෙත ගෙන්වා ගැනීම අරමුණ වී තිබේ. 
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම 2025 වසරේ වාර්තා කළ කාර්යසාධනය සහ 2026 වසරේ ඉදිරි සැලසුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (26) කොළඹදී පැවැත්වුණු  මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය විය.
මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා විශේෂයෙන්ම මෙම වසර තුළදී ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සිය ෆයිබර් ජාලය, 5G සේවාව, ක්ලවුඩ් පරිගණක සේවා මෙන්ම කෘත්‍රිම බුද්ධි සේවා වැඩිදියුණු කිරීම වෙත ආයෝජන ප්‍රමුඛතාව ලබාදී ඇතැයි සඳහන් කළේය.  
“අපි ඩොලර් ආයෝජනය කරමින් රුපියල් උපයන සමාගමක්. ඒත් අපි ඩොලර් ආරක්ෂා කරගත යුතු වෙනවා. ඒ සඳහා අපි ඉදිරියේදී ජාත්‍යන්තර ව්‍යාපාර වෙත යොමුවෙනවා. ඒවා විදේශ විනිමය ආකර්ෂණය කරන ව්‍යාපාර වේවි.” සභාපතිවරයා පැවසුවේය.
ඒ අනුව මෙහි එක් අවස්ථාවක් ලෙස සාගර අභ්‍යන්තර ෆයිබර් ඔප්ටික් කේබල් පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ආයෝජන සිදු කරන බවත්, සිංගප්පූරුවේ ස්ථාපිත කර ඇති Xyntac Singapore Pte. Ltd නම් සමාගම හරහා ගෝලීය සමාගම් වෙත සේවා සැපයීම සැලසුම බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී එන්ටර්ප්‍රයිස් ව්‍යාපාර අංශයේ ප්‍රධාන ව්‍යාපාර නිලධාරී ලක්මාල් ජයසිංහ මහතා, “ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් ලෙස ස්ථාපිත කර ඇති මෙම සමාගම සඳහා සේවා පාදක මෙහෙයුම් බලපත්‍රය (SBO ) වගේම පහසුකම් පාදක මෙහෙයුම් බලපත්‍රය (FBO) සඳහා අපි ඉල්ලු‍ම් කර තිබෙනවා. මේ බලපත්‍ර හිමිවීමත් සමගින්ම අපිට මේ ගෝලීය ව්‍යාපාරය ආරම්භ කිරිමට හැකි වෙනවා. බොහෝ ගෝලීය මෙහෙයුම්කරුවන් දැනටමත් සිංගප්පූරුව මූලික කරගනිමින් තමන්ගේ ව්‍යාපාර සිදු කරනවා. එය අපිටත් අපගේ ව්‍යාපාර ගෝලීයව ව්‍යාප්ත කිරීමට පහසුවක් වේවි.”
එසේම අද වනවිට ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සතුව සාගර අභ්‍යන්තර කේබල් පද්ධති හතරක් තිබෙන බවත්, එහි පස් වැන්න 2027 පළමු කාර්තුවේදී සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

ඡායාරූප - කිත්සිරි ද මෙල්