• ලබන වසරේදී 3.1  දක්වා තවත් පහළට
  • ව්‍යුහාත්මක බාධා ආර්ථික වර්ධනය පහළ යෑමට හේතුලු‍
  • අපනයන සඳහා ඇති ඉල්ලු‍ම පහළ යෑම සහ ආර්ථික අර්බුදය හේතුවෙන් තවමත් එල්ල වන බලපෑම්ද ඒ අතර
  • තීරුබදු තවත් ඉහළ ගියහොත් ඉන් අපනයනවලට බලපෑමක් එල්ල වී ආර්ථික වර්ධන වේගය තවත් පහළට
  • පුහුණු ශ්‍රමිකයන් විදේශගතවීමේ පීඩනය ශ්‍රී ලංකාවටඉහළ මට්ටමකින් බලපාලා
  • තරුණ ප්‍රජාව සහ ඉහළ කුසලතා සහිත පිරිස් වැඩි වශයෙන් විදේශගත වන බවට පුරෝකථනයක්

විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගය සියයට 3.5ක් දක්වා පහළ යනු ඇති බවත් එලෙස පහළ යන මෙරට ආර්ථික වර්ධන වේගය ලබන වසරේදී සියයට 3.1 දක්වා තවත් පහළ යනු ඇති බවත් ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

මෙරට නිෂ්පාදන වෙළඳපොළේ තිබෙන අකාර්යක්ෂමතා සහ ආර්ථික වර්ධනයට තිබෙන ව්‍යුහාත්මක බාධා එලෙස ආර්ථික වර්ධනය පහළ යෑමට හේතුවනු ඇතැයි එම වාර්තාව පෙන්වා දුන්නේය. එසේම ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් මෙරට අපනයන සඳහා ඇති ඉල්ලු‍ම පහළ යෑම සහ ආර්ථික අර්බුදය හේතුවෙන් තවමත් මෙරටට එල්ල වන බලපෑම්ද ආර්ථික වර්ධන වේගය මෙම වසරේදී සහ ලබන වසරේදී පහළ යාමට හේතුවක් වනු ඇතැයි ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.

ප්‍රතිපත්ති අවිනිශ්චිතතා සහ වෙළෙඳ සීමා තවත් ඉහළ ගියහොත් ඉන් ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු දකුණු ආසියානු කලාපයේ ආර්ථික වර්ධන වේගය තවත් පහළ යා හැකි බව එම වාර්තාවේ දැක්වේ. 

සඳහන් සීමාවට වඩා ද්වී පාර්ශ්වික තීරුබදු ලිහිල් කිරීමක් සිදුවුවහොත් ඉන් ආර්ථික වර්ධන වේගය ඉහළ යාමට හැකියාවක් තිබෙන බවත් කෙසේ නමුත් පනවා ඇති තීරුබදු තවත් ඉහළ ගියහොත් ඉන් අපනයන වලට බලපෑමක් එල්ල වී ආර්ථික වර්ධන වේගය තවත් පහළ යනු ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

දිට්වා සුළි කුණාටුව වැනි ස්වාභාවික ආපදා තත්ව මෙන්ම නිතර නිතර සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් ආර්ථික වර්ධන වේගයට බලපෑමක් එල්ල විය හැකි බවත් ඉන් ආර්ථික හානි මෙන්ම මානුෂික හදිසි අවශ්‍යතා මතුවිය හැකි බවත් එම වාර්තාවේ දැක්වේ.

දකුණු ආසියානු කලාපය නිරන්තරයෙන් ස්වාභාවික ආපදා තත්වයන්ට මුහුණදීම අවදානමක් තිබෙන බවද එම වාර්තාව පෙන්වා දෙයි.

එසේම පුහුණු ශ්‍රමිකයන් විදේශගතවීමේ පීඩනය ඉහළ මට්ටමකින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයකට බලපානු ඇති බවත් විශේෂයෙන් තරුණ ප්‍රජාව සහ සමාජයේ ඉහළ කුසලතාවක් සහිත රැකියා සිදු කරන්නන් මෙම වසරේදී මෙන්ම ලබන වසරේදී වැඩි වශයෙන් විදේශගත වීමට උත්සාහ දරුණු ඇති බවත් ලෝක බැංකු වාර්තාවේ දැක්වේ.

සමස්තයක් ලෙස දකුණු ආසියානු කලාපයේ මෙම වසරේ ආර්ථික වර්ධන වේගය 6.2 ක් වනු ඇති බවත් එයට ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ අපනයන සඳහා ඇමෙරිකා පනවා ඇති තීරු බදු හේතු වනු ඇති බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

මීට පෙර අවස්ථාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර සිටියේ පසුගිය වසරේදී සියයට 4.2 ක සැලකිය යුතු ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව ළඟා කරගනු ඇති බවත් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවුණු බලපෑමෙන් සියයට 2.9 ක මන්දගාමී ආර්ථික වර්ධන වේගයක් ලබන වසරේදී ශ්‍රී ලංකාව අත්කර ගනු ඇති බවත්ය. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට පෙර අවස්ථාවක ප්‍රකාශ කර සිටියේ පසුගිය වසර දෙකෙහි මෙරට ආර්ථික වර්ධන වේගය සැලකිල්ලට ගත් විට මෙම වසරේදී ශ්‍රී ලංකාව සියයට 4ත් 5ත් අතර ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගනු ඇති බවයි.