මුල් මාස හතරේ සංචාරක පැමිණීම් 876,277 ක් ලෙස සියයට 2.29 ක අඩුවීමක් 


මේ වසරේ අප්‍රේල් මාසයේදී මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 135,643ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙය 2025 වසරේ අප්‍රේල් මාසයේදී පැමිණි සංචාරකයන් 174,608 හා සැසඳීමේදී සියයට 22.3ක අඩුවීමකි.  

මෙම තත්වයත් සමගින්ම වසරේ පිට පිට මාස දෙකක් සංචාරක පැමිණීම් කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කර තිබේ. මාර්තුවේදී පැමිණි 183,979ක සංචාරකයන් සංඛ්‍යාව 2025 වසරේ පැමිණි 229,298 හා සැසඳීමේදී සියයට 19.7ක අඩුවීමක් සටහන් කළේය. 

විශේෂයෙන්ම මැදපෙරදිග යුද ගැටුම් තත්වය මෙන්ම අප්‍රේල් මාසයෙන් ආරම්භ වන සංචාරකයන් වැඩි වශයෙන් නොපැමිණෙන සමයත් මීට හේතුව වී තිබේ. ඒ අනුව අප්‍රේල් මාසයේ දෛනික සංචාරක පැමිණීම්හි සාමාන්‍ය 4,521ක් ලෙස සටහන්ව තිබේ. 

මේ අතර ජනවාරි සහ පෙබරවාරි මාසවල පිළිවෙළින් පැමිණි සංචාරකයන් 277,327ත්, 279,328ත් අනුව වසරේ මුල් මාස හතර තුළ පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 876,277 ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2025 වසරේ මුල් මාස හතරේ පැමිණි සංචාරකයන් 896,884 හා සැසඳීමේදී සියයට 2.29 ක අඩුවීමකි.