සුළුතර කොටස්හිමිකරුවන් සතු කොටස් අලෙවියට නි 05 දක්වා අවස්ථාව 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බ්‍රවුන්ස් බීච් හොටේල්ස් පීඑල්සී සමාගම එම ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමට අදාළව සුළුතර කොටස්හිමිකරුවන් සතු කොටස් ආපසු මිලදී ගැනීම ආරම්භ කර ඇතැයි පවසයි. 

බ්‍රවුන්ස් බීච් හොටේල්ස් පීඑල්සීහි බහුතර කොටස්හිමිකරුවන් දෙදෙනා වන, මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සහ එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් මෙම මිලදී ගැනීමේ යෝජනාව ඉදිරිපත් කර තිබේ. 

ඒ අනුව දැනට නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් සඳහා රුපියල් 30ක වටිනාකමක් ලබා දෙන බව සමාගම සඳහන් කරයි. ඊට අදාළව “පිළිගැනීම සහ හුවමාරුව සඳහා වන ඉල්ලු‍ම්පත්‍රය” මේ වනවිටත් විවෘත කිරීමට සමාගම කටයුතු කර ඇත. ලබන ජූනි 05 වැනිදා පස්වරු 4.30 දක්වා එම කොටස් අලෙවියට අවස්ථාව පවතින බවත් පැවසෙයි. 

2019 වසරෙන් පසුව ගෝලීයව මෙන්ම රට තුළ ඇති වුණු ආර්ථික අර්බුදකාරී තත්වය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය වෙත එල්ල වූ බලපෑම් සිය මෙහෙයුම් වෙත හානිකර ලෙස බලපෑම මෙලෙස ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමට හේතුව බව බ්‍රවුන්ස් බීච් හොටේල්ස් පීඑල්සී පවසා සිටියි.