දැනට මෙරට සිටින BMW ගනුදෙනුකරුවන්ට කිසිදු බාධාවකින් තොරව Prestige Automobile (Pvt) Ltd සමාගම හරහා සේවා සහ සහයෝගය


මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන Mels Automobiles (Private) Limited සමාගම මෙරට වෙත BMW මෝටර් රථ ආනයනය සහ අලෙවිය පිළිබඳ බලයලත් අලෙවි නියෝජිතයා ලෙස පත් කර ඇතැයි පවසයි. 

පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම මේ පිළිබඳව සඳහන් කර තිබේ. අනුව මෙම පත් කිරීමත් සමගින්ම Mels Automobiles (Private) Limited සමාගම මෙරට තුළ නව BMW රථ ආනයනය, අලෙවිය සහ බෙදාහැරීම මෙන්ම නියම BMW අමතර කොටස් සැපයීමද සිදු කරන බව පවසයි.  

එසේම  ගෝලීය BMW ප්‍රමිතීන් සමගින් සම්පූර්ණයෙන්ම සමපාත වෙමින් මෙරට තුළ BMW අලෙවියෙන් පසු සේවා මෙහෙයුම් පවත්වාගෙන යාමටද  Mels Automobiles (Private) Limited සමාගම වෙත බලය හිමිව තිබේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක අදහස් දක්වන මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සභාපති හසිත ජයවර්ධන මහතා, BMW වාහන ආනයන කිරීමේ සහ අලෙවි කිරීමේ නියෝජිතයා ලෙස පත්වීම සිය සමූහයේ වැදගත් සන්ධිස්ථානයක් බවත්, මෙය ශ්‍රී ලංකාව තුළ BMW සන්නාමයේ නව යුගයක් හඳුන්වා දෙනු ඇතැයිද පවසා තිබේ.
BMW සමූහයේ ආසියානු කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂ රෙනේ ජර්හාර්ඩ්, රට තුළ සුඛෝපභෝගී වාහන ආනයන නැවත විවෘත කිරිමත් සමගින්ම BMW රථ ආනයනය සහ බෙදාහැරීම සඳහා Mels Automobiles (Private) Limited වෙත අවස්ථාව ලබාදීම රට තුළ සිය සන්නාමයේ නව පරිච්ඡේදයක් සටහන් කරන බවත්, මෙරට වෙළෙඳ පොළ සතු දීර්ඝකාලීන විභවතාව පිළිබඳ සිය විශ්වාසයත් එම තීරණයෙන් පෙන්නුම් කරන බවත් පවසා ඇත.
මෙතෙක් කලක් මෙරට තුළ BMW රථ ආනයනය සහ බෙදාහැරීමේ බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කළේ Prestige Automobile (Pvt) Ltd සමාගමයි.  ඒ අනුව දැනට මෙරට සිටින BMW ගනුදෙනුකරුවන්ට කිසිදු බාධාවකින් තොරව එම සමාගම හරහා සේවා සහ සහයෝගය ලැබෙන බවත් මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම සහතික කරයි.