IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


බලශක්තිය: ඉදිරි සැලසුම් සාර්ථකද?

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති ලේඛනවලින් කවදා හෝ ඉහළ මට්ටමේ ජාත්‍යන්තර අරමුණු වැළඳගැනීමේ හැකියාව මගහැරී ගියේ දෝයි, මා තුළ පවතින්නේ බැරෑරුම් සැකයකි. බලශක්තියට අදාළ ප්‍රතිපත්ති ද ඊට වෙනස් වුවක් නොවේ. 2019 ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය  හා උපායමාර්ගයන් මෙතෙක් වඩාත්ම ජාත්‍යන්තරය හා …එකේදි වූ මෙරටේ බලශක්ති ප්‍රතිපත්තියයි. එය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු හා 2050 වන විට කාබන් උදාසීනකරණය (කාබන් මුක්තවීම අවම කිරීම) පිළිගනිමින් සැකසූවකි.
සුපිරිසුදු බව හා වියදම දරාගත හැකි බලශක්තිය තහවුරු කර ගැනීම අරමුණු කර ගෙන, අගේට ලියා සැකසූ ලේඛනයක් වූ එයින් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු අනුගමනය කර තිබිණි. විශේෂයෙන් බලශක්ති ආරක්ෂාව, පාරිසරික සමතුලනය සහ බලශක්ති සමානාත්මතාව යන ත්‍රිවිධ විරුද්ධභ්‍යාසය (අසීරු තීරණ ත්‍රිත්වය) සම්බන්ධයෙන් තුලිත බව ආරම්භ කිරීම උදෙසා එය කුලුනු 10 ක් මත ගොඩනැගූවක් බව කියවිණි. මෙකී අසීරු තීරණ ත්‍රිත්වය සම්බන්ධ සමතෝලනය රැකීමේ දී මෙම කුලුනු 10 තුළ මගහැරී ගිය කිසිම කාරණයක් කිසිදු අයෙකුට සොයාගත හැකි වේ යයි මම නොසිතමි. එසේම එම ප්‍රතිපත්ති ලේඛනයේ එය ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ග සහ ප්‍රතිඵල ලැබීමේ රාමු රටාව ඉතා දක්ෂ ලෙස එහි අන්තර්ගතව තිබුණු අතර, ඒ තුළ කිසිදු අඩුපාඩුවක් කිසිවකුට දැකගත හැකි වේදැයි සිතාගැනීමට පවා අසීරුය.
ඉහත සඳහන් කළ ලේඛනයට අනුගතවෙමින් රටේ ප්‍රමුඛතම විදුලිබල උපයෝගිතා ආයතනය වූ ලංකා විදුලිබල මණ්ඩලය 2025 - 2044 කාලපරිච්ඡේදය උදෙසා වූ දීර්ඝකාලීන, විදුලිබල උත්පාදන ව්‍යාප්ත සැලසුම මෑතකදී හඳුන්වා දුන්නේය. මෙම ලංවිම විසින් වසර දෙකකට වරක් සුපුරුදු පරිදි සැකසුම් කරනු ලබන්නකි. එය වසර 20ක ඉදිරි කාලයක් උදෙසා සැකසේ. මූලික ඉලක්කය 2050දී කාබන්වලින් තොර බව (කාබන් උදාසීනත්වය) ලෙස තබාගනිමින් මෙම වාර්තාවෙන්, මෙම අංශයේ පුනර්ජනීය බලශක්තියේ ප්‍රචණ්ඩ (ශීඝ්‍ර) වර්ධනයක් ඇති කිරීමට යෝජනා කෙරේ. මෙම වාර්තාව අනුව දළ වශයෙන් සුළං බලශක්තියෙන් ගෙගා වොට් 2.6 සහ සූර්ය බලශක්තියෙන් ගෙගාවොට් 9ක් ජාල රටාවලට එක් කොට 2044දී ඉල්ලුමෙන් සියයට 70ක කොටසක් පුනර්ජනනීය බලශක්තිවලින් සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම එක් කිරීම් දෙකම නිසැක ලෙස ඉහළ අභිලාෂයකින් සමන්විත පෙර නොවූ විරූ ආකාරයේ ඒවාය. බලශක්ති ප්‍රතිපත්තියේ අංගයක් ලෙස මෙම අසාමාන්‍ය ප්‍රගමනය ඔස්සේ ජාත්‍යන්තර අරමුණු සමග එකේළිවීමේ කැපවීම නියත ලෙස ප්‍රදර්ශනය කෙරේ.


අසීරු තීරණ ත්‍රිත්වයේ උභතෝකෝටිකය: සමතෝලනය කෙරේ සැලකිලිමත් වීම:
කෙසේ වුවද මෙයින් මූලික ප්‍රශ්නයක් පැන නැගීම නොවැළැක්විය හැක්කක් බවට පත් වනු ඇත. එවැනි ප්‍රචණ්ඩ ආකාරයකින් පුනර්ජනනීය බලශක්ති කොටස නැංවීම මගින් අප ඇත්ත වශයෙන්ම අත්පත් කර ගන්නා තිරසාරත්වයේ උත්තරීතර බව කෙබඳු වේද?
එසේ නැතහොත් වාර්තාවේ පිළිගෙන ඇත්තා සේ අසීරු තීරණ ත්‍රිත්වය තුළ අපි කෙබඳු සමතුලිත බවක් අත්පත් කර ගනිමුද? කාබන් ඩයොක්සයිඩ් නිකුතුව අවම කර ගැනීමට අවධානය යොමුවී ඇති බව පැහැදිලිය. එහෙත් බලශක්ති සුරක්ෂිත බව හා සමානාත්මතාව හා වියදම් දරාගැනීමේ හැකියාව යන අරමුණුවලට එහිදී කුමක් සිදුවේද? මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර ඇතැම් මූලික කාරණා කිහිපයක් පිළිබඳ දැනුවත් කිරීම වටනේය.
මෙම සාකච්ඡාව අවධානය යොමු කරනුයේ සුළං බලශක්තිය සම්බන්ධයෙන් නිසා  මේ වන විට රටේ සමස්ත (ගොඩබිම) ධාරිතාව වූ ගෙගාවොට් 20න් මේ වන විට උත්පාදනය කරනුයේ මෙගාවොට් 250ක් හෙවත් සියයට එකක් පමණ බව හඳුනාගැනීම වැදගත් වේ. සුළං බලශක්තිය එක්කර ගැනීම පිළිබඳව අප කතා කරනුයේ 1990 ගණන්වල පටන්ය. මහා පරිමාණ සුළං බලාගාරයක් පළමුවෙන්ම ස්ථාපිත කරනු ලැබුවේ 2000 ගණන්වල මුල් කාලයේය. එබැවින් 2025 වන විටත් රටේ සුළං බලශක්ති විභවතාව නිසි පරිදි උපයෝගි කර නොගෙන සියයට එකක මට්ටමේ තවමත් පවතින්නේ ඇයි? මෙම අංශයේ දේශීය අන්තර්ගතයේ (ධාරිතාවේ) මට්ටම සහ අගය එකතු කිරීමේ හැකියාව පරීක්ෂා කර බැලූ විට ඊට පිළිතුර පැහැදිලි වන්නේය. එක් එක් අදියරක් පාසා, නිර්මාණ සැලසුම, වර්ධනය, නිෂ්පාදනය, ස්ථාපිත කිරීම, මෙහෙයුම් සිදු කිරීම හා නඩත්තු කිරීම යන අදියර තුළ දේශීය හැකියාව කෙතරම් දුරට පවතීද? අවාසනාවකට දේශීය දායකත්වය තුළ පවතින්නේ සෑහෙන සීමිත බවකි. සම්පාදනය, ශ්‍රමය, මෙහෙයුම සහ එදිනෙදා නඩත්තු කිරීම හැරුණු කොට අනෙක් සෑම කාරණාවකදීම එම සීමා පවතී. මෙයින් පැහැදිලිව දිස්වන්නේ තාක්ෂණය විශාල ලෙස අපට විදේශිකව (පරිබාහිරව) පවතින බවයි. එම තත්වය ඔස්සේ විදේශීය විශේෂඥ ඥානය සහ තාක්ෂණය වෙත විශ්වාසය තැබීමට සිදුවීම වැළැක්විය නොහැකිය. එසේම එම වෑයම මූල්‍යමය අභියෝගයක් වීම ද අනිවාර්යයෙන්ම සිදුවේ. මෙම සන්දර්භය තුළ මෙම අංශය දැන් ප්‍රචණ්ඩ සුළං බලශක්ති සංවර්ධනයක් කරා තල්ලු වෙමින් වසර විස්සකදී දශගුණයකින් බලවත්වීම ඉලක්ක කර ගනී. දැන් අප කලින් මතු කළ මූලික ප්‍රශ්නය නිරන්තර විමසීමක් බවට පරිණාමය වන්නේය. තිරසාර බව කරා යන අපගේ ගමන්මග ස්ථිරසාරද? අප මේ ලුහුබඳින්නේ ආනයනය කරනු ලැබූ තිරසාරත්වයක් පසුපස නොවේද? අප නිරන්තරයෙන් විදේශීය විශේෂඥ දැනුමට හා තාක්ෂණය වෙත විශ්වාසය තබන්නේ නම් අපට බලශක්ති සම්බන්ධ, ත්‍රිවිධ විරුද්ධභ්‍යද්‍යාසයේ සමතුලිතභාවය ඇත්තෙන්ම පවත්වා ගත හැකිවේද? අපගේ බලශක්ති සුරක්ෂිතතාවට හා බලශක්ති වියදම් දරා ගැනීමේ හැකියාවට කුමක් වේද? ප්‍රතිපත්ති ලේඛනවල ඇති උත්තුංග කැපවීම්වලට යථාවත් සහයක් ලැබේද? නැතහොත් අපි මෙම සංකල්පයේ ගැඹුර අර්ථය ගහණය කර ගැනීමකින් තොරව පුනර්ජනනීය බලශක්ති වෙනුවට පොසිල ඉන්ධනම හුවමාරු කර ගනිමින් සිටින්නෙමුද? නියත වශයෙන්ම අපි දැන් (විරුද්ධාභ්‍යාසක් වෙත) පරස්පර තත්වයට පැමිණ සිටින්නෙමු.


පරස්පරය/ විරුද්ධාභ්‍යාසය නිවැරැදි කිරීම: අනිවාර්යයෙන් කළ යුතු දේශීයකරණය:
තිරසාරත්වයේ උත්තරීතර අරමුණට ළඟා වීමේ ශ්‍රී ලංකාවේ ප්‍රවේශය තුළ යම් බැරෑරුම් අඩුපාඩුවක් ඇති බව පැහැදිලිය. මගහැරී තිබෙන මූලිකාංගය වන්නේ දේශීය සුළං ටර්බයින තාක්ෂණය වර්ධනය කර ගැනීමේ අපගේ නොහැකියාවත්, දේශීය අන්තර්ගතය වැඩිකර ගැනීමේ නොහැකියාවත්ය. රටේ පළමු සුළං බලාගාරය ස්ථාපිත කිරීමෙන් දශක තුනක් ඉක්ම ගිය පසුවත්, මෙම තිරණාත්මක තාක්ෂණය තහවුරු කර ගැනීමේ අපගේ ප්‍රගතිය ඉතා මන්දගාමී වීමත්, 2025 වන විටත් එම තාක්ෂණය මෙහෙයුමට හා නඩත්තුවට පමණක් සීමා වීමත් සැබෑ කනස්සල්ලට කාරණාවකි.
අපගේ අසල්වැසි ඉන්දියාව සමග සැසඳූ විට මෙම තත්වය කෙසේ වේද? ඉන්දියාව එහි ප්‍රතිපත්ති තුළ සුළං බලශක්තියේ වැදගත්කම හඳුනාගත්තේ යම්තමින් අපට දශකයකට කලිනි. දේශීය සුළං ටර්බයින, පරිසර පද්ධතියට අදාළ එරටේ ප්‍රගතිය ආදර්ශවත්ය. අපට නැති පෙර දැක්ම සහ කැපවීමේ ගුණාත්මකභාවය ප්‍රදර්ශනය කිරීම අතින් එරට වඩාත් පොහොසත්ය.
එරට ටර්බයින වැඩිදියුණු කරන්නන් දේශීය නිෂ්පාදනයේ විකසිත වීමක් බලාපොරොත්තුවෙන්, බලශක්ති සුරක්ෂිතභාවය ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන් පසුවීමත් සමග එරට රජය, දේශීය වශයෙන් නිෂ්පාදනය කරන සංරචක භාවිතයේ පැවරුම් බලය ක්‍රියාත්මක කිරීමත් සමග විශේෂයෙන් මේ වසරේ ඉන්දියාවේ සුළං බලශක්ති අංශය විශේෂයෙන්ම වැදගත් වූයේය.
ලෝකයේ සිව්වැනි විශාලතම සුළං බල නිෂ්පාදකයා ලෙස ඉන්දියාව ලද තත්වයට එහි ශක්තිමත් දේශීය නිෂ්පාදන හැකියාව ඍජුව සම්බන්ධ වී තිබීම රහසක් නොවේ. ඉන්දියාව මේ වන විට එරට සමස්ත ගොඩබිම් බලශක්ති විභවතාවයෙන් සියයට 15ක් පමණ උපයෝගි කර ගන්නා වාතාවරණය තුළ අපි තවමත් සියයට එකේ පසුවන්නෙමු.
කර්මාන්තයේ දැනට පවතින තත්වය තුළ නව ලිබරල්වාදී දෘෂ්ඨිකෝණයෙන් බැලුවද සුළං බලශක්තිය දේශීයකරණය කිරීම හුදෙක් ආරක්ෂණවාදයකැයි කියමින් ඉවතහෙළිය නොහැකිය. ඇත්තවශයෙන්ම ශ්‍රී ලංකාවේ සුළං බලශක්ති අංශයේ සාර්ථකත්වය තහවුරු කිරීමට, දේශීය සැපයුම්දාමය වර්ධනය කළ යුතු බව ලෝක බැංකු වාර්තාවේද සඳහන්ය. සූර්ය බලශක්තියන් සියයට හැත්තෑවක ප්‍රමාණය කරා එළඹීම මෙන් නොව, දේශීය අන්තර්ගතයට සුළං බල තාක්ෂණයත් ඒ මට්ටමට ළඟාවීම නිසි සැලසුම් ඔස්සේ සාපේක්ෂ වශයෙන් ඍජුව ළඟාවීම ප්‍රායෝගික වන්නේය යන්න ජාත්‍යන්තර අත්දැකීම් ඔස්සේ පෙන්නුම් කෙරේ.


සුළුවෙන් එහෙත් ප්‍රබල ආරම්භයක් ලබාගැනීම: කුඩා සුළං ටර්බයින තාක්ෂණයෙන් ප්‍රවර්ධනය කිරීම:
රටක් ලෙස සුළං ටර්බයින තාක්ෂණය කෙරෙහි අපගේ ප්‍රවේශයේ දේශීයකරණයට ඇති යොමුවීම මඳ යැයි පිළිගැනෙන තත්වයක් තුළ එම ගැටලුවට විසඳුම් ලෙස අපට කිනම් පියවර ගත හැකි වේද? ඇතැම් අයට මෙය මතභේදාත්මක වේ යයි පෙනී යා හැකි නමුදු, අප යටත් විජිත යුගයේ පටන් ඓතිහාසිකව විද්‍යා හා තාක්ෂණ කටයුතුවල නියැලී සිටි ආකාරය සලකා බැලූ විට මෙම මඳ බව තුළ යම් ගැඹුරට ගිය කාරණා පිළිබිඹු වන බවට මම තර්ක කරමි. ගැඹුරට මුල්බැසගෙන ඇති ගැටලුවල ක්ෂණික හෝ නියත විසඳුම් දීම අසීරු බව පිළිගන්නා අතරම, මේ මොහොතේ කිනම් අර්ථාන්විත මුලපිරීම් අපට කළ හැකි වේද? ඒ සඳහා වූ කිනම් හෝ යෝජනා වේ නම් ඒවා ශ්‍රී ලංකා පොළොවේ පිහිටුවාලිය හැකි ඒවා විය යුතුය. එසේ නොවුවහොත් ඒවා ප්‍රායෝගික නොවනු ඇත. නැතහොත් යථාර්ථවත් නොවනු ඇත. ගෝලීය ප්‍රවණතාව ගත් විට සුළං බලශක්ති අංශය මේ වන විට මහා පරිමාණ අක් වෙරළ ටර්බයින ස්ථාපිත කිරීම් කරා ගමන් කරමින් තිබේ. ඒවාට ඉහළ තාක්ෂණයන්, ඉහළ මට්ටමේ සම්පාදකයන් සහ සෑහෙන තරමේ ප්‍රාග්ධන ආයෝජන අවශ්‍ය කෙරේ. එම ක්ෂේත්‍රයේ ප්‍රමුඛ රටවල් මේ වන විටත් අක්වෙරළ දියඹේ, පරිනත තාක්ෂණය වර්ධනය කරගෙන සිටිති. එය අප මේ දක්වා සුගතියක් අත්කර නොගත් ක්ෂේත්‍රයකි.
මේ උසස් මට්ටමට ගිය වාතාවරණය තුළ හොඳින් තහවුරු වූ මහා පරිමාණ ටර්බයින කර්මාන්තයක් අඛණ්ඩව කුඩා පරිමාණ සුළං තාක්ෂණ කටයුතුවලට සහාය දක්වමින් සිටී. සාමාන්‍යයෙන් එම සුළු පරිමාණය නිර්වචනය වන්නේ කිලෝවොට් 1 බලය සහ කිලෝවොට් 50 අතර බලය සහිත උත්පාදනයන්ය. මෙම පද්ධති ගෘහයන්, හෝටල් හි සිට ගොවිපොළ හා කර්මාන්ත දක්වා පුළුල් පරාසයක භාවිතයට සුදුසු වන්නේය. එක්සත් ජනපදය, යුරෝපය, චීනය සහ ඉන්දියාවේ ඒවා කුඩා සුළං බලාගාරවලට දක්වන ප්‍රබල සහයෝගය පෙනෙන්නට තිබේ. එම තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමට එම රටවල විවිධ දිරි දීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ. තීරුබදු සහන, බලශක්තිය ජාලගත කිරීමේ දිරිදීමනා සහ ප්‍රාග්ධන ප්‍රදානයන් ඒ අතර වඩාත් බහුලය.
සමස්ත විදුලි බල උත්පාදනයට ඉතා සුළු දායකත්වයක් පමණක් දක්වන මෙවැනි තාක්ෂණයකට එම රටවල් මේ ආකාරයේ දිරිගැන්වීම් කරනුයේ ඇයිද යන්න වඩාත් උනන්දුවෙන් විමසිය යුත්තකි. එම හේතු අතර නිරන්තරයෙන්ම, ජල රටාවන්හි ඔරොත්තුදීමේ ශක්තිය වර්ධනය කිරීමට බලශක්ති බෙදාහැරීම ඇතුළුව, ග්‍රාමීය ප්‍රදේශවලට විදුලිබලය ලබාදීම දියුණු කිරීම, සුපිරිසිදු බලශක්ති භාවිතයට සහභාගි වෙමින් දේශීය නිෂ්පාදන කර්මාන්තවලට දායකවීමට මහජනයාට හැකියාව ලබාදීම, දේශගුණ විර්යාසවල ප්‍රතිඵල සමනය කර ගැනීම බලශක්ති පිරිවැය අඩු කර ගැනීම, නවෝත්පාදන දිරිගැන්වීම, පුනර්ජනනීය වායු දූෂණය අඩු කිරීම, අධිතාක්ෂණික ක්‍රමවලට හැකියාව ලබාදීම හා ප්‍රජාමූලික ව්‍යාපෘති හරහා සමාජ පෝෂණය පිළිගැනීම ආදිය වේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් විට මෙම කුමන හෝ අරමුණුවලින් එකක් අදාළ නොවේද? ඇත්තෙන්ම එවැන්නක් නැත. සුළු පරිමාණ සුළං තාක්ෂණයන්ගේ ක්‍රමෝපාය අරමුණ සහ පුළුල් ප්‍රයෝජනවලට වඩා සීමිතව බලශක්ති නිෂ්පාදනයන් කෙරේ අවධානය යොමු කරන ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ශ්‍රී ලංකා බලධාරීන්ගේ අවධානයට මෙම කරුණු යොමු විය යුතුය. දේශීයකරණයට ලක් කරන්නා වූ සුළං බලශක්ති අංශයක, විභවතාව ගවේෂණය කරන මෙවැනි කාලයක දේශීය නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කරන බවක් සහ දේශීය නවෝත්පාදන දිරිගන්වනු ලබන කුඩා පරිමාණ සුළං තාක්ෂණයට ඇති ඉඩ ප්‍රස්ථා අපට කෙසේ නම් නොසලකා හැරිය හැකි වේද?
විශාල පරිමාණ බලශක්ති උත්පාදන මෙන් නොව, සුළු පරිමාණ සුළං තාක්ෂණය නවෝත්පාදනය සඳහා විවර වූ ඉහළ මතුවෙමින් පවතින විෂය පථයකි.
තාක්ෂණ දියුණුවත් සමග ආර්ථික ශක්‍යතාව වර්ධනය වේය යන්න ප්‍රබලව පිළිගැනෙන කාරණයකි. නිවැරැදි ප්‍රතිපත්තිමය සහාය සහ දිරිගැන්වීම් සැලසුම් නිර්මාණ සඳහා දේශීය සංඛ්‍යාත වර්ධනය සමග එකට වෙළී ගිය කුඩා පරිමාණ සුළං ටර්බයින, ශ්‍රී ලංකාවේ වර්තමාන කර්මාන්ත හැකියාවන් සමග පහසුවෙන් ළඟා විය හැකි මානයේ පවතී. දේශීය ධාරිතාවට සියයට හැටක හැත්තෑවක කොටසක් එක් කිරීම මුළුමනින් එයින් කළ හැක්කකි. දැන් අවශ්‍ය වන්නේ දැනට පවතින මෙම හැකියාවන් මෙකී වැදගත් තාක්ෂණික අරමුණ යථාවත් කිරීම පිණිස විධිමත් ලෙස එකේළි කිරීම සඳහා පැහැදිලිව අවධානය යොමු කිරීමයි. නව කර්මාන්ත නිර්මාණය, රැකියා වෙළෙඳපොළ ව්‍යාප්ත වීම ඇතුළු ආර්ථික ඵල ආයෝජන රටට මහත්සේ වටනේය.
ශ්‍රී ලංකාවේ ගොඩබිම සුළං බලශක්ති විභවතාව කෙරේ පවතින්නා වූ එක් අහිතකර අභියෝගයක් වන්නේ ඒවායින් සියයට 35ක් පමණ මධ්‍යම පළාතේ පැතිර තිබීමය. දළ බෑවුම් සහිත භූමිය සහ සම්පාදන සීමාවන් නිසා මහා පරිමාණ සුළං ක්ෂේත්‍රයන් එහි ගොඩනැගීම අසීරුය. එම නිසා අපගේ උපාය මාර්ගය විය යුත්තේ ගෙගාවොට් 7 සමීපයේ ඇස්තමේන්තුගත සම්පත් සහිත ප්‍රදේශ තෝරාගැනීමය.
කඳුකර භූමිවල සාර්ථක ලෙස කුඩා පරිමාණ සුළං ටර්බයින් උපයෝගි කරගැනීම්වලට ජාත්‍යන්තර උදාහරණ ද ඇත. බලශක්තිය සඳහා රටේ ඉල්ලුම වැඩි වන වාතාවරණය තුළ දේශීයකරණයට ලක්වූ කුඩා පරිමාණ සුළං ටර්බයින් කර්මාන්තයෙන් ප්‍රතිඵල අපේක්ෂා කිරීම හේතුසහගතය. දැවැන්ත විභවතාව මුදාහැරීමෙන් සහ ශ්‍රී ලංකාවේ සමස්ත බලශක්ති උත්පාදනයට දායකවීමෙන් යන දෙආකාරයෙන්ම මහත් බලපෑමක් ඇති වනු නියතය.


දේශීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක්: ජාතික සුළං විද්‍යායතනයක් ගොඩනැගීම:
සැබෑ දේශීයකරණයට යන ගමන් මග තුළ මෙම අරමුණ උදෙසා කැපවූ ආයතනවල කඩිනම් අවශ්‍යතාවක් පවතී.
අවාසනාවකට වර්තමාන ශ්‍රී ලංකාවේ සුළං තාක්ෂණයට සම්බන්ධ විශේෂිත පර්යේෂණ හා සංවර්ධන කේන්ද්‍රස්ථානයක් නොමැත. 2019 ජාතික බලශක්ති ප්‍රතිපත්තියේ රටට බලශක්ති අංශයේ ක්‍රමෝපායික වැදගත්කම හඳුනාගෙන සුළං බලශක්තියට දෙවැනි ප්‍රමුඛ ස්ථානය පිරිනමා තිබේ. මෑතකදී නිකුත් වූ ලංවිම වාර්තාවේ ප්‍රවර්ධනය කර ඇති පරිදි නුදුරු අනාගතය උදෙසා සුළං බලශක්තියේ …අභිලාෂී ව්‍යාප්තියක් සැලසුම් කර ඇත. ඒ සඳහා කැපවූ ජාතික සුළං විද්‍යායතනයක් ගොඩනැගීම, එබැවින් මුළුමනින් යුක්තිසහගත වේ. ඊට වඩා එම බලශක්ති ප්‍රතිපත්තියෙන්ම නවෝත්පාදනය 10 වැනි කුලුන ලෙස හඳුනාගෙන ඇත. කෙසේ වුවද සුළං බලශක්ති අංශයේ දේශීය නවෝත්පාදන ඉවහල් කර ගැනීමට ඇති ඉඩකඩ අතිශය සීමිතය. අපගේ දේශීය බුද්ධිමතුන්ගේ මනස මෙකී රටේ වැදගත් තාක්ෂණ උදෙසා උකහා ගත හැකි නිසි විද්‍යායතනයක් නොමැතිවීම දරුණු අඩුපාඩුවකි. මෙම අඩුපාඩුව හේතුවෙන් දේශීය තාක්ෂණය වැඩිදියුණු කිරීමට අවශ්‍ය බුද්ධිමය හැකියාව සහ තාක්ෂණික විශේෂඥ ඥානය තුළ පුළුල් නිදහසක් නිර්මාණය වනු ඇත. එම හිදැස පිරවීම නිර්ව්‍යාජ දේශීයකරණයක් උදෙසා අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නකි.
ඕනෑම අලුත් ආයතනයක් නැවුම් දැක්මක් සමග සැබෑ සංවිධාන ව්‍යුහයකින් මෙහෙයවා ලිය යුතුවේ. එය රජයේ නියෝගවලට වගකිව යුතුය. යථාර්ථය නම් දැනට පවතින ආයතන සැලසුම් රටාව තුළ ඵලදායි ප්‍රගතියක් දේශීයකරණය කරා ඇති කරලීමට අසමත් වීමය. අතීතයේදී විදේශීය විශේෂඥයන්ට මිල ගෙවා දේශීය සංවර්ධනයන් ඇතිකරලීමට ගත් උත්සාහයන් ඵලදාරා නැත. ප්‍රබල ලෙස මෙරට වර්ධනය වූ මෙහෙයුමකින් නිසි අවස්ථාවේදී විදේශ විශේෂඥ ඥානය උපයෝගි කර ගත හැකිය.
අවසාන වශයෙන් කිවයුත්තේ වර්තමාන රජය සිය ‘‘පුනරුදය’’ නම් සටන් පාඨය යටතේ සමාජ, සංස්කෘතික හා ආර්ථික පුනරුදයක් ඇති කිරීමට පොරොන්දු වී ඇති වාතාවරණය තුළ එම දැක්මේ නිර්මාණකරුවන් එහි ගැඹුරු අර්ථය වටහාගෙන ඇතැයි මා විශ්වාස කරන බවය. නිර්ව්‍යාජ පුනරුදයක් කරා යාමට නැවුම් දැක්මක්, දිරියක් සහ එඩිතර ක්‍රියාමාර්ග ගැනීම් අවශ්‍යයි.

 



අදහස් (0)

බලශක්තිය: ඉදිරි සැලසුම් සාර්ථකද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site