යූ. ජේ. තක්ෂිලා නිරෝෂිකා
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය, මාලඹේ.


දෙදහස් විසිහතර වර්ෂයේ ජන හා නිවාස සංගණනයේ තොරතුරුවලට පදනම්ව ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන විසිදෙක ඉක්මවූ සංඛ්‍යාවකි. දකුණු ආසියාවේ ඉහළම සාක්ෂරතා අගයක් හිමි රටක් ලෙසත් ශ්‍රී ලංකාවට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 92-93.2ත් අතර ප්‍රතිශතයකි. නවීන තාක්ෂණයත් සමග දිනෙන් දින දියුණු වෙමින් ඒ හා සමගාමීව ඩිජිටල් සාක්ෂරතාවෙනුත් පැහැදිලි වර්ධනයක් හිමි කරගනිමින් ශ්‍රී ලංකාව කැපී පෙනෙන ගමනක යෙදී සිටියි. මෙවැනි සුවිශේෂි කරුණු හා පදනම් වන ප්‍රධානතම අවිය ලෙස සැලකිය හැක්කේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියයි. එය සකස් වී ඇති ආකාරය, ඒ කෙරෙහි සිසුන්ගේ පෙළඹවීම, අධ්‍යාපනය පිළිබඳ පුද්ගල දැනුවත්භාවය ශ්‍රී ලංකාව තුළ ඉහළ අගයක පවතී. 
මේ දත්ත හා සමගාමීව තවත් එක් පැතිකඩක් පිළිබඳව ඔබ අවධානය යොමු කරනු කැමැත්තෙමි. 
ශ්‍රී ලංකාව තුළ වසරකට රිය අනතුරු විසි දෙදහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වෙයි. රිය අනතුරු මරණ දෙදහස ඉක්මවූ ගණනකි. එමෙන්ම මිනීමැරුම් පන්සියයත් හයසියයත් අතර වන අතර, ගෙවල් බිඳීම් දෙලක්ෂය ඉක්මවූ බවට වාර්තා සටහන් වේ. ඉහතින් සඳහන් කළ තරම් අධ්‍යාපනික සාක්ෂරතාවක් හිමි රටක මෙවැනි වූ අපරාධ ප්‍රතිශතයක් වාර්තා වීම පිළිගත හැකි තත්වයක් ද? ඒ අනුව අපගේ අධ්‍යාපන පද්ධතිය තුළ යම් කිසි හිදැසක් පවතින බව මගේ මතයයි.
ශ්‍රී ලංකා අධ්‍යාපන පද්ධතිය තුළ නීතිය පිළිබඳ අධ්‍යාපනය ලබා දිය යුතු ද? එසේ නීතිය පිළිබඳ අධ්‍යාපනය ලබා දිය යුතු නම් එය ලබා දිය යුත්තේ ඇයි? යන පැනය කාලෝචිතය. ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය යනු ලොව පවතින සංකීර්ණතම සහ සුවිශේෂිතම නීති පද්ධතිවලින් එකකි. එය විවිධ සංස්කෘති සහ යටත්විජිත පාලන සමයන්ගෙන් ලැබුණු දායාදයන්ගේ එකතුවක් ලෙසත් හැඳින්වීමට හැකිය. මෙහි ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන වශයෙන් මිශ්‍ර නීති පද්ධතියකි. එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්වීමට හැකියාව තිබේ. එනම්, පොදු නීතිය සහ විශේෂ නීති හෝ පෞද්ගලික නීති ලෙසයි. මේ ප්‍රධාන වර්ගීකරණය තුළත් රෝම ලන්දේසි නීතිය, ඉංග්‍රීසි නීතිය ආදි වශයෙන් අනුවර්ගීකරණ ද, විශේෂ නීති හෝ පෞද්ගලික නීති යටතේ කන්ද උඩරට නීතිය, තේසවලමේ නීතිය, මුස්ලිම් නීතිය ආදි ලෙසත් විවිධ නීති ක්‍රියාත්මක වෙයි. 
ඉහතින් සඳහන් වූ නීති පිළිබඳව ඔබ දැනුවත් ද? එදිනෙදා ජීවිතයේ ගනුදෙනු කිරීමේදී මෙම නීති පිළිබඳ අවබෝධයක් අවශ්‍ය වී නැද්ද? මෙයට ලබා දෙන පිළිතුර සරලවම උපකල්පනය කළ හැකිය. ඔබ පාසල් අධ්‍යාපනය ලබන කාලය තුළ නීතිය පිළිබඳ අධ්‍යාපනයට ඉඩ හසර ලැබී නැත. උසස් අධ්‍යාපනයට යොමු වන ශිෂ්‍යයන්ට පමණක් නීති විෂයය විශ්වවිද්‍යාල මට්ටමේදී තෝරා ගෙන ඉගෙනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ හිමි වී තිබේ. එහෙත්, ලාංකීය පුරවැසියන් ලෙස ජීවත් වීමේදී නීතිය පිළිබඳ දැනුවත් වීම අත්‍යවශ්‍ය බව නීතිමය කටයුතුවලදී නිතර කියවේ. නීතිය පිළිබඳ නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බව අපි නිතර අසා ඇත්තෙමු. එවිට නීතිය පිළිබඳ ඉගැන්වීමක් සිදු වන්නේ නැති නීති අධ්‍යාපනය අනිවාර්ය කර නැති රටක පුරවැසියන් නීතිය ගැන දැනුවත් වන්නේ කෙසේ ද? මෙම කරුණ ශ්‍රී ලාංකීය අධ්‍යාපන පද්ධතිය තුළ ඇති හිදැසක් ලෙස පෙන්වා දීමට කැමැත්තෙමි.
රටක අධ්‍යාපනයෙන් සිදු වන්නේ දැනුමෙන් පමණක් පෝෂිත දරුවෙක් බිහි කිරීම නොව, දැනුම, කුසලතා හා ආකල්ප සංවර්ධනය වූ දරුවෙක් ලෝකයට දායාද කිරීමයි. එහෙත්, වර්තමානය වන විට බොහෝ අයහපත් ක්‍රියා සිදු කිරීමට ශිෂ්‍ය ප්‍රජාව මෙන්ම සාමාන්‍ය ජනතාව ද වැඩි වශයෙන් පෙළැඹී ඇත. ක්ෂණික ආවේගය මත හෝ දඬුවම් පිළිබඳ අනවබෝධය නිසා හෝ ජනතාව වැරැදි කිරීමට පෙළඹී ඇත. මෙවැනි වාතාවරණයක සබුද්ධිමත් පුරවැසියන් අනාගත ලෝකයට බිහි කිරීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමයට නීතිය පිළිබඳ අධ්‍යාපනය ඇතුළත් කිරීම සිදු විය යුත්තක්මය.
ලංකාව තුළ රිය පැදවීමේදී අනුගමනය කළ යුතු නැති නම් පිළිපැදිය යුතු නීති රීති පවතී. ඒවා පිළිබඳ දැනුවත්භාවය ලබා ගන්නේ රථවාහන පැදවීමට රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමට යන පුද්ගලයා පමණි. පාරේ ගමන් කරන ජනතාව ලෙස බහුතරයක් පිරිසට මාර්ග නීති පිළිබඳවත් සුළු හෝ දැනීමක් නැත. ප්‍රාථමික අධ්‍යාපනය තුළ මාර්ග සංඥා කිහිපයක් හඳුන්වා දී ‘දකුණ බලා වම බලන්න, ආයෙත් දකුණම බලන්න, පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න’ යන සරල පැදි පෙළෙන් පමණක් මාර්ග නීතිය පිළිබඳ සිසුන්ට අදහසක් ලබා දෙයි. ප්‍රාථමික අධ්‍යාපනය තුළ සිටම රටක පුරවැසියකු ලෙස ජීවත් වීමේදී අවබෝධයෙන් සිටිය යුතු නීති පිළිබඳ අධ්‍යාපනය ලබා දීම අත්‍යවශ්‍යම කරුණකි.
විනයගරුක ජනතාවක් ජීවත් වන රටක් පිළිබඳ සිහින දකිමින් රටේ පාලනාධිකාරය විවිධ කාලවලදී වෙනස්කම්වලට බඳුන් කරවීමේ අයිතිය ශ්‍රී ලාංකිකයන්ට හිමිය. එහෙත්, අපි දන්නා කාලයේ සිට සංවර්ධනය වෙමින් පවතින යන ලේබලය සහිතව ඉදිරියට ගමන් කරන රටක් ලෙස ශ්‍රී ලංකාව පවතී. මේ ලේබලය ඉවත් කරගැනීමට නම් අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් විය යුතුය. එය ශක්තිමත් කිරීමේ ගමනේ එක් පියවරකදී මෙම නීති අධ්‍යාපනයට පාසල් පද්ධතිය තුළට පිවිසීමට ඉඩහසර ලබා දිය හැකිය. ලෝකයේ සංවර්ධිත රටවල් බොහොමයක් මේ නීතිය අධ්‍යාපනය යන නමින් නොවුණත් පුරවැසි අධ්‍යාපනය, ප්‍රජාචාරය යන විෂයයන් තුළ නීතිමය කරුණු අන්තර්ගත කරමින් නීති සාක්ෂරතාව වැඩි කිරීමට කටයුතු කර ඇත.
ශිෂ්‍ය අවධියේ සිටම විනයගරුකව ජීවත් වීමේ වැදගත්කම මනසට කාවැද්දීමෙන් අපරාධ අවම කරවීමට ආකල්ප සංවර්ධනය කළ හැකි බව අපට නොරහසකි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ධර්මයේ සඳහන් වන්නේ පව් කිරීමට ඇති ලැජ්ජාව සහ බිය නිසා එනම් හිරි සහ ඔත්තප්ප නිසා පව් කිරීමෙන් මිදෙන බවයි. නොදැනුවත්භාවය නිසා සිදු කරන වැරැදි අවම කරගැනීමට නීතිය පිළිබඳ අධ්‍යාපනය ශිෂ්‍ය අවධියේ සිටම ලැබීම මේ සඳහා ඉමහත් රුකුලක් වනු ඇත. විනයගරුක වූ ජනතාවක් ජීවත් වන රටක් තුළින් අනාගත සුබ සිහින දැකීමට ලංකාවැසියන් ලෙස අපටත් සුළු හෝ ඉඩ ප්‍රස්ථාවක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය.