
ODI Global හි ආචාර්ය ඩර්ක් විලයම් ඩී. වෙල්ඩ්, ආචාර්ය ගනේෂන් විග්නරාජා, මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරියක වන ඉවට් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් “ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම 2025-2030” වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවේදී
රජයේ ආර්ථික ප්‍රතිපත්ති එලෙසින්ම පවත්වාගෙන යාම වැදගත්
2027-28 ණය ආපසු ගෙවීමට නම් විදේශ මුදල් සංචිතය වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍යයි
දේශපාලන පක්ෂ අනුව වෙනස් නොවන මධ්‍යගත සංවර්ධන සැලැස්මක අවශ්‍යතාවක්
IMF වැඩසටහනින් පසුව සිදු කළ යුතු යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව වාර්තාව පෙන්වා දෙයි
භානුක අමරසිංහ
ශ්‍රී ලංකාව සිදු කළ ණය ප්‍රතිව්‍යුහගතකරණයත් සමගින්ම වර්තමානයේදී රටේ ආර්ථිකය සාමාන්‍ය තත්වයෙන් පැවතියත් 2027-28 කාලයේදී එළැඹෙන ණය ආපසු ගෙවීමේ අවස්ථාවට මුහුණ දීමට නම් අනිවාර්යයෙන්ම විදේශ මුදල් සංචිතය වර්ධනය කරගැනීම අත්‍යවශ්‍ය බව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරියක වන ඉවට් ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
ODI Global සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) එක්ව සකස් කළ “ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම 2025-2030” වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් එම මහත්මිය මෙම අදහස් පළ කළාය.
2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස වාර්තාව සම්පාදනය කර තිබේ. ඉවට් ප්‍රනාන්දු මහත්මියද ඇතුළුව ආචාර්ය සිරිමල් අබේරත්න, ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර, රවීන් බස්නායක, හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ආචාර්ය ඩර්ක් විලයම් ඩී. වෙල්ඩ්, ඇසල වීරකෝන්, ශියා වික්‍රමසිංහ සහ ආචාර්ය ගනේෂන් විග්නරාජා යන ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥයන් නව දෙනකුගේ එකතුවකින් එම වාර්තාව සකස් වී තිබේ.
“අද වනවිට රට සාමාන්‍ය තත්වයකින් තිබුණත්, 2027-28 වනවිට අපි ණය ගෙවීම පටන් ගන්න වෙනවා. ඒ සඳහා අපිට විදේශ මුදල් අවශ්‍ය වෙනවා. එතැනදී දැනට අපිට තියෙන විදේශ මුදල් සංචිතය ඒ සඳහා මදි වෙනවා. එම ප්‍රමාණය වර්ධනය කරගැනීම සඳහා දැන් සිටම කටයුතු නොකළොත් අපිට ඒ තත්වය උදා කරගන්න බැහැ. මේ තත්වය තේරුම් අරගෙන තමයි අපි අත්දැකීම් සහිත කණ්ඩායමක් විදියට මේ හා සම්බන්ධ රටේ හැම කෙනකුටම පහසුවක් වන විදියට යෝජනා ඇතුළත් ග්‍රන්ථය සකස් කළේ.”
මෙහිදී මූලිකවම අංශ හයක් යටතේ වන යෝජනා 30ක් ඉදිරිපත් කරන බව ඇය මෙහිදී සඳහන් කළාය. “මෙතැනදී රජය විසින් දැනට කරගෙන යන ආර්ථිකය ස්ථාවර කිරීමේ කටයුතු වෙත කිසිදු බාධාවක් නොවී අඛණ්ඩව සිදු වීම මූලික දෙයක්.” ඇය පැවසුවාය.
මීට අමතරව කෙටිකාලීන ස්ථාවරත්වය ඉක්මවා යන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, නිෂ්පාදන හැකියාව ඉහළ නැංවීම, ආයෝජන සහ අපනයන වර්ධනය සහ දුප්පත්කම අඩු කිරීම එකම ප්‍රතිපත්ති රාමුවක සම්බන්ධ කරගත් පරිවර්තනීය ආර්ථික වර්ධනයක් ඔවුන් මෙහිදී ඉදිරිපත් කර සිටියි.
විශේෂයෙන්ම ඉදිරියේදී රට නැවතත් අර්බුදයකට පත්වීම වළක්වා ගැනීම සඳහා මධ්‍යගත වූ සංවර්ධන සැලැස්මක අවශ්‍යතාව පවතින බවද ඇය මෙහිදී සඳහන් කළාය. එය දේශපාලනමය වෙනස්වීම්වල බලපෑමට ලක් නොවී ස්වාධීනව පවත්වාගෙන යා යුතු බවත් ඇය අවධාරණය කළාය.
“වෙනත් රටවල තියෙනවා ජාතික සැලැස්මක් කියලා දෙයක්. එතැනදී මොන දේශපාලන පක්ෂය බලයට ආවත් ඒ සැලසුම ඉදිරියටම ක්‍රියාත්මක වෙන බවට වන සහතිකය තිබෙනවා. ඒත් අපේ රටට කවදාවත් එවැනි තත්වයක් ඇති කරගැනීමේ හැකියාවක් ලැබිලා නැහැ. ඒ නිසා රජයේ මැදිහත්වීමෙන් සහ පෞද්ගලික අංශයේ එකතුවෙන් එවැන්නක් ඇති කර ගන්න පුළුවන් නම් හොඳයි. එය සියල්ලම එකට එක් වූ, පසු විපරම් සිදු කෙරෙන අවස්ථාවක් විය යුතුයි. ඒ සඳහා වන කමිටු දෙකක් පත් කිරීමේ යෝජනාවක්ද අපි මේ වාර්තාවේ ඉදිරිපත් කර තිබෙනවා.”
මෙහිදී අදහස් දක්වා සිටි ODI Global හි ආචාර්ය ඩර්ක් විලයම් ඩී. වෙල්ඩ්, “ශ්‍රී ලංකාව මුහුණ දුන් මේ ආර්ථික අර්බුදය දිගුකාලීන අර්බුදයක් නොවීමට නම් වර්ධනය වීම, වේගවත්ව වර්ධනය වීම සහ වෙනස්ව වර්ධනය වීම අවශ්‍යයි. එම කටයුතු වඩාත් ඵලදායී ආකාරයට එය සිදු විය යුතුයි. ඒ සඳහා වඩාත් හොඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මකවීම වැදගත්. ඒ වගේම ශ්‍රී ලංකාව සම්බන්ධවී සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආර්ථිකයේ සිදුවන පරිවර්තනීය වෙනසකට සම්බන්ධ කරගත හැකියි.”
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් වන වැඩසටහන රටෙහි ආර්ථික වර්ධනයට බාධාවක්වද යන්න පිළිබඳව සිදුකළ විමසීමකට පිළිතුරු දුන් ආචාර්ය ගනේෂන් විග්නරාජා මහතා, “ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන කොට රටේ සංචිතය තිබුණේ ඩොලර් මිලියන 20ත් 40ත් අතර අගයක. රටට අවශ්‍ය ඉන්ධන, ඖෂධ ආනයනයට විදේශ සංචිතය අවශ්‍ය වුණා. ඒත් සංචිතය තිබුණේ පැයක දෙකක ආනයන සඳහා පමණයි. ඒ නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව තිබුණා. ඒ පැමිණීමත් සමගින් තමයි ගැටලුවෙන් ඉවත් වෙන්න ශ්‍රී ලංකාවට හැකි වුණේ. අද වනවිට සංචිතය ඩොලර් බිලියන 6.8ක් කියලා මහ බැංකු අධිපතිවරයා කිව්වා.”
කෙසේ වෙතත් ජනතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වෙත අකමැති බව තමන්ද දන්නා බව ආචාර්ය විග්නරාජා සඳහන් කළේය. “ඒත් අපි මෙතෙක් කල් පවත්වාගෙන ගිය දේවල් වෙනස් කරන්න මේ වැඩසටහන යොදා ගන්න සිද්ධ වෙනවා. හැබැයි මේ වැඩසටහන විතරක් ප්‍රමාණවත් නැහැ. අපි එතැනින් එහා ගැනත් හිතන්න වෙනවා. ඒ සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණ අප විසින්ම සිදු කළ යුතුයි. මේ වාර්තාව කියන්නේ ඒ ගැන.”
COMMENTS