

අප හා සමාන රටවල් කලාපීය හා ගෝලීය ධනවතුන් බවට පත් වූයේ කෙසේද ?
“සවිමත් බව මතුව එන්නේ ශාරීරික හැකියාවෙන් නොවේ. එය මතුව එන්නේ අප්‍රතිහත ධෛර්යෙනි.”
මොහාන්දාස් ගාන්ධි
සියවසකට පමණ ඉහතදී පවසනු ලැබූ ප්‍රත්‍යක්ෂ කර ගත හැකි මෙම වදන් පුද්ගලයකු සම්බන්ධයෙන් වුව සමාගමක් හෝ රටක් සම්බන්ධයෙන් වුව තවමත් සත්‍යයකි .
දිට්වා සුළි කුණාටුවේ බලපෑම:-
2025 නොවැම්බරයේ අවසාන සතිය පොදු ජනතාවගේ සිත් තුළත් රටේ ඉතිහාසයේත් වඩාත් අඳුරු සහ විනාශකාරී දිනයන් ලෙස සනිටුහන් වනුයේ එයින් අහිංසක ජීවිත හයසියයක් පමණ අහිමිව යාමත් අස්පර්ශනීය හානිය ගණන් බැලීමකින් තොරව ඩොලර් බිලියන හතරක පමණ ස්පර්ශනීය හානියකුත් සිදුවූ නිසාය.
2019 පටන් දශකයකටත් අඩු කාල පරිච්ඡේදයක් තුළ රටේ සිදුවූ විනාශකාරී උපද්‍රව ඉදිරියේ මෙරට ජනතාව අසාමාන්‍ය ලෙස ඔරොත්තු දීමේ ශක්තියෙන් හෙබි ජනතාවක් ලෙස උසුලා සිටි වග පිළිගැනීමට ලක් විය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳවත් කොවිඩ් වසංගතය ගැනත් දේශපාලන අර්බුද ඔස්සේත් හටගත් ආර්ථික අභියෝග පිළිබඳවත් අප අවදියෙන් පසු වූවාසේ දැන් දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් අපි දැනුවත්ව සිටින්නෙමු. මෙරටට බොහෝ සෙයින් ආර්ථික වශයෙන් බලපාන අද දවසේ ලෝකයේ සෘජු හෝ වක්‍ර භූ ආර්ථික හා ප්‍රකෝපකාරී වූ ක්‍රමෝපායික හා අසාමාන්‍ය ලෙස වෙනස්වන සුළු ලෝක වාතාවරණය ගැන මෙහිදී කිව යුතු නොවේ. දියුණු යයි කියනා රටවල ද දේශපාලන හා ආර්ථික ගෙත්තම් විනාශයට මුඛයට ඇද දමමින් ඒවා බෙලහීන, කිරීමට මෙම බලපෑම් සමත් වන බව කිවමනාය.
රටට දැරිය හැකි පිරිවැය කළමනාකරණය කර ගනිමින් බලාපොරොත්තු නොවූ විරූ මෙම අභියෝග ජය ගැනීමේදී ශ්‍රී ලාංකීය ජනතාව සතු ව තිබූ අද්විතිය කුසලතාව හා ශක්තිය මැනවින් ප්‍රදර්ශනය කරන ලදී. 2025 වසරේ මුල් කාර්තු තුනේදී දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය සියයට 4.8 සහ සියයට 5.4 අතර පැවතීමෙන්ද මිලියන 2.3 අභිබවා යන උපරිම සංචාරකයන් පැමිණීම වාර්තා වීමෙන් ද විදේශ සංචිත ඩොලර් බිලියන 6.8 සමීපයේ තිබීමෙන්ද, විදේශ ප්‍රේෂණ වෙන කවර කාලයකට වඩා වැඩි වී ඩොලර් බිලියන 8 ට ළඟාවීමෙන්ද, කොටස් හුවමාරුව ඇරඹූ දා පටන් කොළඹ කොටස් වෙළෙඳපොළ උපරිම පිරිවැටුම වාර්තා කිරීමෙන්ද, රටේ මෙම තත්වය හොඳින් පැහැදිලි වූයේය.
යම් ආර්ථිකයක කාර්ය සාධනය වඩාත් හොඳින් ප්‍රකට වන බැරෝ මීටරය වන්නේ, එහි කොටස් වෙළෙඳ පොළ බව අර්ථශාස්ත්‍රඥයෝ සහ දේශපාලන විද්වත්හු නිතර ප්‍රකාශ කරති. හොඳින් පාලනයට නතු කරගත් සේවා වියුක්තිය, උද්ධමනය, පොලී අනුපාත, සහ විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වයෙන්ද, පෙර වසරවලට සාපේක්ෂව වෙළෙඳ හිඟය අඩුවීමෙන්ද, අපනයන ආදායම ඩොලර් බිලියන 17 ට සමීප වීමෙන්ද මෙම තත්වය තවදුරටත් පැහැදිලි වූයේය. මෙම සංඛ්‍යා ලේඛනවලින් අසත්‍ය හෝ මුලාව ප්‍රදර්ශනය නොවන අතර ඒවායින් රටේ සාර්ව හා ක්ෂුද්‍ර ආර්ථිකයන්හි කාර්යක්ෂම බවත් හැකියාවත් ප්‍රකට වේ.
ආසියානු ආර්ථිකවලට අවධානය යොමු කිරීම:-
රටේ ආර්ථිකයේ ධනාත්මක පැත්ත පිළිබඳ පැවසීමෙන් පසුව, අපි දැන් දිට්වා සුළි කුණාටුවත්, දළජාතික නිෂ්පාදිතයෙන් සියයට 4ක් පමණ වූ එහි වියදමත් 2028 දී ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතුව තිබෙන පසුබිම තුළ කෙසේ පිරිමසා ගන්නේ ද යන්න පිළිබඳවත් අවධානය යොමු කරමු. ශ්‍රී ලංකාවේ සමස්ත ණය ජාතික නිෂ්පාදිතයෙන් සියයට එකසිය දහය (110%) ඉක්මවා යන බවත් එය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සහිත වැඩ සටහන් මතත් රැඳී තිබීම ගැන අප බොහෝ දෙනා දැනුවත්ය. ආසියාවට අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව හා සමාන ඇතැම් රටවල පසුගිය දශක පහ තුළ ආර්ථික පරා චක්‍රය හා වර්ධනය සසඳා බැලීම මෙහිදී අදාළ විය හැකිය. සමස්ත දළ ජාතික නිෂ්පාදිතය හැරුණු කොට ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය රටේත් ජනතාවගේත් යහ පැවැත්ම තීරණය කරන සාධාරණ හා සුදුසු මිම්මක් වේ.ඒ සම්බන්ධයෙන් අප හා සමාන රටවල උන්නතිය සිදුවූ ආකාරයත් කලාපීය ආර්ථික බලවතුන් බවට පත්වීමට ඒවා ධනවත් බවින් ආඩ්‍ය වූයේ කෙසේද යන්න සම්බන්ධයෙනුත් අවධානය යොමු කිරීමට රචකයා කැමැත්තේය.
1980 දී චීනයේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 310 ක් පමණ වූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ World Economic Outlook වාර්තාවට අනුව එවකට ඩොලර් 400 වූ හයිටියේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදයට වඩා අඩුව පැවතිණි. එම වසරේ ඉන්දියාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 275 ක් වූ අතර ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 335 කි. එවකට උගැන්ඩාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඉන්දියාව සහ චීනයේ ඒ. පු. ද. ජා. නිෂ්පාදිතය මෙන් දෙගුණයකට ආසන්න වෙමින් ඩොලර් 665 වී තිබිණි. (අද වන විට අවුරුදු හතළිස් පහකට පසුවත් උගැන්ඩාවේ ඒක පුද්ගලය දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 1200ක් පමණකි. සිවිල් යුද්ධ ආර්ථික කළමනාකරණය අතිශය දුර්වල වීම ආසියානුවන් පිටමන් කිරීම සැමතැන නිරන්තරව පවතින දූෂණය ඊට හේතු විය.) 1990 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනය ඩොලර් 550 ක්ව පැවතියේ චීනයේ සහ ඉන්දියාවේ එය ඩොලර් 380 සමීපයේ එහා මෙහා වන අතරේය. එවකට වියට්නාමයේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය යාන්තමින් ඩොලර් එකසිය විස්සකි.
2010 වන විට චීනය ජපානය අභිබවාගෙන දළ ජාතික නිෂ්පාදිතය සහ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය අතින් දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත් වූයේය. එවකට ඩොලර් 4500 බවට පත්ව තිබූ චීනයේ ඒක පුද්ගලය දළ ජාතික නිෂ්පාදිතය 1990 සහ 2010 අතර කාලය තුළ 15 ගුණයකින් හෙවත් සියයට 1500 කින් වැඩිවී තිබිණි. දශක තුනකට ආසන්න කාලයක් තුළ ඉලක්කම් දෙකේ වර්ධන වේගය අත්කර ගත් ලෝකයේ රටවල් ස්වල්පය අතුරින් චීනයද එක් රටක්විය. 2010 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 2500 කි. ඊළඟ දශක දෙක තුළ හෙවත් 2020 වන විට එය දෙගුණ විය යුතු වේ යයි බලාපොරොත්තු වූයේ 2009 දී යුද්ධය අවසන් වීම හේතුවෙන් ආර්ථික වර්ධන වේගය සියයට 6-7ක් වෙතැයි අපේක්ෂා කරනු ලැබූ නිසාය.
සම්ප්‍රදායික ක්‍රමාංකනය අනුව වර්ධනය වේගය සියයට 5 සමීපයේ අඩු වැඩි වෙමින් පවතින මෙරටේ 2025 දළ ජාතික නිෂ්පාදනය අනුව ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 6000- 6500 පමණ විය යුතුවේ. එය තායිලන්තය අසර්බයිජානය හා BRICS සාමාජික රටක් වූ දකුණු අප්‍රිකාවට තරමක් අඩු ප්‍රමාණය කි. නොබෙල් ත්‍යාග ලාභී ජෝසෆ් ස්ටිග්ලිට්ස් පවසන ආකාරයට චීනය සාර්ථකත්වයට පත්වීමේ හේතුවක් වූයේ නිරන්තරයෙන්ම තරගකාරී ප්‍රතිපත්ති අනුගමනය කරමින් ආර්ථික ප්‍රතිදාන සහ වර්ධනය උපරිම වන ආකාරයට පෙර නොවූ විරූ ප්‍රතිසංස්කරණ සමග “ජනතා අයෝජන” සිදු කිරීමයි.
1965 දී ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 500 ක්ව පැවති සිංගප්පූරුව බ්‍රිතාන්‍යය රජයෙන් නිදහස ලැබූ පසු සාර්ථකත්වයට පත්වෙමින් පෙළහර පෑවේය. සිංගප්පූරුවට ස්වාභාවික සම්පත් නොතිබිණි, උරුමයෙන් ලත් කිසිවක් නොතිබිණි. ශ්‍රී ලංකාවේ භූගෝලීය ප්‍රමාණයෙන් 1/90 තරම්වත් නොවූ එයට භූමි සම්පත්ද නොවීය. මානව සම්පත් ක්‍රමෝපායික ස්ථානගතවීම හා සාර්ථකත්වය කරා ළඟා වීමේ අධිෂ්ඨානයත් හැර කිසිදු ස්පර්නීය වත්කමක් ඊට තිබුණේ නැත. දරිද්‍රතාවෙන් වෙළී ගිය පැල්පත් සහ මුඩුක්කු සහිත ඵලදායි නොවූ හුදෙකලා මුඩු බිමක් වූ සිංගප්පූරුව එක් පරම්පරා කාලයක් තුළ ලෝකයේ වඩාත් සමෘද්ධිමත් දියුණු රටක් බවට පත් කිරීමේ මෙහෙවර එහි ප්‍රාරම්භක අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූ ඉටු කළේය. එය සර්ව සම්පූර්ණ පරිවර්තනයක් ලෙස හැඳින්වේ. එය කුසලතාව උපයෝගීතාවාදය සහ අවංකත්වය ක්‍රියාවට නැගීමක් ලෙස ලී ක්වාන් යූ නිතර ප්‍රකාශ කළේය. අද දවසේ එරට ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 90000 හෙවත් ජපානය මෙන් දෙගුණයකි. අමෙරිකා එක්සත් ජනපදය හැරුණුකොට එම ප්‍රමාණය G7 රටවලට වඩා සියයට 50 කින් ඉහළ ය. මෙය එම රටට හිමි උපාය මාර්ගික ස්ථානගතවීම උපරිම ලෙස සහ විචක්ෂණ ශීලී ලෙස භාවිතයට ගැනීමක ප්‍රතිඵලයකි. ලෝකයේ කාර්යබහුලතම වරායවලින් එකක් බවට පත් වූ සිංගප්පූරුව ලෝකයේ දෙවැනි විශාලතම බහාලුම් වරාය බවට පත් වූයේ ෂැන්හයි වරායට පමණක් දෙවැනි වෙමිනි.
ජපානය සම්බන්ධයෙන් සලකා බැලූ විට එය 1968 - 2010 අතරතුර දළ දේශීය නිෂ්පාදනය අතින් ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්ව තිබිණි. ජපානය එම තත්වයට පත් වූයේ දෙවැනි ලෝක මහා සංග්‍රාමය 1945 වසරේ නිමාවට පත් වන විට මුළුමනින්ම පාහේ විනාශ වී යාමෙන් අනතුරුවයි.
බටහිර ජර්මනියද ජපානය මෙන්ම දෙවැනි ලෝක සංග්‍රාමයෙන් මුළු මනින්ම පාහේ විනාශයට පත් වූයේය.1970 වන විට බටහිර ජර්මනිය මාර්ෂල් සැලසුමේ සහායෙන් එක්සත් රාජධානිය හා ප්‍රංශය අභිබවා යමින් ලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකය බවට පත්වූයේය. එය ආර්ථික ප්‍රාතිහාර්ය හෙවත් වියර්ෂෆ්ට්වුන්ඩාර් (Wirtschaftswunder) යනුවෙන් හැඳින්වේ. මූල්‍ය කරණය, ප්‍රතිනියාමනකරණය, කාර්මික විප්ලවය වැළඳගැනීම, ගෝලීය වෙළෙඳාම සම්බන්ධ ප්‍රතිසංස්කරණ ඊට අයත් විය.
1950 ගණන්වල සහ 1970 යුද ගැටුම්වල අවතීර්ණ වී සිටි වියට්නාමය සහ දකුණු කොරියාව යන දෙරටම ලෝකයේ දුප්පතම රටවල් අතර යටහත් ජාතීන් ලෙස පැවති ඒවාය. දකුණු කොරියාව තීව්‍ර ලෙස කාර්මිකරණයට අවතීර්ණ වූයේ ගෝලීය වශයෙන් නවීකරණයට ලක් වූ ( Chaebols) ව්‍යාපාරික හවුල් සමූහවලට පහසුකම් සැලසීමේ රජයේ සහයත් සමගය.ජාත්‍යානුරාගයත් ජාතික වාදයත් ඊට එක් වූයේය. අද වන විට දකුණු කොරියාව දළ ජාතික නිෂ්පාදිතය සහ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය අතින් ලොව විශාලතම ආර්ථික දහය අතරට එක්වෙන්නේ ඩොලර් 36000 ක ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනයකට හිමිකම් කියමිනි. දකුණු කොරියාවේ මෙම පරිවර්තනය හැන් ගඟේ ප්‍රාතිහාර්යය ලෙස හැඳින්වේ.
වියට්නාමය අවධානය යොමු කළේ සෘජු විදේශ ආයෝජනය ආකර්ෂණය කරගැනීම සංචාරක ව්‍යාපාරය, කලාපීය සහ ගෝලීය වෙළෙඳාම සහ කල්තියා පෙරනිමිති කිව හැකි ප්‍රතිපත්ති සහ Doi Moi ප්‍රතිසංස්කරණ කෙරෙහිය. ඇත්ත වශයෙන්ම වියට්නාමයේ, 1980 පටන් සමස්ත සෘජු විදේශ ආයෝජනවල වටිනාකම ඩොලර් බිලියන 485 ක් පමණ වූ අතර එරට සාමාන්‍ය වාර්ෂික සෘජු විදේශ ආයෝජන අගය ඩොලර් බිලියන 35 කි.එය එරට සමස්ත දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 8කි. වියට්නාමයේ 1980 දී මුළු අපනයන වටිනාකම ඩොලර් මිලියන350 ටත් අඩුව පැවතිණි. එකල ශ්‍රී ලංකාවේ අපනයන වටිනාකම ඩොලර් බිලියන 1කි. එය දකුණු කොරියාවේ 1970 නිර් යාත වටිනාකමට සමානය. 2025 දී දකුණු කොරියාවේ භාණ්ඩ හා සේවා නිර්‍යාත වටිනාකම ඩොලර් බිලියන 710 ඉක්මවා ගියේය.වියට්නාමයේ නිර්යාත වටිනාකම ඩොලර් බිලියන 475 කි. 1980 පටන් පසුගිය අවුරුදු 45 පුරා වියට්නාමයේ අපනයන 1300 ගුණයකින් හෙවත් සියයට 130000 කින් වර්ධනය වී තිබේ. පසු ගිය අවුරුදු45ට ශ්‍රී ලංකාව සිය අපනයන වර්ධනය කරගන්නට සමත් වූයේ 18 ගුණය කින් පමණි. 2025 ශ්‍රී ලංකාවේ නිර්යාත වටිනාකම ඩොලර් බිලියන 18 ට සමීප විය. 1980 පටන් ශ්‍රී ලංකාවේ මුළු සෘජු විදේශ ආයෝජන වටිනාකම ඩොලර් බිලියන 23 ක් පමණ වේ. දකුණු කොරියාව සහ වියට්නාමය, ශ්‍රී ලංකාවට වඩා දරුණු විනාශකාරී යුධ ගැටුම් පැවති රටවල්ය.
වැදගත් පරිවර්තනය :-
ඉහත කී රටවල් එක් පරම්පරා කාලයක් තුළ තීරණාත්මක වශයෙන් වැදගත් වන පරිවර්තනයන්ට ලක් වූයේ තරගකාරී ප්‍රතිපත්ති නිරන්තරයෙන් ක්‍රියාත්මක කිරීමත්, නීතිමය පාලනය අකුරටම ක්‍රියාත්මක කිරීමත් වගවීම විනිවිද පෙනෙන සුළු බව, මානව සම්පත්වල දියුණුව, උදෙසා ආයෝජනය කිරීම පවත්වා ගැනීම ඔස්සේය. ඒවා කලාපීය වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන්ද තරගකාරී බව පවත්වා ගනිමින් ගෝලීය ප්‍රමිතියට ළඟා වීම උදෙසා භෞතික සමාජීය හ ඩිජිටල් යටිතල පහසුකම් ආයෝජන ආදිය කෙමෙන් වර්ධනය කර ගනු ලැබුවේය. එම රටවල යථා දර්ශී ප්‍රතිරූපය වෙනස් කිරීම පිණිස ඉහළ තාක්ෂණය උපයෝගී කරගත් නිෂ්පාදන වර්ධනය කර ගත්හ.මෙහිදී අඛණ්ඩතාව හා තරගකාරීත්වය යන කාරණාවලට මුල් තැන ලැබුණු බව තවදුරටත් සඳහන් කරනු වටී. ආර්ථික විද්‍යානුකූලව කතා කරන්නේ නම් මෙම ගුණාංග ක්‍රියාත්මක කර පවත්වාගන්නේ නම් දශක දෙකක කාලයක් තුළ ඕනෑම රටක ජීවන තත්වයත් ආර්ථිකයත් නංවා සංවර්ධනය කළහැකිය.
දිට්වා සුළි කුණාටුවෙන් පසුව ඇති වූ විනාශය ඇතුළු ගැටලුවලින් සාර්ථක ලෙස එගොඩ විය හැකි ක්‍රමෝපාය පහත සඳහන් වේ.
1) ශ්‍රී ලංකාවෙන් බැහැරව වෙසෙන හා සංක්‍රමණය වූවන්ගෙන් සමන්විත මිලියන තුනක පමණ ශ්‍රී ලාංකික ප්‍රජාවෙන් ඉහත කී ව්‍යසනයෙන් යථා තත්වයට පත්වීම පිණිස දායක වන ලෙස ඉල්ලීම කළ මනාය. ශ්‍රී ලංකාවෙන් බැහැරව වෙසෙන ශ්‍රී ලාංකිකයන් මසකට ඩොලර් සියය බැගින් මාස දොළහක්
අතිශය විනිවිද පෙනෙන සුළු වූ වග කීමෙන් යුතු අරමුදලකට මුදල් එවන්නට පොරොන්දුවේ නම්
(මිලියන 2 ඩොලර් 100 න් සහ 12 න් වැඩි කළ විට) මාස දොළහකින් අනතුරුව ඩොලර් බිලියන 2.4 ක් එකතුවේ.
මෙම අරමුණ උදෙසා වූ අරමුදල කිසිදු අවභාවිතයකින් හෝ දූෂණයකින් තොරව නිශ්චිත කාරණයට යොදවන බවට රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය දිනා ඇති බව තවදුරටත් කිව යුතුය.
ii) ඉහත කී කාරණයට අදාළව ශ්‍රී ලංකාවට එතෙර රටවලින් ඉහළ නිපුණතාවෙන් යුතු වෘත්තිකයන් 500000 කට ආසන්න සංඛ්‍යාවකට රැකියා ලබාගත හැකිය. මෙසේ කළ විට 2025 දී විදේශ ප්‍රේෂණ මුදල වූ ඩොලර් බිලියන 8, ඩොලර් බිලියන 14 දක්වා නංවා ගත හැකිය. එවිට එක් නිපුණු වෘත්තිකයකුගෙන් මසකට ඩොලර් 1000 ක ප්‍රේෂණ මුදලක් ලැබුණහොත් එනිසා වාර්ෂිකව ලැබෙන මුළු ප්‍රේෂණය ඩොලර් බිලියන 6කි.
iii) දැනට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 15.4 (15.4%) ක් පමණ වන බදු ආදායම සියයට 19 දක්වා කෙමෙන් නැංවීම පිළිබඳව සලකා බැලීම යෙහෙකි. මෙය උපරිම බදු ආදායම පිළිබඳ දැඩි අවධානයෙන් ( ලාෆර් වක්‍රය පිළිබඳ දැනුවත්ව) කළ යුතුය. එසේ නොකළහොත් ආර්ථික වර්ධනය හා නිෂ්පාදනය සෑහෙන තරම් පහළ වැටෙන්නට ඉඩ තිබේ.
iv) රජය සහ සමාගම් අංශය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩි වැඩියෙන් ප්‍රවර්ධනය කළහොත් 2026 වසරේ සංචාරකයන් මිලියන 6 ක් මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව පවතී. එක් සංචාරකයකු ශ්‍රී ලංකාවේ ගත කරන කාලය තුළ ඩොලර් 1200 ක් වැය කළහොත් එය ඩොලර් බිලියන 7.2 කට පරිවර්තනය වනුයේ වාණිජ අංශය තුළ රැකියාද සෑහෙන තරමකින් නිර්මාණය කරමිනි. සංචාකරකයන් වැඩි පුර ආකර්ෂණය කර ගැනීම උදෙසා
වීසා නිකුත් කිරීමට අදාළ සීමා ලිහිල් කිරීම මෙම කලාපයේ රටවල් වන සිංගප්පූරුව හා මාලදිවයින ආදර්ශයට ගනිමින් කළ හැකිය.
v) අපනයනයන් ඍජු විදේශ ආයෝජන විදේශ ආයතනික ආයෝජන හා විදේශ ප්‍රේෂණ වැඩි කිරීමත් පාඩු ලබන රජයට අයත් ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීමත් මනා කාර්ය සාධනයෙන් යුතු ව්‍යාපාර ගොඩනැගීමත් කළ යුතුය.
vi) ලෝකය 2010 වසරේ හතර වැනි කාර්මික විප්ලවයට අවතීර්ණය වුවද ශ්‍රී ලංකාවට දෙවැනි සහ තුන් වැනි කාර්මික විප්ලවවලින් පවා අවශ්‍ය දියුණුව උකහා ගැනීමට නොහැකි වීම අවාසනාවකි. සිව් වැනි කාර්මික විප්ලවයෙන් තාක්ෂණික දියුණුවත් රොබෝ තාක්ෂණයත් කෘතිම බුද්ධිය සහ අති සූක්ෂම නවීන උපාංගත් ඉවහල් කරගෙන ඵලදායිතාව වඩාත් ඉහළ නැංවීම සිදු කෙරිණි. මේ වන විට 4th IR plus යනුවෙන් හඳුන්වන තවදුරටත් වර්ධනය වූ අවධියක පසුවෙන සිව්වැනි කාර්මික විප්ලවයට අවතීර්ණ වීම ලංකාවේ තීරණාත්මක අවශ්‍යතාවකි. ඒ ඔස්සේ විද්‍යාත්මක තාක්ෂණික සහ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට අවකාශ සැලසේ. ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය සඳහා වෙනම අමාත්‍යාංශයක් බිහි කිරීම දිරිගන්වන සුළු කාරණයකි. එම කාර්ය සිදුකොට ඇත්තේ රටවල් කිහිපයක් පමණි.
vii) රජයේ සහයෝගය සහ පහසුකම් ලබන ශ්‍රී ලාංකීය සමාගම් ඉහළ අගයෙන් යුතු සහ ඉහළ තාක්ෂණයෙන් මෙහෙයවන ආර්ථිකයකට යොමු නොවී අමුද්‍රව්‍ය පාදක කරගත් අති නවීන බවෙන් තොර නිෂ්පාදන වල ඇලීගැලී සිටීම ආර්ථිකය අවහිර කරන්නකි. පසුගිය අඩ සියවස තුළ කිසිම රටක් දියුණු සේවා පාදක කරගත් ශක්තිමත් ආර්ථිකයක් කරා ඉහළ නැගීමෙන් තොරව සංවර්ධනය වී නොමැත.
viii) නිර්මාණශීලී නවෝත්පාදනය නවීකරණය පෝෂණය කළ යුතු වන අතර දළ ජාතික නිෂ්පාදිතයෙන් වැඩි ප්‍රතිශතයක් පර්යේෂණ හා සංවර්ධන කටයුතුවලට විශ්ව විද්‍යාල නව ව්‍යාපාර මහා පරිමාණ කාර්මිකරණය උදෙසා වෙන් කළ යුතුවේ. රට තුළත් රටෙන් බාහිරත් අතිශය ධනවත් පුද්ගලයන් බිහිවෙන්නට ඉඩ හරිමින් නව ව්‍යාපාර පරිසරයක් බිහිවෙන ව්‍යවසායමය සංස්කෘතියක් නිර්මාණය කර ආයෝජන දිරිමත් කළ යුතුවේ. Magnificent 7 යනුවෙන් හඳුන්වන එක්සත් ජනපදයේ අති දැවැන්තම කොම්පැනි හත ආරම්භ වූයේ සුළු පරිමාණ ව්‍යවසාය ලෙස නොව ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසාය ලෙස ගරාජ තුළ කුලියට ගත් කාමර තුළ බව සැලකිල්ලට ගත යුතුය. අද වන විට එකක් ඩොලර් ට්‍රිලියනයකට බැගින් හිමිකම් කියන මෙම කොම්පැනිවල සාමූහික වෙළෙඳපොළ වටිනාකමක් ඩොලර් ට්‍රිලියන 22 කි. මෙකී කොම්පැනි එම දියුණුව ලබා ඇත්තේ යම්තමින් දශක තුනක කාලයක් ඇතුළතය. විශේෂයෙන් දිට්වා ආපදාවලින් පසුව රජය සුළු පරිමාණ ව්‍යවසායයන්ට ත්‍යාගශීලීව අතහිතදීමට ඉදිරිපත්වීම දිරිගන්වන සුළු කාරණයකි.
ix) යහපාලනය, නීති පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීම නීතිමය පාලනය විනිවිද පෙනෙන සුළු බව, බදුකරණය සහ පුරෝකථනය කළ හැකි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, වග වීම කෙරෙහි දැඩි අවධානය යොමු කරන අතර නිලධාරීවාදය අවම කර විධිමත් කිරීම තාක්ෂණික දියුණුව ඇති කිරීම මාධ්‍ය සවිමත් කිරීම දූෂණය සහ නීති විරෝධී ක්‍රියා අවම කිරීම උදෙසා කටයුතු කළ යුතුවේ.
x) ශ්‍රී ලංකාව වඩාත් ක්‍රමෝපායික සහ හොඳම ස්ථානගත වීමක පිහිටි වග අලුතෙන් කිව යුතු නැත. මෙතෙක් මුදා නොහැර තිබෙන විභවතාවත් ස්වාභාවික සම්පත් ආදියත් ප්‍රයෝජනයට ගෙන රට දියුණුව කරා මෙහෙයවීම සිංගප්පූරු හා එක්සත් අරාබි එමිර් රාජ්‍ය ආදර්ශයට ගෙන කළ යුතුය.
xi) ශ්‍රී ලංකාවට ස්වාභාවික සම්පත් මෙන්ම ග්‍රැෆයිට් ඉල්මනයිට් ආදී ඉහළ වටිනාකම් සහිත ඛනිජ වර්ග දායාද ලෙස ලැබී තිබේ. USGS එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ අක්වෙරළ තුළ තෙල් සම්පත් සහ ගෑස් අනූනව පවතී. මෙරට නිධිවල තෙල් බැරල් බිලියන ගණනක් සහ සහ ස්වාභාවික වායු කියුබික් අඩි ට්‍රිලියන 50 ඇති බව ප්‍රකාශිතය. එම සම්පත් උකහා ගැනීමට මෙරට තාක්ෂණය ප්‍රමාණවත් නොවේනම්, ගෝලීය සමාගම්වල සහාය ඒ සඳහා, විනිවිද පෙනෙන සුළු ටෙන්ඩර් පරිපාටියක් ඔස්සේ යොදාගත හැකි වේ. එම සම්පත්වල වටිනාකම ඩොලර් බිලියන 250 ඉක්මවා යනබව වාර්තාවන අතර එය ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය මෙන් 2.5 ගුණයකි.
xii) ශ්‍රී ලංකාවේ සමාගම් සහ ධනවතුන් එතෙර සමාගම්වල ආයෝජනය උදෙසාත් විදේශීය හවුල් වෙළෙඳ ව්‍යාපාර මිලදී ගැනීම සඳහාත් දිරිමත් කර ඒ සඳහා අතහිත දිය යුතුවේ. එය රටේ ප්‍රතිරූපය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වීම කෙරේ බලපාන අතර ආර්ථික වශයෙන්ද එයින් යහපත් ප්‍රතිඵල ලැබේ. එය එක්සත් රාජධානිය සතු ජගුවාර් ලෑන්ඩ් රෝවර් සමාගම 2008 දී ඉන්දියාවේ ටාටා මෝටර්ස් විසින් මිලදී ගැනීමටත් 2007 දී කෝරස් ස්ටීල් සමාගම ටාටා ස්ටීල් සමාගමෙන් අත්පත් කර ගැනීමටත් සමානය. ගෝලීය නිෂ්පාදකයකු ලෙස ඉන්දියාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට ඒවා බලපෑවේය.
ශ්‍රී ලංකාවේ අනාගතය:-
ශ්‍රී ලංකාවේ අනාගතය වඩාත් දීප්තිමත් වන අතර රටේ විශිෂ්ටතම දවස් අයත් වන්නේ අතීතයට නොව අනාගතයටයි. එය යථාර්ථයක් බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාව ඇත්තේ රටේ ජනතාව වඩාත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය ක්‍රමෝපායන්ට අනුගත වීම තුළය.” ඔබ කිසිදු දරුණු අර්බුදයක් හෝ ව්‍යසනයක් නිරපරාදේ නාස්ති නොකළ යුතුය” යනුවෙන් ක්ලින්ටන් ගේ සහ ඔබාමාගේ පාලනයේ වඩාත් ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නිලධාරියකුව සිටි සහ ජපානයේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිවරයාව සිටි රාම් එම්මානුවෙල් ප්‍රකාශ කළේය. මෙයින් මා අදහස් කරන්නේ කලින් නොකළ දේ කිරීමට ඔබට අවස්ථාව ලැබී ඇති බවයි.වඩාත් ලාබාලතම නොබෙල් ත්‍යාග ලාභියා වූ මාර්ටින් ලූතර් කිං (කණිෂ්ඨ) දශක හයකට ඉහතදී කී දේ අද අපිට අදාළ වේ.” ඔබට පියෑඹිය නොහැකි නම් දිවයන්න. ඔබට දිව යා නොහැකිනම් ඇවිද යන්න. ඔබට ඇවිදගත නොහැකිනම්. බඩගා යන්න. ඔබ මොනවා කළත් ඉදිරියට යා යුතුය.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd