කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ ඇත්කඳුරේ ජනත් ද සිල්වා 


ගාලු‍ දිසාවේ සුපිළිපන් සමුපකාර සේවාවක් සඳහා විශේෂ පියවර රැසක් ඉදිරියේදී ගැනීමට නියමිත බව දකුණු පළාත් සමූපකාර අමාත්‍යාංශය කියයි.

මේ නිමිත්තෙන් ගාලු‍ දිසාවේ සමූපකාර ව්‍යාපාරය ආශ්‍රිතව මතුව ඇති ගැටලු‍ හඳුනාගෙන ඒ සඳහා කඩිනම් හා ප්‍රායෝගික විසඳුම් ලබාදීම මෙන්ම, ඉදිරියේදී සමූපකාර ව්‍යාපාරයේ ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ගාල්ල දිස්ත්‍රික්කයේ සමූපකාර සමිති හා ඒවායේ පරිපාලන කටයුතු ආශ්‍රිතව දැනට පවතින ගැටලු‍ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.

මෙහිදී විශේෂයෙන්ම සමූපකාර සමිතිවල පරිපාලන හා කළමනාකරණ කටයුතු, මූල්‍ය හා ආයතනික ගැටලු‍, නීතිමය තත්වයන්, සාමාජිකයන්ට ලබාදෙන සේවාවල කාර්යක්ෂමතාව, ආයතනික පාරදෘශ්‍ය භාවය හා වගවීම මෙන්ම සමූපකාර ව්‍යාපාරය වඩාත් ශක්තිමත් හා ජනතාවට ප්‍රයෝජනවත් සේවාවක් බවට පත් කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු විය. එමෙන්ම දැනට පවතින ගැටලු‍ සඳහා අදාළ නීති හා රෙගුලාසිවලට අනුකූලව ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග හඳුනාගැනීම, සමූපකාර ආයතනවල පරිපාලන දුර්වලතා අවම කිරීම සහ නිසි අධීක්ෂණ ක්‍රමවේද ශක්තිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා සඳහන් කළේ, ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීම සඳහා සමූපකාර ව්‍යාපාරයට සුවිශේෂී වගකීමක් පැවරී ඇති බවත් එබැවින් සමූපකාර ආයතන වඩාත් කාර්යක්ෂම, විශ්වාසනීය හා ජනතාව කේන්ද්‍ර කරගත් සේවා ආයතන බවට පත් කිරීම සඳහා පවතින ගැටලු‍ හඳුනාගෙන ඒවාට නිසි විසඳුම් ලබාදීම අත්‍යවශ්‍ය බවත්ය.  

මේ අවස්ථාවට දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එන්.ඒ.කේ.එල්. විජේනායක, දකුණු පළාත් ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් සුධර්මන් වෛද්‍යරත්න, ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ සහකාර ලේකම් එච්.ඩී.ඩී.එස්.ඩබ්. හේරත්, දකුණු පළාත් සමූපකාර කොමසාරිස් බෙනිකා ජයසේකර යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරී පිරිසක් එක්ව සිටියහ.