රෝමයේ පැවති FAO Hand-in-Hand ආයෝජන සමුළුවේදී, DNA සත්‍යාපනය, සංයෝග පැතිකඩ විශ්ලේෂණය සහ උසස් නිස්සාරණ තාක්ෂණය මෙරටට ගෙන එන ලෙස ආයෝජකයන්ට ආරාධනා කෙරිණි. එමගින් ලංකා කුරුඳු, කළු ගම්මිරිස්, කෝපි සහ මුහුදු කූඩැල්ලා ආශ්‍රිත ඖෂධීය, සුවතා හා රූපලාවණ්‍ය වටිනාකම ඉහළ නැංවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 65.1ක ආයෝජන ව්‍යාපෘති පෙළක් ඉදිරිපත් විය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ඔක්තෝබර් 13 සිට 16 දක්වා රෝමයේ මූලස්ථානයේදී කැඳවන ලද 2026 Hand-in-Hand ආයෝජන සමුළුවේදී, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කෘෂි-ආහාර ආයෝජන අවස්ථා ජාත්‍යන්තර ආයෝජකයන් වෙත ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා නියෝජිත පිරිසට නායකත්වය දුන් අතර, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා ද ඊට එක්විය.

නූතන තාක්ෂණය මුල්කරගත් සාම්ප්‍රදායික කුළුබඩුවල මූලික සංඝටක නිස්සාරණය කර ඒවායේ ඇති ඖෂධීය සාරය රූපලාවණ්‍ය, කායික සුවතාව ඉහළ දැමීමට අදාළ වන මූලික ජාන හඳුනාගෙන එම ජාන අයත් කොටස් ගෙල් වශයෙන් නිස්සාරණය කරනු ලබන අතිනවීන තාක්ෂණය පදනම් කරගත් ක්‍රමවේදයක් මත ශ්‍රී ලංකාවේ කුළුබඩු අනාගතය රඳා පවතී. “සිලෝන්” වෙළෙඳ සන්නාමයට නිදසුනක් වශයෙන් Ceylon Tea, Ceylon Cinnamon ශතවර්ෂ ගණනාවක් තිස්සේ ලොව ගොඩනගාගත් පිළිගැනීමක් ඇති හෙයින් එය පදනම් කරගෙන මෙම තාක්ෂණ ප්‍රවණතාවෙන් වඩාත් ප්‍රයෝජන ලබා ගැනීමට හැකිවනු ඇත. 

ලෝක ආහාර සංසදයට සමගාමීව පැවති මෙම සමුළුව, FAO හි Hand-in-Hand වැඩසටහන යටතේ සකස්කළ ජාතික ආයෝජන සැලසුම් සඳහා රජයන්, මූල්‍ය ආයතන සහ පෞද්ගලික ආයෝජකයන් එක් කරයි. මෙවර සමුළුවට කලාප පහක් නියෝජනය කරමින් රටවල් 38ක් සහභාගී වූ අතර, ආසියා හා පැසිෆික් කලාපයෙන් සහභාගී වූ රටවල් හත අතර ශ්‍රී ලංකාව ද විය.

ඉහළ ගුණාත්මක නිෂ්පාදන - එහෙත් සීමිත ආර්ථික ප්‍රතිලාභ

ආයෝජකයන් අමතමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ, සියවස් ගණනාවක් පුරා ශ්‍රී ලංකාව ගෝලීය කුළුබඩු වෙළෙඳාමේ කේන්ද්‍රස්ථානයක්ව පැවති බවයි. අද ද මෙරට කුඩා පරිමාණ ගොවි නිෂ්පාදකයෝ ලංකා කුරුඳු, කෝපි, කළු ගම්මිරිස් සහ ඉහළ වටිනාකමක් සහිත ජලාශ්‍රිත නිෂ්පාදන ඇතුළු ලෝකයේ පිළිගැනීමට ලක් වූ කෘෂි-ආහාර නිෂ්පාදන නිපදවති. කෘෂිකර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයට සියයට 7.1ක දායකත්වයක් සපයන අතර, 2025 වසරේ කෘෂිකර්මාන්තය සඳහා රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 840ක් වෙන් කර තිබුණි. එහෙත්, මෙම නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙස අපනයනය කරන නිසා, ඒවායෙන් වැඩි ලාබයක් ලැබෙන්නේ විදේශ රටවලටය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ප්‍රධාන අභියෝග තුනක් හඳුනාගෙන ඇත.

අගය එකතු කිරීම සීමිත වීම: අමුද්‍රව්‍ය අපනයනය ප්‍රමුඛ වීම, සැකසුම් හා නිස්සාරණ ධාරිතාව සීමාසහිත වීම සහ ඉහළ මිලක් ගෙවන පාරිභෝගික වෙළෙඳපොළ වෙත ප්‍රවේශය අඩුවීම.

නිෂ්පාදන බාධක: සැකසුම් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම, ගොවිපොළ ඵලදායිතාව අඩුවීම සහ සැපයුම් දාමය ඔස්සේ නිෂ්පාදනයේ මූලාශ්‍රය හා ගමන්මග සොයා තහවුරු කිරීමේ හැකියාව දුර්වල වීම.

ගෝලීය වෙළෙඳපොළ ප්‍රමාණවත් ලෙස භාවිත නොකිරීම: ජාත්‍යන්තර සන්නාම ගොඩනැගීම සීමා වීම, වාණිජ හවුල්කාරිත්ව දුර්වල වීම සහ ඉහළ වටිනාකමක් සහිත අපනයන සඳහා වෙළෙඳපොළ ස්ථානගත කිරීම ප්‍රමාණවත් ලෙස වර්ධනය නොවීම.

මෙම බාධක ජයගැනීමේදී ප්‍රාග්ධනය, තාක්ෂණය සහ ඉහළ වටිනාකමක් සහිත වෙළෙඳපොළ වෙත ප්‍රවේශය තීරණාත්මක වන අතර, ඒවා ජාත්‍යන්තර හවුල්කරුවන්ට හා ආයෝජකයන්ට සැපයිය හැකි බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මූලාශ්‍රය: FAO Hand-in-Hand ආයෝජන සමුළුව 2026 සඳහා සකස් කළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉදිරිපත් කිරීම.


තරගකාරී වෙළෙඳපොළෙන් නව්‍ය නිෂ්පාදන වෙළෙඳපොළට

අගය එකතු කිරීමක් නොමැතිව කුළුබඩු තොග වශයෙන්, වෙනසක් නොපෙන්වන අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීම යන සාම්ප්‍රදායික ප්‍රවේශයට අනුව බොහෝ රටවල් ප්‍රමාණය හා මිල මත තරග කරන බැවින් ලාබ ආන්තිකය ක්‍රමයෙන් පහළ යයි. මෙම සාම්ප්‍රදායික වෙළෙඳපොළ “Red Ocean” වෙළෙඳපොළ ලෙස හඳුන්වනු ලබයි. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පදනම් විය යුත්තේ විශාල තරගකාරී වෙළෙඳපොළක නොව නව්‍ය නිෂ්පාදන ක්‍රමවේද හා වටිනාකම් එකතු කරන ලද තරගකරුවන් නොමැති හෝ තරගකරුවන් අඩු වශයෙන් ඇති වෙළෙඳපොළවල් කරා යාම මත බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අවධාරණය කරයි.

ඒ වෙනුවට, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවලටම ආවේණික ගුණාංග මත පදනම් වූ, ඉහළ වටිනාකමක් සහිත නව්‍ය නිෂ්පාදන වෙළෙඳපොළක් Blue Ocean වෙත අවධානය යොමු කෙරේ. මෙහිදී ශ්‍රී ලංකාව මිල මත පමණක් පදනම් නොවී, වෙනත් ක්‍රමවේද මගින් පහසුවෙන් ප්‍රතිනිර්මාණය කළ නොහැකි සුවිශේෂී ගුණාංග මත තරග කරයි. සැබෑ කුරුඳු විශේෂය වන ලංකා කුරුඳු (Cinnamomum verum), ලෝක වෙළෙඳාමේ කැසියා (Cassia) නමින් හඳුන්වන කුරුඳු වර්ගයට සාපේක්ෂව ස්වාභාවිකවම ඉතා අඩු කූමරින්  (Coumarin) අන්තර්ගතයකින් යුක්තය. ලංකා කළු ගම්මිරිස් එහි සැර ගතිය සහ පයිපරීන් (Piperine) අන්තර්ගතය නිසා අගය කෙරේ. ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සහ සියවස් ගණනාවක් පැරණි දේශීය වෛද්‍ය දැනුම ද ගෝලීය සන්නාම සොයන සුවිශේෂී මූලාශ්‍රමය වටිනාකම තවදුරටත් ශක්තිමත් කරයි.

Global Market Insights අනුව, ගෝලීය කුළුබඩු නිස්සාරක තෙල් වෙළෙඳපොළ (Botanical Market) වටිනාකම 2024දී ඇමෙරිකානු ඩොලර් බිලියන 30ක් පමණ වූ අතර, 2034 වන විට එය බිලියන 64.6 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. මෙම ආදායමෙන් සියයට 18ක් පමණ දැනටමත් කුළුබඩු හා රසකාරකවලින් ලැබේ. පෝෂක ඖෂධ (nutraceuticals)  සහ ආහාර අතිරේක මෙම සාරවල විශාලතම ගැනුම්කරුවන් වේ. රූපලාවණ්‍ය, පෞද්ගලික සත්කාර, පෝෂණය සහ සාම්ප්‍රදායික හා අනුපූරක වෛද්‍ය ක්‍රම ඇතුළත් පුළුල් ආර්ථිකය 2024දී ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 6.8ක් වූ අතර, 2029 වන විට ට්‍රිලියන 9.8ක් දක්වා වර්ධනය වනු ඇතැයි Global Wellness Institute පුරෝකථනය කරයි.

ඉහළ වටිනාකමක් සහිත අපනයන අවස්ථා හතරක්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 65.1ක් වන, ආයෝජනය සඳහා සූදානම් ඉහළ වටිනාකමකින් යුතු ක්ෂේත්‍ර හතරක් ඉදිරිපත් කරන ලදී. ඒ සෑම ව්‍යාපෘතියක්ම නිෂ්පාදන ධාරිතාවට වඩා අගය එකතු කිරීම කේන්ද්‍ර කර ගනී. ඒකාබද්ධව, ඍජු ප්‍රතිලාභීන් 21,100කට පමණ සහ වක්‍ර ප්‍රතිලාභීන් 84,000කට වැඩි පිරිසකට ප්‍රතිලාභ සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

මෙම ආයෝජන පෙළේ ඉහළම අපේක්ෂිත ප්‍රතිලාභය ලංකා කුරුඳු වැඩසටහනෙන් ලැබීමට නියමිත අතර, එහි අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය සියයට 35.4කි. වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක පමණ වටිනාකමකින් දැනටමත් අපනයනය කෙරෙන කුළුබඩුවක් පදනම් කරගෙන ඉහළ වටිනාකමක් සහිත පෝෂක ඖෂධ කර්මාන්තයක් ගොඩනැගීම මෙහි අරමුණයි. මුහුදු කූඩැල්ලා ව්‍යාපෘතියෙන් එක් පුද්ගලයකුගේ ආදායම ඇමෙරිකානු ඩොලර් 4,800කින් ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, චීනය සහ සිංගප්පූරුව වැනි වෙළෙඳපොළවල ඉල්ලු‍ම සපුරාලීමට දැනට පවතින වගාපොළවල නිෂ්පාදනය ප්‍රමාණවත් නොවේ. කෝපි ව්‍යාපෘතියෙන් එක් පුද්ගලයකුගේ ආදායම ඩොලර් 4,150කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, කලක් ලෝකයේ ප්‍රමුඛ අපනයනකරුවකු වූ ලංකා කෝපි වගාව යළි නගාසිටුවීම ද අරමුණකි.

කෘෂිකාර්මික විභවය වැඩිම ප්‍රදේශ හඳුනාගෙන, එක් එක් ප්‍රදේශයේ විශේෂිත අභියෝගවලට ගැලපෙන ආයෝජන යොමුකිරීම සඳහා FAO හි භූ-අවකාශීය (geospatial) වේදිකාව භාවිත කෙරේ. එමගින් ගොවි හා ධීවර ප්‍රජාව වෙත ලැබෙන ප්‍රතිලාභ උපරිම කිරීම අපේක්ෂා කෙරේ.

සාම්ප්‍රදායික කුළුබඩු නවීන තාක්ෂණය සමග මුහු කිරීම 

සාම්ප්‍රදායික වෙළෙඳාමේ අනාගතය වගාබිමේ පමණක් නොව,  පර්‌යේෂණාගාරය තුළ ද තීරණය වේ. නවීන විද්‍යාව මගින් කුළුබඩුවක DNA මට්ටම දක්වාත් එහි රසායනික සංයුතිය දක්වාත් විශ්ලේෂණය කළ හැකිය. DNA බාර්කෝඩ් ක්‍රමය මගින් සැබෑ ලංකා කුරුඳු, සැබෑ කුරුඳු නොවන කැසියා (Cassia) නමින් හඳුන්වන ප්‍රභේදයද සහ වෙනත් ආදේශකවලින් වෙන්කර හඳුනාගෙන එහි මූලාශ්‍රය සහ ඉහළ වෙළෙඳ වටිනාකම ආරක්ෂා කළ හැකිය. රසායනික පැතිකඩ විශ්ලේෂණය මගින් කුරුඳුවල සිනමැල්ඩිහයිඩ් (Cinnamaldehyde) හා ඉයුජිනෝල් (Eugenol) සහ කළු ගම්මිරිස්වල පයිපරීන් (Piperine) වැනි එක් එක් කුළුබඩුවට සුවිශේෂී ලක්ෂණ ලබාදෙන සක්‍රිය සංඝටක හඳුනාගෙන ඒවායේ ප්‍රමාණය මැනිය හැකිය. මෙම ජෛව සක්‍රීය සංයෝග පිළිබඳ පර්‌යේෂණ, සියවස් ගණනක සාම්ප්‍රදායික හෙළ වෙදකමේ භාවිත අත්දැකීම් සමග එක්කර, සෞඛ්‍යය, සුවතා සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍ර සඳහා විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ යෙදුම් සංවර්ධනය කිරීමට මග සලසයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙහි ආරාධනය විශේෂයෙන් යොමුවන්නේ උසස් තාක්ෂණය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කුළුබඩු කර්මාන්තයට ගෙන ආ හැකි සමාගම් වෙතය. ඒ අතර නිස්සාරණ හා ජෛව තාක්ෂණ සමාගම්, පෝෂක ඖෂධ හා ඖෂධ නිෂ්පාදන සංයෝජක සහ රූපලාවණ්‍ය හා සුවතා සන්නාම ඇතුළත් වේ. ජානමය සත්‍යාපනය, සංයෝග හඳුනාගැනීම, අධි-අවදානම් නොවන අතිවිශේෂ CO₂ නිස්සාරණය (supercritical CO₂ extraction), ජෛව සක්‍රීය සංයෝග ප්‍රමිතිකරණය, සායනික වලංගුකරණය සහ නිරවද්‍ය සංයෝජන සැකසීම වැනි තාක්ෂණයෙන් ශ්‍රී ලාංකික නිෂ්පාදන තුළ දැනටමත් පවතින ඖෂධීය, සුවතා හා රූපලාවණ්‍ය වටිනාකම ප්‍රයෝජනයට ගත හැකිය.

ලංකා කුරුඳු: ප්‍රමිතිගත, අඩු කූමරින් අන්තර්ගත සාර, පොතු හා පත්‍ර තෙල්, පෝෂක ඖෂධ, ක්‍රියාකාරී ආහාර, මුඛ සත්කාර, රූපලාවණ්‍ය සහ ස්වාභාවික සංරක්ෂණ ද්‍රව්‍ය සඳහා ස්වාභාවික සක්‍රීය සංඝටක. 

මෙහි අරමුණ කිලෝග්‍රෑමයක මිලකට විකිණෙන අමුද්‍රව්‍යයක් ග්‍රෑමයකට ඉහළ වටිනාකමක් ලැබෙන නිෂ්පාදනයක් බවට පත් කිරීමයි.

ලංකා කළු ගම්මිරිස්: ආහාර අතිරේක, ඖෂධ සහ ක්‍රියාකාරී ආහාර නිෂ්පාදකයන් සඳහා ඉහළ සංශුද්ධතාවකින් යුත් ඔලියොරෙසින් සහ පයිපරීන්.

මුහුදු කූඩැල්ලා: ඉහළ වටිනාකමක් සහිත රූපලාවණ්‍ය, සම සත්කාර සහ පෝෂක ඖෂධ වෙළෙඳපොළ සඳහා සාගර කොලජන්, පෙප්ටයිඩ සහ ජෛව සක්‍රීය සංයෝග.

ලංකා කෝපි: විශේෂිත ගුණාත්මක ශ්‍රේණියේ කෝපි සමග, පාන වර්ග, සුවතා නිෂ්පාදන සහ සම සත්කාර සඳහා හරිත කෝපි සාර හා කෝපි ගෙඩියේ මස් කොටසෙන් ලබාගන්නා අමුද්‍රව්‍ය.

දේශීය වෛද්‍ය ක්‍රමය හා මූලාශ්‍ර සත්‍යාපනය: සැපයුම් මූලාශ්‍රය තහවුරු කිරීම සහ තිරසාරභාවය සහතික කිරීමෙන් ශ්‍රී ලාංකික නිෂ්පාදනවල වටිනාකම ඉහළ නංවා, විදේශීය ඖෂධ, රූපලාවණ්‍ය හා සුවතා සමාගම් අතර ප්‍රසිද්ධියට පත් කිරීම.

මෙම ආකෘතිය යටතේ ආයෝජකයන්ට තාක්ෂණය, පර්‌යේෂණ හැකියාව සහ ගෝලීය සන්නාම වෙත ප්‍රවේශය සපයන අතර, ශ්‍රී ලංකාව සතු සුවිශේෂී අමුද්‍රව්‍ය, උරුමය සහ ඒවා සැපයීමට සූදානම් ගොවි හා ධීවර ප්‍රජාව මෙරටට විශේෂ වාසියක් ලබා දෙයි. එමගින් වැඩි වටිනාකමක් රට තුළ නිර්මාණය වන අතර, එය රට තුළම රඳවා ගැනීමට ද හැකි වේ.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඇති වාසි

ප්‍රතිපත්තිමය දිශානතිය: ඵලදායිතාව සහ ගොවි ලාභදායිතාව ඉහළ නැංවීම අරමුණු කරගත් ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය 2030.

හිමිකාරිත්වය හා ආරක්ෂාව: විදේශ ආයෝජකයන්ට සියයට 100ක් දක්වා හිමිකාරිත්වය ලබාගැනීමේ හැකියාව සහ ආයෝජන ආරක්ෂණ ගිවිසුම් 26ක සහාය.

වෙළෙඳපොළ ප්‍රවේශය:  ඉන්දියාව, පාකිස්තානය සහ සිංගප්පූරුව සමග ඇති ද්විපාර්ශ්වික ගිවිසුම් ඇතුළුව නිදහස් වෙළෙඳ ගිවිසුම් හතරකට වැඩි සංඛ්‍යාවක් මෙන්ම යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය වෙත වෙළෙඳ ප්‍රවේශය.

ප්‍රවාහන හා සැපයුම් පහසුකම්: නැගෙනහිර-බටහිර නාවික මාර්ගවල මධ්‍යයේ පිහිටි කොළඹ වරාය, ලෝකයේ හොඳම කාර්යසාධනයක් දක්වන වරායක් ලෙස සඳහන් කර ඇත.

බදු සහන: සේවා අපනයන සඳහා සියයට 15ක අඩු කළ සමාගම් ආදායම් බදු අනුපාතයක් ඇතුළු මූල්‍ය දිරිගැන්වීම්.

අධ්‍යාපනය ලැබූ, ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කළ හැකි ශ්‍රම බළකායක් සහ ස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීමට කැපවූ, ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජයක් ද පැවතීම ශ්‍රී ලංකාවේ ආයෝජන යෝජනාව තවදුරටත් ශක්තිමත් කරයි. සමුළුවට සමගාමීව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නියෝජිත පිරිස අනාගත ආයෝජකයන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවක් ද පැවැත්වීය.

ආයෝජකයන් සඳහා ඉදිරි පියවර

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ආයෝජකයන්ට පියවර තුනක් ඔස්සේ මීට සම්බන්ධ වන ලෙස ආරාධනා කළේය. ශ්‍රී ලංකාව සඳහා වන Hand-in-Hand වෙබ් පිටුවෙහි සම්පූර්ණ ආයෝජන සටහන සහ ආයෝජක ඉදිරිපත් කිරීම පරිශීලනය කිරීම, ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමග ද්විපාර්ශ්වික හමුවක් ඉල්ලා සිටීම, සහ සංවර්ධන මූල්‍ය ආයතනයක්, බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවක් හෝ පෞද්ගලික ආයෝජකයකු ලෙස හවුල්කරුවකු වීමෙන් ප්‍රාග්ධනය සැලසුම් කිරීම, අවදානම් අවම කිරීම සහ ආයෝජනය කිරීම සඳහා එක්වීම.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රෝමයේදී හමුවූ ආයෝජකයන් සමග සාකච්ඡා කරමින්, ඉහත සඳහන් කළ ඉහළ වටිනාකමකින් යුතු ක්ෂේත්‍ර හතරට ආයෝජන ලබා ගැනීමට FAO සහ රාජ්‍ය ආයතන සමග කටයුතු කරන අතර මෙරට අගය එකතු කළ නිෂ්පාදන ආරම්භ කිරීම සඳහා තාක්ෂණික සමාගම් ආකර්ෂණය කර ගැනීමටද සැලසුම් කර ඇත. මෙහි අරමුණ වන්නේ අමුද්‍රව්‍ය පමණක් සපයන රටක් වෙනුවට, ඉහළ වටිනාකමක් ඇති තාක්ෂණය මත පදනම් වූ පාරිභෝගිකයාට අනන්‍ය වූ උවමනා උදෙසා අගය එකතු කළ නිෂ්පාදන ලෝකයට හඳුන්වාදෙන රටක් ලෙස ශ්‍රී ලංකාව දියුණු කිරීමයි.

www.investsrilanka.com