• ශ්‍රී ලංකා - ඇමෙරිකා එක්සත් ජනපද ව්‍යාපාරික කවුන්සිලය 10 වැනි සංවත්සරය සමරයි
  • ව්‍යාපාර සැලසුම් කිරීමට ස්ථාවර ප්‍රතිපත්ති, පුරෝකථනය කළ හැකි වෙළෙඳ රාමුව වැදගත් - SLUSABC සභාපති

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ආයෝජක විශ්වාසය ගොඩනැගීමේදී සහ දෙරටටම කල් පවතින ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමේදී විනිවිද පෙනෙන, පුරෝකථනය කළ හැකි රෙගුලාසි මූලික කරුණු බව ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති එරික් මේයර් මහතා පවසයි. 

ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා - ඇමෙරිකා එක්සත් ජනපද ව්‍යාපාරික කවුන්සිලයේ (SLUSABC) 10 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් තානාපතිවරයා මෙම අදහස් පළ කර තිබේ. 

එසේම ශක්තිමත් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහ සාධාරණ තරගකාරිත්වය යනාදියද මෙම ආයෝජන ආකර්ෂණයට වැදගත් අවස්ථා බවද තානාපතිවරයා අවධාරණය කර තිබේ. 

 “එක්සත් ජනපද ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී සහ ද්විපාර්ශ්වික වෙළෙඳාම පුළුල් කිරීමේදී මෙම කරුණු අතිශය වැදගත්. මේ සඳහා ඔබ කවුන්සිලය ලබා දෙන සහාය අගය කරනවා.“ තානාපතිවරයා පවසා තිබේ. 

මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත SelectUSA ආයෝජන සමුළුව ඇතුළුව එක්සත් ජනපදයේ ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට ශ්‍රී ලාංකික ව්‍යාපාර දිරිමත් කරන බව පැවසූ තානාපතිවරයා, තාක්ෂණය, බලශක්තිය, යටිතල පහසුකම් සහ සැපයුම් ක්ෂේත්‍රවල වාණිජ සහයෝගීතාව ගැඹුරු කිරීමට ඇති අවස්ථාද මෙහිදී පෙන්වා දී තිබේ. 

ව්‍යාපාරික කවුන්සිලයේ 2026/2027 සඳහා සභාපතිවරයා ලෙස නැවත තේරී පත්වූ MAC Holdings (Pvt) Ltd හි සමූහ අධ්‍යක්ෂ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී තිලක් ගුණවර්ධන මහතා අදහස් දක්වමින්, සිය ව්‍යාපාරවලට සැලසුම් සකස් කිරීමට, ආයෝජන සිදු කිරීමට සහ ව්‍යාපාර පුළුල් කර ගැනීමට උපකාරී වන පරිදි, ස්ථාවර ප්‍රතිපත්ති සහ පුරෝකථනය කළ හැකි වෙ​ෙළඳ රාමුවක් තිබීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ. 

 “ඉදිරි වසරේ වෙළෙඳ ප්‍රතිපත්තිය සහ ද්වි-මාර්ග ආයෝජන කෙරෙහි කවුන්සිලය අවධානය යොමු කරාවි. බලශක්තිය, වරාය සහ සැපයුම්, තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය සහ අධ්‍යාපනය හරහා අවස්ථා ගවේෂණය කරනු ඇත. එසේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ තරුණ ව්‍යවසායකයන් සමග එහි සම්බන්ධතාව පුළුල් කෙරේවි.“  සභාපතිවරයා පවසා තිබේ.